සම්මාදිට්ඨි සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

පලමු වැනි මූලපරියාය වර්ගයේ

9

සම්මාදිට්ඨි සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජෙතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:

2. ඇවැත්නි, ‘සම්‍යග්දෘෂ්ටිය, සම්‍යග්දෘෂ්ටිය’යි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වේ ද? ඔහුගේ දෘෂ්ටිතොමෝ ඍජුභාවයට පැමිණියා වේ ද? ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ ද?

3. ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් මහතෙරුන් වහන්සේ සමීපයෙහි දී මේ භාෂිතයාගේ අර්ථය දැන ගැනීමට දුරසිට වුවත් පැමිණෙන්නෙමු, මෙහි අර්ථය ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට ම වැටහේ නම් මැනවි. භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් අසා දරන්නාහු ය. ඇවැත්නි, එසේ නම් අසවු. මැනැවින් සිතේ තබා ගනිවු. කියන්නෙමි’යි වදාළහ: ඒ භික්ෂූහු එසේ ය, ඇවැත්නි'යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ අකුසලයත් දනී ද අකුසලමූලයත් දනී ද, කුසලයත් දනී ද, කුසල මූලයත් දනී ද, ඇවැත්නි, මෙපමණකින් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

5. ඇවැත්නි, අකුශලය කවරේද? අකුශලමූලය කවරේ ද? කුශලය කවරේ ද? කුශලමූලය කවරේ ද?

6. ඇවැත්නි, ප්‍රාණඝාතය අකුශලයෙකි. අදත්තාදානය අකුශලයෙකි. මිත්ථ්‍යාචාරය අකුශලයෙකි. මුසාවාදය අකුශලයෙකි. පිසුණවචනය අකුශලයෙකි. ඵරුසවචනය අකුශලයෙකි. සම්ඵප්පලාපය අකුශලයෙකි. අභිධ්‍යාව අකුශලයෙකි. ව්‍යාපාදය අකුශලයෙකි. මිථ්‍යාදෘෂ්ටිය අකුශලයෙකි. ඇවැත්නි, මේ අකුශල ය යි කියනු ලැබේ.

7. ඇවැත්නි, අකුශලමූලය කවරේ ද? ලොභය අකුශලමූලයෙකි. ද්වෙෂය අකුශලමූලයෙකි. මොහය අකුශලමුලයෙකි. ඇවැත්නි, මේ අකුශලමූලය යි කියනු ලැබේ.

8. ඇවැත්නි, කුශලය කවරේ ය? ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුශලයෙකි. අදත්තාදානයෙන් වෙන් වීම කුශලයෙකි. කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම කුශලයෙකි. මුසාවාදයෙන් වෙන් වීම කුශලයෙකි. පිසුණවචනයෙන් වෙන් වීම කුශලයෙකි. ඵරුසවචනයෙන් වෙන් වීම කුශලයෙකි. සම්ඵප්පලාපයෙන් වෙන් වීම කුශලයෙකි. අනභිධ්‍යාව කුශලයෙකි. අව්‍යාපාදය කුශලයෙකි. සම්‍යග්දෘෂ්ටිය කුශලයෙකි. ඇවැත්නි, මේ කුශලය යි කියනු ලැබේ.

9. ඇවැත්නි, කුශලමූලය කවරේ ය? අලොභය කුශලමූලයෙකි. අද්වේෂය කුශලමූලයෙකි. අමොහය කුශලමූලයෙකි. ඇවැත්නි, මේ කුශලමූල ය යි කියනු ලැබේ.

10. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ අකුශලය දනී ද, මෙසේ අකුශලමූලය දනී ද, මෙසේ කුශලය දනී ද, මෙසේ කුශලමූලය දනී ද, හෙතෙමේ සර්වප්‍රකාරයෙන් රගානුශය නැති කොට ප්‍රතිඝානුශය දුරු කොට අසමි (‘මම’ය යන) දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා ඉහාත්මයේ දී ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [1. කම්මපථවාරය යි.]

