සතිපට්ඨාන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

පලමු වැනි මූලපරියාය වර්ගයේ

10

සතිපට්ඨාන සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්‍ය නම් වූ කුරුරැටියන්ගේ නියම් ගමහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතු සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

2. මහණෙනි, සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ශොකපරිදෙවයන්ගේ ඉක්මවීම පිණිස දුක් දොම්නස් නැති කිරීම පිණිස ආර්යඅෂ්ටාඞ්ගිකමාර්ගයට පැමිණීම පිණිස, නිවන් සාක්ෂාත් කිරීම පිණිස මේ ඒකායනමාර්ගයෙක් වෙයි. එනම් සතර සතිපට්ඨානයෝ යි. කවර සතරෙක යත්:

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ (1) කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව, සිහි ඇති ව කායසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්මනස්‍ය සන්සිඳුවා ගෙන රූපකයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරේ. (2) කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව වෙදනාසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්මනස්‍ය සන්සිඳුවා ගෙන වෙදනාවන්හි වෙදනාව නුවණින් බලන සුලු ව වාසය කෙරේ. (3) කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව චිත්තසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්මනස්‍ය සන්සිඳුවා ගෙන සිතෙහි සිත නුවණින් බලන සුලුව වාසය කෙරේ. (4) කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව ධර්මසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්මනස්‍ය සන්සිඳුවා ගෙන ධර්මයෙහි ධර්මය නුවණින් බලන සුලුව වාසය කෙරේ (යනු යි).

 [උද්දේසවාරය නිමියේ ය.]

 (1. කායානුපස්සනාසතිපට්ඨානය:)

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?

1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අරණ්‍යයකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පලක් බැඳ ශරීරය ඍජු කොට තබා ගෙන සිහිය කර්මස්ථානාභිමුඛ කොට ගෙන හිඳියි. හෙතෙමේ සිහි ඇත්තේ ම ආශ්වාස කරයි. සිහි ඇත්තේ ම ප්‍රශ්වාස කරයි. දීර්ඝ කොට ආශ්වාස කරන්නේ දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි යි දනියි. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ දීර්ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනියි. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කරන්නේ හ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි යි දනියි. හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නේ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කරන්නේ ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කරන්නේ ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. (ඖදාරික) ආශ්වාසප්‍රශ්වාස කය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආශ්වාසප්‍රශ්වාස කය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.

මහණෙනි, යම්සේ දක්ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දීර්ඝ කොට අදින්නේ දීර්ඝ කොට අදින්නෙමි’යි දැන ගනී ද, හ්‍රස්ව කොට අදින්නෙ හ්‍රස්ව කොට අදින්නෙමි'යි දැන ගනී ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම දීර්ඝ කොට ආශ්වාස කරන්නේ දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි දැන ගනී… ආශ්වාස ප්‍රශ්වාසයන් සන්හිඳුවමින් ප්‍රශ්වාස කරනෙමියි හික්මෙයි. මෙසේ තමාගේ ආශ්වාසප්‍රශ්වාස කයෙහි හෝ කය නුවනින් බලන සුලු ව වාසය කරයි. මෙරමාගේ ආශ්වාසප්‍රශ්වාස කයෙහි හෝ කය නුවනින් බලන සුලු ව වාසය කරයි. තමාගේත් මෙරමාගේත් ආශ්වාසප්‍රශ්වාසකයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. ආශ්වාසප්‍රශ්වාසකයෙහි උප්පත්තිය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ආශ්වාසප්‍රශ්වාසකයෙහි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ආශ්වාසප්‍රශ්වාසකයෙහි උප්පත්තිය හා විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ඔහුට ‘ආශ්වාසප්‍රශ්වාසකය පමණක් ඇතැ’යි සිහි එළඹ සිටියේ වෙයි. එය හුදෙක් (මතුමත්තෙහි) නැණ වැඩීම පිණිස සිහි වැඩීම පිණිස වෙයි. තෘෂ්ණාදෘෂ්ටි ඇසුරු නො කළේ වාසය කරයි. ස්කන්ධ ලෝකයෙහි රූපාදී කිසිවක් මමය මාගේ ය යි නො ගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව (කමටහන් වඩමින්) වාසය කරයි.

