සල්ලේඛ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

පලමු වැනි මූලපරියාය වර්ගයේ

8

සල්ලේඛ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් මහාචුන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:

2. ස්වාමීනි, (විසිවැදෑරුම්) ආත්මවාදයෙන් යුක්ත වූත් (අටවැදෑරුම්) ලොකවාදයෙන් යුක්තවූත් යම් මේ නොයෙක් ආකාර මිථ්‍යාදෘෂ්ටීහු ලොකයෙහි උපදිත් ද, ස්වාමීනි, පළමු කොට ම හෙවත් විදර්‍ශනාමිශ්‍ර ප්‍රථම (භාවනා) මනස්කාරය මෙනෙහි කරන්නා වූ ම මහණහට මෙසේ ඒ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේ ද? මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ ද?

චුන්‍දය, ආත්මවාදයෙන් යුක්ත වූත් ලොකවාදයෙන් යුක්ත වූත් යම් මේ නොයෙක් ආකාර දෘෂ්ටීහු ලොකයෙහි උපදිත් ද, යම් පඤ්චස්කන්‍ධයෙක්හි දෘෂ්ටිහු උපදිත් ද, යම් පඤ්චස්කන්‍ධයෙක්හි මේ දෘෂ්ටීහු ලැග සිටිත් ද, යම් තැනෙක මේ දෘෂ්ටීහු හැසිරෙද්ද, ඒ පඤ්චස්කන්‍ධය “තෙල මා නොගැත්තේ ය. මම තෙල පඤ්චස්කන්‍ධයෙම නො වෙමි. මාගේ ඉසුරු පඤ්චස්කන්‍ධයෙහි නො පවත්නේය යි මෙසේ මෙය තත් වූ පරිදි විවසුන් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුර ලීම වෙයි.

3. වුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඕහට ‘සල්ලෙඛයෙන් (කෙලෙස් සිඳීමෙන්) යුක්ත ව වාසය කරමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්යශාසනයෙහි ඉහාත්මභාවසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.

4. වුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් විතර්‍කවිචාරයන් සන්සිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති හිතේ උතුම් එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි යන යමක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘සල්ලෙඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්යවිනයයෙහි සල්ලෙඛයෝ යයි කියනු නො ලැබෙත්. මොහු ආර්යවිනයයෙහි දෘෂ්ටධර්‍ම සුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.

5. වුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ප්‍රීතිය ද හැරපීමෙන් උපෙක්‍ෂක ව සිහි ඇති ව මනා නුවණින් යුක්ත ව වාසය කෙරෙයි ද, කයින් සැප විඳියි ද, යම් ධ්‍යාන හේතුවකින් තෘතීයධ්‍යානයෙන් යුක්ත වූවහුට උපෙක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුවසේ වසනසුලු යි බුද්ධාදි ආර්යයෝ පසසත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලෙඛයෙන් යුක්ත ව වසමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්ය විනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්යවිනයයෙහි දෘෂ්ටධර්‍මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.

6. වුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් (පළමුකොට ම) සැපය ද නැති කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සැප නැති උපෙක්‍ෂායෙන් වූ ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුත්‍ර්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි ඒ මහණහට ‘මම සල්ලෙඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්යශාසනයේ දෘෂ්ටධර්‍මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.

7. වුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව (රූපාදිනානාගොචරයන්හි පවත්නා) සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට “මම සල්ලෙඛයෙන් වසමි”යි අධිමානයෙක් වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.

8. වුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලෙඛයෙන් වසමි’යි අධිමානයෙක් වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.

9. වුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි (මෙනෙහි කරන්නේ) ආකිඤ්චඤ්ඤායතනධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට මම සල්ලෙඛයෙන් වසමි’යි, අධිමානය වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්යවිනයෙහි ශාන්ත විහරණයෝ ය යි කියනු ලැබෙත්.

10. වුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලෙඛයෙන් වසමි’යි අධිමානය වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.