11. ඒ භික්ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දෙශනාව බසින් පිළිගෙන සිතින් අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරෙක ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ යම් ලෙසකින් සම්‍යග්දෘෂ්ටික වේ නම්, ඔහුගේ දෘෂ්ටිය ඍජු වේ නම්, ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම්, ඊට අන් ක්‍රමයෙකුත් ඇත්තේ ද?

12. ඇවැත්නි, ඇත්තේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ අහාරය (ඵල ආහරණය කරණ ප්‍රත්‍යයය)ත් දනී ද, අහාරසමුදයත් දනී ද, අහාරනිරොධයත් දනී ද, අහාර නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

13. ඇවැත්නි, අහාරය කවරේ ය? අහාරසමුදය කවරේ ය? අහාරනිරොධය කවරේ ය? අහාර නිරොධගාමිනීප්‍රතිපදා කවර?

14. ඇවැත්නි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස ද අණ්ඩකොෂ වස්තිකොෂයන්හි සිටින එහෙයින් ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය පිණිස ද පවත්නා මේ අහාරයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක යත්: ඔළාරික වූ ද සියුම් වූ ද කබලිඞ්කාර අහාරය (=වළඳනු ලබනදෙය), දෙවැනි වූ ඵස්සාහාරය, තුන්වැනි වූ මනොසඤ්චෙතනාහාරය, සතර වැනි වූ විඤ්ඤාණාහාරය යන සතරයි. තෘෂ්ණාව හටගැනීමෙන් අහාරයන්ගේ හටගැනීම වේ. තෘෂ්ණා නිරෝධයෙන් අහාරනිරෝධය වේ. මේ අරීඅටගිමග ම අහාරනිරොධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ යි.

15. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ අහාරය දනී ද, මෙසේ අහාරසමුදය දනී ද, මෙසේ අහාරනිරොධය දනී ද, මෙසේ අහාරනිරොධයට පමුණුවන පිළිවෙත දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රගානුශය හැර ප්‍රතිඝානුශය දුරු කොට ‘අසමි’ යන දෘෂ්ටිය හා සම වූ මනානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා දිටුදැමියෙහි දී ම දුක් කෙළවර කරන්නෙක් වන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටිය වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි අචල වූ පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

1. ඒ භික්ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දෙශනාව බසින් පිළිගෙණ සිතින් අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරෙක ප්‍රශ්නයක් පුළුවුත්හ: ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ යම් ලෙසකින් සම්‍යග්දෘෂ්ටික වේ නම් ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම්, ඊට අන් ක්‍රමයෙකු දු ඇත්තේ ද?

2. ඇවැත්නි, ඇත්තේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ දුකත් දනී ද, දුක් හටගැන්මේ හේතුවත් දනී ද, දුක් නැසීමත් දනී ද, දුක් නැසීමේ පිළිවෙතත් දනී ද, ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ මෙතෙකිනුදු සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටි ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, දුක කවරේ ය? දුක් හටගැනීමේ හේතුව කවරේ ය? දුක් නැසීම කවරේ ය? දුක් නැසීමේ පිළිවෙත කවර?

ඉපදීමත් දුක ය, දිරීමත් දුක ය, ව්‍යාධියත් දුක ය, මරණයත් දුක ය; ශොකය, වැලපීම, කයෙහි දුක, හිතෙහි දුක, දැඩි චිත්තදුඃඛයෙන් වූ ප්‍රතිඝය යන මොහු දුක් ය. යමක් කැමති වන්නේ (එය) නො ලබා නම් එයත් දුක් ය. සැකෙවින් උපාදානස්කන්ධ පස දුක් ය. ඇවැත්නි, මේ දුක ය යි කියනු ලැබේ.

ඇවැත්නි, දුක් හට ගැනීමේ හේතුව කවරේ ය? පුනර්භවය කරණසුලු නන්දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි තුස්නා වූ යම් මේ තෘෂ්ණාවක් වේ ද, කාමාස්වාද තෘෂ්ණා, භව (ශාශ්වතදෘෂ්ටිසහගත) තෘෂ්ණා, විභව (උච්ඡෙදදෘෂ්ටිසහගත) තෘෂ්ණා යි (ත්‍රිවිධ වූ) මේ තෘෂ්ණා තොමෝ ඇවැත්නි, දුක හට ගැනීමේ හෙතු ය යි කියනු ලැබේ.