 [1. ආනාපාන පබ්බ යි.]

2. තවද මහණෙනි, මහණ තෙමේ යන්නේ හෝ යමි යි සම්‍යක්ප්‍රඥායෙන් දැන ගනියි. සිටියේ හෝ සිටියෙම් වෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙම් වෙමියි දැන ගනියි. හෝනේ හෝ හොනෙම් වෙමියි දැන ගනියි. ඔහුගේ කය යම් යම් සේ පිහිටියේ ද එසේ එසේ එය දැනගනී යි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. අනුන්ගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. තමාගේ හෝ පරාගේ හෝ කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි.කයෙහි හටගැන්ම බලන සුලු ව හෝ වාසය කෙරෙයි. කයෙහි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කෙරෙයි. කයෙහි හටගැන්ම හා විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කෙරෙයි. ‘ඉරියවු කය පමණක් ඇතැ’ යි ඔහුගේ සිහිය හුදෙක් ඥානය වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ වෙසෙයි. ලෝකයෙහි කිසිවක් මම ය මාගේ යයි නො ගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.

 [2. ඉරියාපථපබ්බ යි.]

3. තවද මහණෙනි, මහණ තෙමේ පෙරට යාමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. ඉදිරි බැලීමෙහි අනුදිග් බැලීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. අත් පා හැකිළීමහි අත් පා දිගු කිරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. සඟළ, පා, සිවුරු දැරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. බිදීමෙහි පීමෙහි කෑමෙහි රස විඳීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. මලමූ පහකිරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. යාමෙහි සිටීමෙහි හිදිමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නිහඬ වීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බබලන සුලු ව වෙසෙයි… මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.

 [3. සම්පජඤ්ඤපබ්බ යි.]

4. තවද මහණෙනි, මහණ තෙමේ පාදතලයෙන් උඩ කෙසඟින් යට සම හිම් කොට නානාවිධ අශුචියෙන් පිරුණු මේ ශරීරය ප්‍රත්‍යවේක්ෂා කරයි: මේ ශරීරයෙහි කෙස් ඇත. මේ ශරීරයෙහි ලොම් ඇත. නිය, දත්, සම්, මස් පිඬු, නහර, ඇට ඇටමිඳුලු, වකුගඩු, හදමස්, අක්මාව, දළබුව, බඩදිය, පෙණහැලි, බඩවැල, අතුණු බහන, නො පැසුණු අහර, පැසුණු අහර (අසුචි), පිත්, සෙම්, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිඳුලු මූ, ඇතැ යි.

මහණෙනි, දෙපස මුව ඇති මල්ලක් ඇල්, වී, මුං මෑ, තල, සහල් යන නන්වැදෑරුම් ධාන්‍යයෙන් පිරුණේ වේ ද, ඇස් පෙණෙන පුරුෂයෙක් ඒ මේ මල්ල ලිහා මේ ‘ඇල් ය, මේ වී ය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ හාල්ය'යි යම්සේ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම පාදතලයෙන් උඩ කෙසගින් යට සම හිම් කොට නානාවිධ අශුචියෙන් පිරුණ මේ ශරීරය ප්‍රත්‍යවේක්ෂා කරයි: මේ ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් පිඩු, නහර, ඇට ඇටමිඳුලු, වකුගඩු, හදමස, අක්මා, දලබුව, බඩදිය, පෙණහැලි, බඩවැල, අතුණු බහන, නො පැසුණු අහර, අසුචි, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වසාතෙල්, කෙළ, සොටු, සඳමිඳුලු, මූ ඇතැයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.

 [4. පටිකකුලමනසිකාරපබ්බ යි.]

