සබ්බාසව සූත්‍රය

සබ්බාසව සූත්‍රය

 1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ අනේපිඬුසිටුගේ ආරාමයෙහි වැඩවාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතු සේක. ඒ භික්ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළ සේක.

2. මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ සංවරකාරණය (අනුප්පාද හේතුව) දෙශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දෙසමි යි වදාළ සේක. “එසේ ය වහන්සැ” යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක:

3. මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්‍ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්‍ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.

4. මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.

5. මහණෙනි, සෝවාන්මග නුවණින් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ලොකයෙහි බුද්ධාදී ආර්යයන් නො දක්නා වූ ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නො හික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි නො කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා නො මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා හෙ තෙමේ යම් ධර්ම කෙනෙක් නො මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි කෙරෙයි. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි නො කෙරෙයි.

6. මහණෙනි, යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු ඒ ධර්මයෝ කවරහ ? යත්: මහණෙනි, යම් ධර්මකෙනෙකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ උපදී ද, උපන් කාමාස්‍රවය හෝ වැඩේ ද, නූපන් භවාස්‍රවය හෝ උපදී ද, උපන් භවාස්‍රවය හෝ වැඩේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ උපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ වැඩේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මොහු ඒ මෙනෙහි නො කළ යුතු ධර්මයෝ යි.

7. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ කවරහ ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ නූපදී ද, උපන් කාමාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් භවාස්‍රවය හෝ නූපදී ද, උපන් භවාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ නූපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ යි.

8. මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නො මෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ද, ආස්‍රවයෝ උපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ වැඩෙති.

9. හෙ තෙමේ මෙසේ නුනුවණින් මෙනෙහි කරයි: මම අතීත කාලයෙහි වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි නුවූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (ජාත්‍යාදි විසින්) කවරෙක් වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (සටහන් විසින්) කෙසේ වූයෙම් දෝ හෝ, මම අතීත කාලයෙහි කවරෙක් ව සිට කවරෙක් වූයෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි නො වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කවරෙක් වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කෙසේ වෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි කවරෙක් වැ සිට කවරෙක් වෙම් දෝ හෝයි. දැන් වර්තමානයෙහි ද තම කෙරෙහි සැක ඇත්තේ වෙයි: මම වෙම් දෝ හෝ, මම නො වෙම් දෝ හෝ, කවරෙක් වෙම් දෝ හෝ, කෙසේ වෙම් දෝ හෝ, මේ සත්ත්වතෙම කොයින් ආයේ දෝ හෝ, හේ කොයි යන්නේ දෝ හෝ යි.

10. මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) අනාත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. අනාත්ම වූ (සංඥාසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. යලි දු ඔහුට මෙබඳු දෘෂ්ටියක් වෙයි: මාගේ යම් මේ ආත්මයක් බණනුයේ (වාක්කර්ම කරන්නේ) සුවදුක් විඳ ගනුයේ ඒ ඒ තැන කුශලාකුශලකර්මවිපාකය විඳී ද, මා සතු ඒ මේ ආත්මය වනාහි නිත්‍ය ය. තහවුරු ය. සාර්වකාලිකය. නො පෙරෙළන ස්වභාව ඇත්තේ ය. ශාශ්වතිකයන් මෙන් නො වෙනස් ව සිටින්නේ ය යි කියා යි. මහණෙනි, මෙය දෘෂ්ටිගත යයි ද, දෘෂ්ටිගහන ය යි ද, දෘෂ්ටිකාන්තාර ය යි ද, (සම්දිටු විනිවිදිනා හෙයින්) දෘෂ්ටිවිශුක ය යි ද, දෘෂ්ටිසංයෝජන ය යි ද කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘතග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශොකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි.

11. මහණෙනි, ආර්යයන් දක්නාසුලු, ආර්යධර්මයෙහි දක්ෂ, ආර්යධර්මයෙහි මොනවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂධර්මයෙහි දක්ෂ, සත්පුරුෂධර්මයෙහි මොනවට හික්මුණු ශ්‍රැතවත් (ආගමාධිගමසම්පන්න) ආර්යශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දනී. මෙනෙහි නො කළ යුතු ධර්ම දනී. හෙ තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නො කළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම මෙනෙහි නො කළ යුතු නම්, ඒ ධර්ම මෙනෙහි නො කරයි. යම් ධර්ම මෙනෙහි කළ යුතු නම්, ඒ ධර්ම මෙනෙහි කරයි.

12. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් භවාස්‍රවය උපදී ද, උපන්නා වුත් භවාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් අවිද්‍යාස්‍රවය උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය වැඩේ ද, මොහු වනාහි, යම් ධර්ම මෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ යි.

13. මහණෙනි, යම් ධර්ම මෙනකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් භවාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් භවාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් අවිද්‍යාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය ප්‍රහීණ වේ ද, මොහු වනාහි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ යි.

14. ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

15. මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්ෂුන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්ෂුන්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්ෂුන්ද්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශෝතෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… නුවණින් සලකා ඝ්‍රාණෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… ජිව්හෙන්ද්‍රියසංවරයෙන්… කායෙන්ද්‍රිය සංවරයෙන්… මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.

16. මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලජ්ජාස්ථාන වසා ගැන්ම පිණිස පමණක් සිවුරු පරිභොග කෙරෙ යි. නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැදීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලංකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. බඩගිනි වැළැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩගිනි වෙදනාවන් නැති කරන්නෙමි. අලුත් වෙදනා ද නූපදවන්නෙමි. එයින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ යි (සලකා පිණ්ඩපාතය වළඳයි). හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණය නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ඍතුපීඩා නැති කිරීම පිණිස විවෙකයෙහි ඇලීම් පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සෙවනය කරයි. හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වෙදනා නැති කිරීම පිණිස, රොග දුක් නැති ව සිටීම පිණිස පමණක් සෙවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සෙවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රත්‍යවෙක්ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, ප්‍රත්‍යවෙක්ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ ප්‍රත්‍යවෙක්ෂාවෙන් පහ කළ යුත්තෝය යි කියනු ලැබෙත්.

17. මහණෙනි, අධිවාසනායෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩගින්න ද, පවස ද, මැසි, මදුරු, සුළං, අවු, සපුන්ගේ ස්පර්ශ ද, නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපන් ශාරීරික වූ, තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වෙදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ නූපදිත්. මහණෙනි, මේ අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

18. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙ යි. නපුරු අසු දුරු කෙරෙ යි. නපුරු ගොනු දුරු කෙරෙ යි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවයින්, ගවරවළ, මොළඟ දුරු කෙරෙයි. යම් බඳු නුසුදුසු අස්නෙහි හුන්නහු, යම්බඳු නුසුදුසු තන්හි හැසිරෙන්නහු, යම්බඳු පවිටු මිත්‍රයන් සෙවනය කරන්නහු නුවණැත්තා වූ සබ්‍රම්සරහු ලාමක තන්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගොචාරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙ යි. මහණෙනි, යම් හෙයෙකින් එබඳු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

19. මහණෙනි, විනොදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්යයෙන්) පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ලොකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමවිතර්කය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුව යි. උපන්නා වූ ව්‍යාපාදවිතර්ක සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතර්කය...උපනුපන් ලාමක අකුශල ධර්මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ විනොදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

20. මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු සතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… නුවණින් සලකා ධම්මවිචය සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… විරියසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පීතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පස්සද්ධි සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… සමාධිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ නිවණට නැඹුරු උපෙක්ඛා සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. මහණෙනි, යම් හෙයෙකින් බොජ්‌ඣඞ්‌ග නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොජ්‌ඣඞ්‌ග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

21. මහණෙනි, යම් කලෙක භික්ෂුහුගේ යම් ආස්‍රව කෙනෙක් සෝවන් මගින් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ සෝවන් මගින් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් පැහිය යුත්තාහු ද, ඔහු සංවරයෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් ප්‍රත්‍යවෙක්ෂාවෙන් පැහිය යුත්තාහු ද, ඔහු ප්‍රත්‍යවෙක්ෂාවෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් සිත තබා නො ගැනීමෙන් පැහිය යුත්තාහු ද, ඔහු සිත තබා නො ගැනීමෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් දුරු කිරීමෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් විනොදනයෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ විනොදනයෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් භාවනාවෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ භාවනාවෙන් පැහුණාහු වෙත්. මහණෙනි, මේ මහණ තෙමේ සියලු ආස්‍රවයන්ගෙන් සංවෘතව වෙසේ ය යි ද, තෘෂ්ණාව සින්දේ යයි ද, සංයොජනය උපුටා හළේ යයි ද, මානප්‍රහාණයෙන් දුක් කෙළවර කළේ යයි ද කියනු ලැබේ.

22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

දෙවැනි වූ සබ්බාසව සූත්‍රය නිමියේ ය.