ඇවැත්නි, දුඃක්ඛනිරොධය කවරේ ය? ආර්යමාර්ගයෙන් ඒ තෘෂ්ණාවගේ ම යම් අත්‍යන්තප්‍රහාණයෙක්, හැරලීමෙක්, දුරලීමෙක්, මිදීමෙක්, නො ඇල්මෙක් වේ ද, ඇවැත්නි, මේ දුඃක්ඛනිරොධ ය යි කියනු ලැබේ.

ඇවැත්නි, දුක්ඛනිරොධගාමිනීපටිපදා කවර? සම්‍යග්දෘෂ්ටි, සම්‍යක් සඞ්කල්ප, සම්‍යක් වචන, සම්‍යක් කර්මාන්ත, සම්‍යග් ආජීව, සම්‍යක් ව්‍යායාම, සම්‍යක් ස්මෘති, සම්‍යක්සමාධි යන මේ අරීඅටගිමග ම දුඃක්ඛනිරොධ ගාමිනී ප්‍රතිප්‍රදාය.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ දුක දනී ද, මෙසේ දුක් හට ගැනීමේ හේතුව දනී ද, මෙසේ දුක් නැසී ම දනී ද, මෙසේ දුක් නැසීමට පමුණුවන පිළිවෙත දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය පහ කොට ප්‍රතිඝානුශය දුරැර අස්මි දෘෂ්ටිය හා සදෘශ වූ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා ඉහාත්මයේ දීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [3. සච්චවාරයයි.]

1. ඒ භික්ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, යම් ලෙසකින් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වේ ද,... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ ද, ඊට අන්‍ය ක්‍රමයෙකුත් ඇත්තේ ද?

2. ඇවැත්නි, ඇත. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ ජරාමරණයත් දනී ද, ජරාමරණ හටගන්නා හේතුවත් දනී ද, ජරාමරණනිරොධයත් දනී ද, ජරාමරණ නැසීමට පමුණුවන පිළිවෙතත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, ජරාමරණ කවරේ ය? ජරාමරණ සමුදය කවරේ ය? ජරාමරණනිරොධය කවරේ ය? ජරාමරණනිරොධයට පමුණුවන ප්‍රතිපදා කවර? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායයන්හි යම් දිරීමක්, දිරන බවෙක්, කැඩුණු බවෙක්, කෙහෙපැසුණු බවෙක්, හම රැළි වැටුණු බවෙක්, ආයුෂ පිරිහීමෙක්, ඉන්ද්‍රියයන්ගේ මෙරීමෙක් වේ ද - ඇවැත්නි, මේ ජරායයි කියනු ලැබේ. ඇවැත්නි, මරණය කවරේ ය? ඒ ඒ සත්වනිකායයන්ගෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමෙක්, චුත වන බවෙක්, භෙදයෙක්, අතුරුදන් වීමෙක්, මරණයෙක්, කාලක්‍රියාවෙක්, ස්කන්ධයන්ගේ බිඳුමෙක්, ශරීරය බහා තැබීමෙක් වේ ද - ඇවැත්නි, මේ මරණය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ මේ ජරාවත් මරණයත් දෙක ජරාමරණ ය යි කියනු ලැබේ. ඉපදීම හේතුවෙන් ජරාමරණ ඇති වේ. ඉපදීම නැසී මෙන් ජරාමරණ නැති වේ. මේ අරිඅටගීමඟ ම ජරාමරණ නැසී මට පමුණුවන පිළිවෙත වේ. එනම්: සම්‍යග්දෘෂ්ටිය -පෙ- සම්‍යක්සමාධිය යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණ හටගැනීමේ හේතුව දනී ද, මෙසේ ජරාමරණ නැසී මත් දනී ද, මෙසේ ජරාමරණ නැසීමට පමුණුවන පිළිවෙතත් දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය පහ කොට ප්‍රතිඝානුශය දුරු කොට ... ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [4. ජරාමරණවාරය යි.]