5. තවද මහණෙනි, මහණ තෙමේ සිටි පරිදි පිහිටි මේ කය ම ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරයි: මේ කයෙහි පඨවීධාතු ඇත. අපොධාතු, තෙජොධාතු, වායොධාතු ඇතයි. මහණෙනි, යම්සේ දක්ෂ ගොඝාතකයෙක් හෝ ගොඝතකයකුගේ අතවැසියෙක් හෝ ගවදෙනක මරා සතර මංසන්ධියෙක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා හුන්නේ යම්සේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම සිටි පරිදි පිහිටි පරිදි මේ කය ධාතු වශයෙන් සලකා බලයි. මේ කයෙහි පඨවීධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු ඇතැයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.

 [5. ධාතුමනසිකාරපබ්බ යි.]

 (නවසිවථිකාපබ්බය:)

6. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි හැරැපී මළ එක් දවස් වූ හෝ මළ දෙ දවස් වූ හෝ තුන් දවස් වූ හෝ ඉදිමුනු නිල් වූ හටගත් පුයා ඇති සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙම මේ (තමාගේ) ශරීරය ඒ මෘතශරීරය හා එළවා සසඳා බලන්නේ ය: ‘මේ ශරීරයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලුය. මෙබඳු ස්වභාවය නො ඉක්ම වූයේ'යි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලුව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි. (1)

7. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ කවුඩන් විසින් හෝ කනු ලබන උස්සන් විසින් හෝ කනු ලබන ගිජුලිහිණියන් විසින් හෝ කනු ලබන ශුනකයන් විසින් හෝ කනු ලබන සිවලුන් විසින් හෝ කනු ලබන නොයෙක් ප්‍රාණීන් විසින් හෝ කනු ලබන මළ සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මෙ ම කය ඒ කය එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාවය ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ යැ'යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.... මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි. (2)

8. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ ලේමස් සහිත වූ නහරින් බැඳුණා වූ ඇටසැකිල්ලක් වූ මිනියක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මේ කය එය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වනසුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ'යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි. (3)

9. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ මස් රහිත ලේ තැවරුණු නහරින් බැඳුනු ඇට සැකිල්ලක් වූ මිනියක් යම්සේ දක්නේ ද, හෙ තෙමේ මේ කය එය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය'යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (4)

10. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ මස් ලේ නැති නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ මිනියක් යම්සේ දකින්නේද, හෙතෙමේ මේ කය එය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය'යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණතෙම කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (5)

11. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ නහර බැඳුම් නැති අන් දෙසකින් අත්ඇටය ද අන් දෙසකින් පාඇටය ද අන් දෙසකින් කෙණ්ඩාඇටය ද අන් දෙසකින් කළවාඇටය ද අන් දෙසකින් කටිඇටය ද අන් දෙසකින් පිටකටුව ද අන් දෙසකින් හිස් කබල දැයි දිසානුදිසාවන්හි විසුරුණු ඇටසැකිල්ලක් යම්සේ දක්නේද, හෙතෙම මේ කය එය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය'යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (6)

12. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ සක් පැහැ බඳු සුදු ඇට යුත් ශරීරයක් යම් සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය හා එළවා සසඳා බලයි: ‘මේ ශරීරයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ ය'යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (7)

13. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ අවුරුදු ගණන් ඉක්මගිය පුඤ්ජිකෘත (තැන තැන රැස්) වූ ඇට කැබලි ඇති… ශරීරයක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය ය හා එළවා සසඳා බලයි: ‘මේ ශරීරයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ යැ'යි මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (8)

14. තවද මහණෙනි, මහණ තෙමේ කුණු වූ කුඩු වූ සොහොනෙහි ලූ ඇට ගොඩක් වූ ශරීරයක් යම් සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ ය'යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (9)

මහණෙනි, මෙසේ මහණතෙම කයෙහි කායානුපස්සී ව වාසය කරයි.

 [කායානුපස්සනා සතිපට්ඨාන යි]

 (2. වෙදනානුපස්සනාසතිපට්ඨානය.)

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් වෙදනාවන්හි වෙදනාවන් නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?