1. ඒ භික්ෂුහු ‘ඇවැත්නි, මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන්‍ය ක්‍රමයෙකුදු වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ ඉපදීම දනී ද, ඉපදීමේ හේතුවත් දනී ද, ඉපදීමේ නිරොධයත් දනී ද, ඉපදීම නිරොධයට පමුණුවන ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනු දු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටි ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, උප්පත්තිය කවර? උත්පත්තිහෙතු කවරේ ය? උත්පත්ති නිරොධය කවරේ ය? උත්පත්ති නිරොධයට පමුණුවන ප්‍රතිපදා කවර? ඒ ඒ සත්වනිකායයන්හි ඒ ඒ එසත්වයන්ගේ යම් අසම්පූර්ණායතන වශයෙන් ඉපදීමෙක්, පරිපූර්ණායතන වශයෙන් මනාසේ ඉපදීමෙක්, අණ්ඩකොෂ වස්තිකොෂයන්ට පිවිසීම් වශයෙන් පිළිසිඳ ගැන්මෙක්, සංසෙදජ ඕපපාතික වශයෙන් ප්‍රකට ව නිපදීමෙක්, ස්කන්ධයන්ගේ පහළ වීමෙක්, ආයතනයන්ගේ ලැබීමෙක් වේ ද, ඇවැත්නි, මේ උත්පත්ති ය යි කියනු ලැබේ. (කර්ම) භව හේතුවෙන් ජාතිය වේ. භව නිරොධයෙන් ජාති නිරොධය වේ. මේ අරිඅටගිමහ ජාති නිරොධයට පමුණු වන ප්‍රතිපදාව යි. එනම්: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ ජාතිය දනී ද, මෙසේ ජාතිසමුදය දනී ද, මෙසේ ජාතිනිරොධය දනී ද, මෙසේ නිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය ප්‍රහාණය කොට ... ඇවැත්නි, මෙතෙකින් ද ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටි ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [5. ජාතිවාරය යි.]

1. ඒ භික්ෂුහු ‘ඇවැත්නි මැනවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන්‍ය ක්‍රමයෙකුදු වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ භවයන් දනී ද, භවසමුදයත් දනී ද, භවනිරොධයත් දනී ද, භවනිරොධගාමිනීප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, භවය කවරේ ය? භවසමුදය කවරේ ය? භවනිරොධය කවරේ ය? භවනිරොධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්නි, මේ භවයෝ කාමභවය, රූපභවය, අරූපභවය යි තිදෙනෙක් වෙත්. උපාදාන හේතුවෙන් භවසමුදය වේ. උපාදාන නිරොධයෙන් භව නිරොධය වේ. මේ අරීඅටගිමග ම භවනිරොධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය යි.

4. ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ යම් කලෙක පටන් මෙසේ භවය දනී ද, මෙසේ භවසමුදය දනී ද, මෙසේ භවනිරොධය දනී ද, මෙසේ භවනිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම හැම ලෙසින්ම රාගානුශය පහ කොට ... ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [6. භවවාරය යි.]

1. ඒ භික්ෂූහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන්‍ය ක්‍රමයෙකුදු වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ උපාදානයත් දනී ද, උපාදානසමුදයත් දනී ද, උපාදාන නිරොධයත් දනී ද, උපාදාන නිරොධගාමිනීප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, උපාදානය කවරේ ය? උපාදානය සමුදය කවරේ ය? උපාදානනිරොධය කවරේ ය? උපාදානනිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, මේ උපාදානයෝ සතර දෙනෙක් වෙත්: කාමූපාදානය (වස්තුකාමය තෘෂ්ණාවෙන් දැඩි කොට ගැනීම) දිට්ඨුපාදානය(දෘෂ්ටිය දැඩි කොට ගැනීම) සීලබ්බතුපාදානය (බාහිර ශීලව්‍රත මොක්ෂමාර්ගය සේ දැඩි කොට සලකා ගැනීම) අත්තවාදූ පාදානය (ආත්මය ඇතැයි දැඩි කොට ගැනීම) ද වෙති. තෘෂ්ණාසමුදයෙන්උපාදාන සමුදය වේ. තෘෂ්ණානිරොධයෙන් උපාදාන නිරොධය වේ. උපාදානනිරොධගාමිනීප්‍රතිපදාව මේ අරීඅටගිමග ම ය. එනම්: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය යි.

 [7. උපාදානවාරය යි.]

1. ඒ භික්ෂුහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකු දු වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ තණ්හාවත් දනී ද, තණ්හාසමුදයත් දනී ද, තණ්හානිරොධයත් දනී ද, තණ්හානිරොධගාමිනීප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, තණ්හාව කවර? තණ්හාසමුදය කවරේ ය? තණ්හා නිරොධය කවරේ ය? තණ්හානිරොධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්නි, රූපතෘෂ්ණාව, ශබ්දතෘෂ්ණාව, ගන්ධතෘෂ්ණාව, රසතෘෂ්ණාව, ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව, ධර්මතෘෂ්ණාව ය යි මේ තෘෂ්ණාකායයෝ සදෙනෙක් වෙත්. වෙදනාසමුදයෙන් තණ්හාසමුදය වේ. වෙදනානිරොධයෙන් තණ්හානිරොධය වේ. මේ අරීඅටගිමග ම තෘෂ්ණානිරොධගාමිනීප්‍රතිපදාව වෙයි. එනම්: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ තෘෂ්ණාව දනී ද, මෙසේ තෘෂ්ණාසමුදය දනී ද, මෙසේ තෘෂ්ණානිරොධය දනී ද, මෙසේ තෘෂ්ණානිරොධගාමිනීප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගානුශය පහ කොට... ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [8. තණ්හාවාරය යි.]

1. ඒ භික්ෂූහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමොදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකු දු වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ වෙදනාවත්වත් දනී ද, වෙදනා සමුදයත් දනී ද, වෙදනා නිරොධයත් දනී ද, වෙදනානිරොධගාමිනීප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ මෙතෙකිනිදු සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටි තොමෝ ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, වෙදනාව කවර? වෙදනාසමුදය කවරේ ය? වෙදනානිරොධය කවරේ ය? වෙදනානිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වෙදනා, සොතසම්ඵස්සයෙන් හටගත් වේදනා, ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව, ජිව්හාසම්ඵස්සයෙන් වේදනාව, කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව, මනොසම්ඵස්සයෙන් හටගත් වේදනාය යි මේ වේදනාකායයෝ සයකි. ඵස්සසමුදයෙන් වේදනාසමුදය වේ. ඵස්සනිරොධයෙන් වේදනානිරොධය වේ. මේ අරීඅටගිමග ම වේදනානිරොධගාමිනී ප්‍රතිපදාවයි. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ වෙදනාවත් දනී ද, මෙසේ වෙදනා සමුදයත් දනී ද, මෙසේ වෙදනා නිරොධයත් දනී ද, මෙසේ වෙදනානිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කිරීමෙන්... ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ මෙ තෙකිනුත් සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [9. වෙදනාවාරය යි.]

1. ඒ භික්ෂුහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමොදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්නි ... මේ නිර්වාණධර්මයට පැමිණියේ නම් ඊට අන් ක්‍රමයකුත් වන්නේ ද?

2. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ ඵස්සය දනී ද, ඵස්සයසමුදය දනී ද, ඵස්සනිරොධය දනී ද, ඵස්සනිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ මෙතෙකිනුත් සම්‍යග් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, ඵස්සය කවරේ ය? ඵස්ස සමුදය කවරේය? ඵස්සනිරොධය කවරේ ය? ඵස්සනිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, චක්ඛුසම්ඵස්සය, සොතසම්ඵස්සය, ඝානසම්ඵස්සය, ජිව්හාසම්ඵස්සය, කායසම්ඵස්සය, මනොසම්ඵස්සය යි ස්පර්ෂකායයෝ සයකි. සළායතනසමුදයෙන් ඵස්සසමුදය වේ. සළායතනනිරොධයෙන් ඵස්සනිරොධය වේ. මේ අරීඅටගිමඟ ම ඵස්සනිරොධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ ඵස්සය දනී ද, මෙසේ ඵස්සසමුදය දනී ද, මෙසේ ඵස්සනිරොධය දනී ද, මෙසේ ඵස්සනිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කිරීමෙන්... ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [10. ඵස්සවාරය යි.]