1. මහණෙනි, මේ ශාසනයේ මහණ තෙමේ සැප වෙදනාවක් විදින්නේ සැප වෙදනාවක් විඳිමි යි (සම්‍යක් ප්‍රඥාවෙන්) දනී. දුක් වෙදනාවක් විදින්නේ දුක් වෙදනාවක් විඳිමි යි දනී. නො දුක් නො සැප වෙදනාවක් විදින්නේ නො දුක් නො සැප වෙදනාවක් විඳිමි යි දනී. ආමිස (පස්කම් ගුණ) සහිත සුඛවෙදනාවක් විඳින්නේ සාමිසසුඛවෙදනාවක් විඳිමි යි දනී. ආමිස රහිතසුඛවෙදනාවක් හෝ විඳින්නේ නිරාමිසසුඛවෙදනාවක් විඳිමි යි දනී. සාමිසදුක්ඛවෙදනාවක් හෝ විඳින්නේ සාමිසදුක්ඛ වෙදනාවක් විඳිමි යි දනී. නිරාමිසදුක්ඛවෙදනාවක් හෝ විඳින්නේ නිරාමිසදුක්ඛවෙදනාවක් විඳිමි යි දනී. සාමිස නො දුක් නො සැප වෙදනාවක් හෝ විඳින්නේ සාමිස නො දුක් නො සැප වෙදනාවක් විඳිමි යි දනී නිරාමිස නො දුක් නො සැප වෙදනාවක් හෝ විඳින්නේ නිරාමිස නො දුක් නො සැප වෙදනාවක් විඳිමි යි දනී. (1-9)

මෙසේ තමා පිලිබඳ වෙදනාවන්හි වෙදනා නුවණින් බලනසුලුව හෝ වාසය කරයි. අනුන් පිළිබඳව වෙදනාවන්හි වෙදනා නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. තමන් පිළිබඳ වූ හෝ අනුන් පිළිබඳ වූ හෝ වෙදනාවන්හි වෙදනා නුවණින් බලන සුලුව වාසය කරයි. වෙදනාවන්හි හටගැනීම නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. වේදනාවන්හි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. වෙදනාවන්හි හටගැනීම හා නැසීම නුවණින් බලනසුලුව හෝ වාසය කරයි. හුදෙක් වෙදනාව පමණක් ඇතැයි ඔහුගේ සිහිය නුවණ වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ ද වෙසෙයි. වෙදනාසංඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනි යි.

මහණෙනි, මෙසේ මහණතෙම වෙදනාවන්හි වෙදනානුපස්සී ව වාසය කරයි.

 [වෙදනානුපස්සනා සතිපට්ඨාන යි]

 (3. චිත්තානුපස්සනාසතිපට්ඨානය.)

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සිතෙහි සිත නුවණින් බලන සුලු වූයේ වාසය කෙරේ ද?

1. මහණෙනි, මේ ශාසනයේ මහණ තෙමේ රාග සහිත වූ හෝ සිත රාග සහිත සිතැයි (සම්‍යක් ප්‍රඥාවෙන්) දනී. රාග රහිත වූ සිත රාග රහිත සිතැයි දනී. ද්වේෂ සහිත වූ හෝ සිත ද්වේෂ සහිත සිතැයි දනී. ද්වේෂ රහිත වූ හෝ සිත ද්වේෂ රහිත සිතැයි දනී. මොහ සහිත වූ හෝ සිත මොහ සහිත සිතැයි දනී. මොහ රහිත වූ හෝ සිත මෝහ රහිත සිතැයි දනී. (ථිනමිද්ධයෙන්) හැකුළුණු හෝ සිත හැකුළුණු සිතැයි දනී. (උද්ධච්චයෙන් නානාලම්බනයන්හි) විසිර ගියා වූ හෝ සිත විසුරුණු සිතැයි දනී. මහග්ගත (රූපාරූපාවචර) වූ හෝ සිත මහග්ගත සිතැයි දනී. මහග්ගත නො වූ හෝ සිත මහග්ගත නො වූ සිතැයි දනී. සඋත්තර (කාමාවචර) වූ හෝ සිත සඋත්තර සිතැයි දනී. අනුත්තර (රූපාරූපාවචර) වූ හෝ සිත අනුත්තර සිතැයි දනී. සමාහිත (සමාධිගත) වූ හෝ සිත සමාහිත සිතැයි දනී. අසමාහිත වූ හෝ සිත අසමාහිත සිතැයි දනී. (තදඞ්ග වික්ඛම්හන වසයෙන්) මිදුණා වූ හෝ සිත මිදුණා වූ සිතැයි දනී. නො මිදුණු වූ හෝ සිත නො මිදුණු සිතැයි දනී. (1–16)