1. ඒ භික්ෂුහු ‘ඇවැත්නි මැනැවැ’යි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමොදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයකුත් වන්නේ ද?

2. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ සළායතනය දනී ද, සළායතනසමුදය දනී ද, සළායතනනිරොධය දනී ද, සළායතන නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ මෙතෙකිනුත් සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, සළායතන කවරේ ය? සළායතන සමුදය කවරේ ය? සළායතන නිරොධය කවරේ ය? සළායතන නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යි මේ ආයතන සයකි. නාමරූපසමුදයෙන් සළායතන වේ. නාමරූප නිරොධයෙන් සළායතන නිරොධය වේ. මේ අරීඅටගිමග ම සළායතන නිරොධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධි යන මේ යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ සළායතන දනී ද, මෙසේ සළායතනසමුදය දනී ද, සළායතන නිරොධය දනී ද, සළායතන නිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කොට... ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [11. සළායතනවාරය යි]

1. ඒ භික්ෂූහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමොදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකුත් වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ නාමරූපයත් දනී ද, නාමරූප සමුදයත් දනී ද, නාමරූප නිරොධයත් දනී ද, නාමරූප නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, නාමරූපය කවරේ ය? නාමරූප සමුදය කවරේ ය? නාමරූප නිරොධය කවරේ ය? නාමරූප නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, වෙදනාව සංඥාව චෙතනාව ස්පර්ශය මනසිකාරය යන මෙය නාම යයි කියනු ලැබේ. ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ මේ නාමයත් මේ රූපයත් යන මෙය නාමරූපය යි කියනු ලැබේ. විඤ්ඤාණ සමුදයෙන් නාමරූප සමුදය වේ. විඤ්ඤාණ නිරොධයෙන් නාමරූප නිරොධය වේ. මේ අරීඅටගිමග ම නාමරූප නිරොධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ නාමරූපයත් දනී ද, මෙසේ නාමරූප සමුදයත් දනී ද, මෙසේ නාමරූප නිරොධයත් දනී ද, මෙසේ නාමරූප නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කිරීමෙන්... ඇවැත්නි, මෙතෙකිනුදූ ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [12. නාමරූපවාරය යි.]

1. ‘ඇවැත්නි මැනැවැ’යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමොදන් ව මත්තෙහි සැරියුත් තෙරුන්ගෙන් ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්නි ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකුත් වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ විඤ්ඤාණයත් දනී ද, විඤ්ඤාණ සමුදයත් දනී ද, විඤ්ඤාණ නිරොධයත් දනී ද, විඤ්ඤාණ නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, විඤ්ඤාණය කවරේ ය? විඤ්ඤාණ සමුදය කවරේ ය? විඤ්ඤාණ නිරොධය කවරේ ය? විඤ්ඤාණ නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, මේ විඤ්ඤාණ කායයෝ සයෙකි: චක්ඛුවිඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝානවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කයවිඤ්ඤාණය, මනොවිඤ්ඤාණය යි කියායි. සංඛාරසමුදයෙන් විඤ්ඤාණ සමුදය වේ. සංඛාරනිරොධයෙන් විඤ්ඤාණනිරොධය වේ. මේ අරීඅටගිමග ම විඤ්ඤාණනිරොධගාමිනී ප්‍රතිපදාවයි. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ විඤ්ඤාණයත් දනී ද, මෙසේ විඤ්ඤාණසමුදයත් දනී ද, මෙසේ විඤ්ඤාණ නිරොධයත් දනී ද, මෙසේ විඤ්ඤාණ නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය දුරු කොට... ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [13. විඤ්ඤාණවාර යි.]

1. ඒ භික්ෂූහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමොදන්ව මත්තෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකුත් වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ සංස්කාරයත් දනී ද, සංස්කාර සමුදයත් දනී ද, සංස්කාරනිරොධයත් දනී ද, සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, සංස්කාරයෝ කවරයහ? සංස්කාර සමුදය කවරේ ය? සංස්කාර නිරොධය කවරේ ය? සංස්කාර නිරොධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්නි, මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙත්: කාය සංස්කාර, වාක් සංස්කාර, චිත්ත සංස්කාරයයි කියා යි. අවිජ්ජාසමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිජ්ජානිරොධයෙන් සංස්කාර නිරොධය වේ. මේ අරීඅටගිමග ම සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේයි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ සංස්කාරයනුත් දනී ද, මෙසේ සංස්කාරසමුදයත් දනී ද, මෙසේ සංස්කාර නිරොධයත් දනී ද, මෙසේ සංස්කාරනිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කොට ප්‍රතිඝානුශය දුරු කොට, ‘අස්මි’ යි දෘෂ්ටි සදෘශ මානානුශය නසා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

 [14. සඞ්ඛාරවාර යි.]