මෙසේ තමාගේ සිතෙහි හෝ චිත්තානුපස්සී ව වාසය කරයි. අනුන්ගේ සිතෙහි හෝ චිත්තානුපස්සී ව වාසය කරයි. තමන්ගේත් අනුන්ගේත් සිත්හි හෝ චිත්තානුපස්සී ව වාසය කරයි. සිතෙහි හටගැන්ම බලන සිලු ව හෝ වාසය කරයි. සිතේ විනාශය බලන සිලු ව හෝ වාසය කරයි. සිතේ හටගැන්ම හා විනාශය බලන සිලු ව හෝ වාසය කරයි. හුදෙක් සිත පමණක් ඇත්තේය යි ඔහුගේ සිහිය නුවණ වැඩිම පිණිස එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ ද වෙසෙයි. චිත්තසඞ්ඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මමය මාගේ ය’ යි නො ගෙන වාසය කරයි.

මහණෙනි, මෙසේ මහණතෙම චිත්තයෙහි චිත්තානුපස්සී ව වාසය කරයි.

 [චිත්තානුපස්සනා සතිපට්ඨාන යි]

 (4. ධම්මානුපස්සනාසතිපට්ඨානය:)

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ධර්මයන්හි ධර්මය නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?

1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පඤ්චනීවරණ ධර්මයන්හි ධර්මය නුවණින් බලන සුලු ව වාසය කෙරේ. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් පඤ්චනීවරණ ධර්මයන්හි ධර්මය නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ තමා තුළ ඇත්තා වූ හෝ කාමච්ඡන්දය ‘මා තුළ කාමච්ඡන්දය ඇත්තේ ය’ යි (සම්‍යක් ප්‍රඥාවෙන්) දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ කාමච්ඡන්දය ‘මා තුළ කාමච්ඡන්දය නැතැ’යි දැන ගනියි. යම්සේ නූපන් කාමච්ඡන්දයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යම්සේ උපන් කාමච්ඡන්දයාගේ ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ කාමච්ඡන්දයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (1)

තමා තුළ ඇත්තා වූ හෝ ව්‍යාපාදය ‘මා තුළ ව්‍යාපාදය ඇත්තේ ය' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ ව්‍යාපාදය ‘මා තුළ ව්‍යාපාදය නැත්තේය' යි දැන ගනියි. යම් සේ නූපන් ව්‍යාපාදයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යම් සේ උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ ව්‍යාපාදයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (2)

තමා තුළ ඇත්තා වූ හෝ ථීනමිද්ධය ‘මා තුළ ථීනමිද්ධය ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ ථීනමිද්ධය ‘මා තුළ ථීනමිද්ධය නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන් ථීනමිද්ධයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යම් සේ උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ ථීනමිද්ධයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (3)

තමා තුළ ඇත්තා වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මා තුළ උද්ධච්චකුක්කුච්චය ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මා තුළ උද්ධච්චකුක්කුච්චය නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන් උද්ධච්චකුක්කුච්චයයාගේ ඉපදීම වේ ද එය ද, දැන ගනියි. යම්සේ උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ උද්ධච්චකුක්කුච්චයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (4)

තමා තුළ ඇත්තා වූ හෝ විචිකිච්ඡාව ‘මා තුළ විචිකිච්ඡාව ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ විචිකිච්ඡාව ‘මා තුළ විචිකිච්ඡාව නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන් විචිකිච්ඡාවෙහි ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යම්සේ උපන් විචිකිච්ඡාවෙහි ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ විචිකිච්ඡාවෙහි මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (5)

මෙසේ තමා තුළ වූ ධර්මයන්හි ධර්මය නුවණින් බලනසුලු ව වාසය කරයි. බාහිර වූ ධර්මයන්හි ධර්මය නුවණින් බලනසුලු ව වාසය කරයි. තමන් හා අනුන් පිලිබඳ වූ ධර්මයන්හි ධර්මය නුවණින් බලනසුලු ව වාසය කරයි. නීවරණ ධර්මයන්ගේ හටගැනීම නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. නීවරණ ධර්මයන්ගේ විනාශය නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. නීවරණ ධර්මයන්ගේ හටගැනීම හා නැසීම නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. ඔහුට (මතුමත්තෙහි) නුවණ වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස හුදෙක් නීවරණ ධර්ම පමණක් ඇත යාන සිහිය එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ ද වාසය කරයි. නීවරණ (සඞ්ඛ්‍යාත) ලෝකයෙහි කිසිවක් ‘මම ය, මාගේ ය’ යි නො ගනියි. මහණෙනි, මහණ තෙමේ මෙසේ පඤ්චනීවරණ ධර්මයන්හි ධර්මය නුවණින් බලනසුලු වූයේ වාසය කරයි.

 [නීවරණපබ්බ යි.]

2. තව ද මහණෙනි, මහණ තෙමේ පඤ්චඋපාදානස්කන්ධ ධර්මයන් හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් පඤ්ච උපාදානස්කන්ධයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කෙරේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ “රූපය මෙසේ ය, රූපයෙහි හට ගැන්ම මෙසේ ය, රූපයෙහි විනාශය මෙසේ ය. වෙදනාව මෙසේ ය, වෙදනාවෙහි හටගැනීම මෙසේ ය, වෙදනාවෙහි විනාශය මෙසේ ය. සංඥාව මෙසේ ය, සංඥාවෙහි හටගැන්ම මෙසේ ය, සංඥාවේ විනාශය මෙසේ ය. සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය, සංස්කාරයන්ගේ විනාශය මෙසේ ය. විඥානය මෙසේ ය, විඥානයෙහි හටගැන්ම මෙසේ ය විඥානයෙහි විනාශය මෙසේය”යි (1-5)

මෙසේ තමා පිලිබඳ වූ හෝ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. අනුන් පළිබඳ වූ හෝ ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. තමන් හා අනුන් ද පිලිබඳ වූ හෝ ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. ධර්මයන්හි හටගැන්ම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්මයන්හි විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්මයන්හි හටගැන්ම හා විනාශය නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. ඒ මහණහට (මතුමත්තෙහි) ඤාණය වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස හුදෙක් පඤ්චඋපාදානස්කන්ධධර්ම පමණක් ඇත යන සිහිය එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ වාසය කරයි. උපාදානස්කන්ධසංඞ්ඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනියි. මහණෙනි, මෙසේ මහණ තෙමේ මෙසේ පඤ්චඋපාදානස්කන්ධ ධර්මයන්හි ධර්මය ධම්මානුපස්සී වුයේ වාසය කරයි.

 [ඛන්‌ධ පබ්බ යි.]

3. තවද මහණෙනි, මහණ තෙමේ ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කෙරේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඇස ද දනී. රූපය ද දනී. ඒ දෙක නිසා යම් සංයෝජනයක් උපදී ද, එයත් දනී. යම්සේ නූපන් සංයෝජනයාගේ ඉපදීම වේ ද එයත් දනී. යම්සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණිය වේ ද, එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මතු නො ඉපදීම වේ ද එයත් දනී, කන ද දනී. ශබ්දය ද දනී. … නාසය ද දනී. ගඳ ද දනී. … දිව ද දනී. රස ද දනී. … ශරීරය ද දනී. ස්ප්‍රෂ්ටව්‍යයත් දනී. … හිත ද දනී. ධර්මයන් ද දනී. දෙක නිසා යම් සංයෝජනයක් උපදී නම්, එයත් දනී. යම්සේ නූපන් සංයෝජනයාගේ නූපදීම වේ ද, එයත් දනී. යම්සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණිය වේ ද, එයත් දනී. යම්සේ ප්‍රහීණ සංයෝජනයාගේ මතු නො ඉපදීම වේ ද එයත් දනී (1-6).