1. ඒ භික්ෂූහු ඇවැත්නි මැනැවැයි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමොදන් ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහිදු ප්‍රශ්නයක් පුළුවුත්හ: “ඇවැත්නි, ... මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ ද ඊට අනෙක් ක්‍රමයෙකුදු වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ අවිද්‍යාවත් දනී ද, අවිද්‍යාසමුදයත් දනී ද, අවිද්‍යානිරොධයත් දනී ද, අවිද්‍යානිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, අවිද්‍යාව කවර? අවිද්‍යා සමුදය කවරේ ය? අවිද්‍යා නිරොධය කවරේ ය? අවිද්‍යා නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, දුක්ඛ දුක්ඛසමුදය දුක්ඛනිරොධ දුක්ඛනිරොධගාමිනීපටිපදා පිළිබඳ යම් නො දැනීමෙක් වේ ද, ඇවැත්නි, මේ අවිද්‍යාය යි කියනු ලැබේ. ආස්‍රව සමුදයෙන් අවිද්‍යාසමුදය වේ. ආස්‍රව නිරොධයෙන් අවිද්‍යා නිරොධය වේ. මේ අරීඅටගිමග ම අවිද්‍යා නිරොධගාමිනී ප්‍රතිපදා වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ අවිද්‍යාවත් දනී ද, මෙසේ අවිද්‍යා සමුදයත් දනී ද, මෙසේ අවිද්‍යා නිරොධයත් දනී ද, මෙසේ අවිද්‍යා නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කොට ප්‍රතිඝානුශය දුරු කොට, අස්මි යි දෘෂ්ටි සදෘශ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකින් ද ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [15. අවිජ්ජාවාර යි.]

1. ඇවැත්නි, ‘මැනැවැයි’ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙණ අනුමොදන් ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහිඳු ප්‍රශ්නයක් පුළුවුත්හ: ඇවැත්නි, යම් ලෙසකින් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වේ නම් ඔහුගේ දෘෂ්ටිය ඍජු වේ නම් දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වේ නම්, ඊට තවත් ක්‍රමයෙක් වන්නේ ද?

2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ ආස්‍රවයත් දනී ද, ආස්‍රවසමුදයත් දනී ද, ආස්‍රවනිරොධයත් දනී ද, ආස්‍රව නිරොධ ගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්නි, ආස්‍රව කවරේ ය? ආස්‍රව සමුදය කවරේ ය? ආස්‍රව නිරොධය කවරේ ය? ආස්‍රව නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, කාමාස්‍රව, භවාස්‍රව, අවිද්‍යාස්‍රව යයි මේ ආස්‍රව තුණෙකි. අවිද්‍යා සමුදයෙන් ආස්‍රව සමුදය වේ. අවිද්‍යා නිරොධයෙන් ආස්‍රව නිරොධය වේ. මේ අරීඅටගිමග ම ආස්‍රව නිරොධගාමිනී ප්‍රතිපදා වෙයි. එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ යි.

4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ ආස්‍රවත් දනී ද, මෙසේ ආස්‍රව සමුදයත් දනී ද, මෙසේ ආස්‍රව නිරොධයත් දනී ද, මෙසේ ආස්‍රව නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය දුරු කොට ප්‍රතිඝානුශය දුරු කොට අසමි යි දෘෂ්ටි සදෘශ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව පහ කොට විද්‍යාව උපදවා ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුත් ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

 [16. ආසවවාරයි.]

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව මැනැවැයි පිළිගත්හ.

නව වැනී වූ සම්මාදිට්ඨි සූත්‍රය නිමියේ ය