මෙසේ ආධ්‍යාත්මික වූ හෝ ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. බාහිර වූ හෝ ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. ආධ්‍යාත්මිකබාහිර වූ හෝ ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. ධර්මයන්හි හටගැනීම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්මයන්හි හටගැන්ම හා විනාශයත් නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ඔහුට සිහිය වැඩීම පිණිස ඤාණය වැඩිම පිණිස සිහිය හුදෙක් ආයතන ධර්ම පමණක් ඇත යන සිහිය එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත ව වාසය කරයි. (ආයතන) සඞ්ඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙමේ ආධ්‍යාත්මිකබාහිර ආයතන ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි.

 [ආයතන පබ්බ යි.]

4. තවද මහණෙනි, මහණ තෙමේ සප්ත බොධ්‍යඞ්ග ධර්මයන්හි ධර්මයන්හි ධම්මානුපස්සී වුයේ වාසය කරයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සප්ත බොධ්‍යඞ්ග ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කෙරේ ද?

තමා තුළ ඇත්තා වූ හෝ සතිසම්බොජ්ඣඞ්ගය ‘මා තුළ සතිසම්බොජ්ඣඞ්ගය ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ සතිසම්බොජ්ඣඞ්ගය ‘මා තුළ සතිසම්බොජ්ඣඞ්ගය නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන්නාවූ හෝ සතිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ ද සතිසම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් සම්පූර්ණත්වය වේ ද, එය ද දැන ගනියි. (1)

තමා තුළ ඇත්තා වූ හෝ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ ධම්මවිචය සම්බොධ්‍යඞ්ගය නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන්නා වූ ද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්ණත්වය වේ ද, එය ද දැන ගනියි. (2)

තමා තුළ ඇත්තා වූ හෝ විරිය සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ විරිය සම්බොජ්ඣඞ්ගය ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ විරිය සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ විරිය සම්බොජ්ඣඞ්ගය නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන්නා වූ ද විරිය සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්ණත්වය වේ ද, එය ද දැන ගනියි. (3)

තමා තුළ ඇත්තා වූ හෝ පීති සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ පීති සම්බොජ්ඣඞ්ගය ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ පීති සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ පීති සම්බොජ්ඣඞ්ගය නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන්නා වු ද පීතිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ පීති සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්ණත්වය වේ ද, එය ද දැන ගනියි. (4)

තමා තුළ ඇත්තා වූ හෝ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ‘මා තුළ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන්නා වූ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්ණත්වය වේ ද, එය ද දැන ගනියි. (5)

තමා තුළ ඇත්තා වූ හෝ සමාධි සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ සමාධිසම්බොජ්ඣඞ්ගය ඇතැ' යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ සමාධි සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ සමාධි සම්බොජ්ඣඞ්ගය නැතැ' යි දැන ගනියි. යම්සේ නූපන්නා වූ ද සමාධිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ ද සමාධි සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්ණත්වය වේ ද, එය ද දැන ගනියි. (6)

තමා තුළ ඇත්තාවූ හෝ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය ‘මා තුළ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය ඇතැ' යි දැන ගනී. තමා තුළ නැත්තා වූ හෝ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය නැතැ' යි දැන ගනී. යම්සේ නූපන්නා වූ ද උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනී. යම්සේ උපන්නා වූ ද උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්ණත්වය වේ ද, එය ද දැන ගනියි. (7)

මෙසේ තමා තුළ වූ හෝ ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. බාහිර වූ හෝ ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. තමා තුළ හා බාහිර වූ ද ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. ධර්මයන්හි හටගැන්ම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්මයන්හි විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්මයන්හි හටගැන්ම හා විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ඒ මහණහට (මතුමත්තෙහි) ඤාණය වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස හුදෙක් බොධ්‍යඞ්ගධර්ම පමණක් ඇතැ යි යන සිහිය එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ඨි නිස්සය රහිතවූයේ වාසය කරයි. (බොධ්‍යඞ්ගධර්ම සඞ්ඛ්‍යාත) ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනී. මහණෙනි, මෙසේ මහණ තෙමේ මෙසේත් සප්ත බොධ්‍යඞ්ගධර්ම ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි.

 [බොජ්ඣඞ්ග පබ්බ යි.]

5. තවද මහණෙනි, මහණ තෙමේ චතුරාර්යසත්‍ය ධර්මයන්හි ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ චතුරාර්යසත්‍ය ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කෙරේ ද?

මහණෙනි. මේ ශාසනයේ මහණ තෙමේ ‘මේ දුක්ඛ ය’යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛසමුදය’යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛනිරොධ ය’යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛනිරොධගාමිනී පටිපදා ය’යි තතුසේ දැන ගනියි.

මෙසේ තමා තුළ වූ හෝ ධර්මයන්හි ධර්මයන් නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. බාහිර වූ ධර්මයන්හි ධර්මයන් නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. තමන් හා මෙරමා ද පිළිබඳ වූ ධර්මයන්හි ධර්මයන් නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. ධර්මයන්හි හටගැනීම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්මයන්හි විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්මයන්හි හටගැන්ම හා විනාශය නුවණින් බලන සුලු වූයේ හෝ වාසය කරයි. ඒ මහණහට (මතුමත්තෙහි) ඤාණය වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස හුදෙක් ආර්යසත්‍ය ධර්ම පමණක් ඇත යන සිහිය එළඹ සිටියේ වේ. තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත වූයේ වාසය කරයි. ආර්යසත්‍යසඞ්ඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනියි. මහණෙනි, මහණ තෙමේ මෙසේත් චතුරාර්යසත්‍ය ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි.

 [සච්ච පබ්බ යි.]

1. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ (විධි ලෙස) සත් අවුරුද්දක් වඩන්නේ නම් ඔහු දෙපලයන් අතුරෙහි එක්තරා පලයක් - දිටු දැමියෙහි ම රහත්පලය හෝ උපාදානයන් ඉතිරි ව ඇති කල්හි අනාගාමි භාවය හෝ කැමැති විය (එකැතින් ලැබිය) යුතු. මහණෙනි, සත් අවුරුද්දක් තිබියේවා මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ අවුරුදු සයක් … අවුරුදු පහක් … අවුරුදු සතරක් … අවුරුදු තුනක් … අවුරුදු දෙකක් … අවුරුදු එකක් … මහණෙනි, එක අවුරුද්ද තිබියේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ හත්මසක් වඩන්නේ නම් ඔහු විසින් දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් - ඉහාත්මයෙහි ම රහත්පලය හෝ උපාදානයන් ඉතිරි ව ඇති කල්හි අනාගාමි භාවය හෝ කැමැති විය යුතු. මහණෙනි, සත්මස තිබියේවා. සමසක් … පස්මසක් … සාරමසක් … තුන්මසක් … දෙමසක් … මාසයක් … අඩමසක් … මෙසේ මේ සතර සතිපට්ඨානයන් වඩන්නේ නම්… මහණෙනි, අඩමසක් තිබියේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතිපට්ඨානයන් මෙසේ සත්දවසක් වඩන්නේ නම් ඔහු විසින් දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් - ඉහාත්මයෙහි ම රහත්පලය හෝ උපාදානයන් ඉතිරි ව ඇතිකල්හි අනාගාමිභාවය හෝ කැමැති විය යුතු.

 “මහණෙනි, සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස, ශොක-පරිදෙවයන් නැති කිරීම පිණිස, දුක්-දොම්නස් ඉක්මවීම පිණිස, ආර්යාෂ්ටාඞ්ගික මාර්ගයාගේ අවබෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස, මේ ඒකායන මාර්ගය - එනම් මේ සතර සතිපට්ඨාන” යි. මා විසින් යමක් කියන ලද නම් එය මේ නිසා කියන ලද්දේ ය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ භාසිතය සතුටින් පිළිගත්හ.

 දස වැනි වූ සතිපට්ඨාන සුත්‍රය නිමියේ ය