 (1. සල්ලෙඛ පර්‍ය්‍යාය:)

1. චුන්‍දය, මේ විහිංසාදි සුසාළිස් වස්තූන්හි තොප විසින් සල්ලෙඛය කට යුතු යි. ‘අන්‍යයෝ සතුන්ට හිංසා කරන්නෝ වන්නාහු ය අපි මෙහි (සතුන්ට) හිංසා නො කරන්නමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

2. ‘අන්‍යයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. අපි මෙහි සතුන් මැරීමෙන් වැලකුණමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

3. ‘අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝ වන්නාහු ය. අපි මෙහි නුදුන් දෙය ගැන්මෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

4. ‘අන්‍යයෝ අබ්‍රහ්මචාරී වන්නාහු ය. අපි මෙහි බ්‍රහ්මචාරී වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

5. ‘අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහු ය. අපි මෙහි බොරු කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

6. ‘අන්‍යයෝ පිසුණු බස් කියන්නෝ වන්නාහු ය. අපි පිසුණු බස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

7. ‘අන්‍යයෝ රළුබස් කියන්නෝ වන්නාහු ය. මෙහි දී අපි රළුබස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

8. ‘අන්‍යයෝ ප්‍රලාප කියන්නේ වන්නාහු ය. මෙහි දී අපි ප්‍රලාප කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

9. ‘අන්‍යයෝ අභිධ්‍යා බහුල කොට ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි අභිධ්‍යා බහුල කොට නැත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

10. ‘අන්‍යයෝ ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ව්‍යාපන්න සිත් නැත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

11. ‘අන්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්දෘෂ්ටිකයෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

12. ‘අන්‍යයෝ මිථ්‍යාසඞ්කල්ප ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සඞ්කල්ප ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

13. ‘අන්‍යයෝ මිථ්‍යාවචන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්වචන ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

14. ‘අන්‍යයෝ මිථ්‍යාකර්‍මාන්ත ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්කර්‍මාන්ත ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

15. ‘අන්‍යයෝ මිථ්‍යාආජීව ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යගාජීවය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

16. ‘අන්‍යයෝ මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්ව්‍යායාම ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

17. ‘අන්‍යයෝ මිථ්‍යාස්මෘතිය ඇත්තෝ වන්නාහුය. මෙහි දී අපි සම්‍යක්ස්මෘතිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

18. ‘අන්‍යයෝ මිථ්‍යාසමාධිය ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සමාධිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

19. ‘අන්‍යයෝ මිථ්‍යාඥාන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්ඥාන ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

20. ‘අන්‍යයෝ මිථ්‍යාවිමුක්ති ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්විමුක්ති ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

කරණීයො.

21. ‘අන්‍යයෝ ථීනමිද්ධයෙන් මඩනා ලද්දෝ වන්නාහු ය. මෙහි දී අපි පහ වූ ථීනමිද්ධ ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

22. ‘අන්‍යයෝ උද්ධතයෝ වන්නාහු ය. මෙහි දී අපි අනුද්ධතයමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

23. ‘අන්‍යයෝ විචිකිච්ඡා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තරණය කළ විචිකිච්ඡා ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

24. ‘අන්‍යයෝ කිපෙනසුල්ලෝ වන්නාහු ය. මෙහි දී අපි නොකිපෙනසුල්ලමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

25. ‘අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි බද්ධවෛර නැත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

26. ‘අන්‍යයෝ ගුණමකුවෝ වන්නාහු ය. මෙහි දී අපි ගුණමකුවමෝ නොවන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

27. ‘අන්‍යයෝ යුගග්‍රාහ ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි යුගග්‍රාහ නැත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

28. ‘අන්‍යයෝ ඊර්‍ෂ්‍යා කරන්නෝ වන්නාහු ය. මෙහි දී අපි ඊර්‍ෂ්‍යා නො කරන්නමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

29. ‘අන්‍යයෝ මසුරෝ වන්නාහු ය. මෙහි දී අපි මසුරමෝ නො වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

30. ‘අන්‍යයෝ කෛරාටිකයෝ වන්නාහු ය. මෙහි දී අපි කෛරාටිකයමෝ නො වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

31. ‘අන්‍යයෝ මායා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි මායා නැත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

32. ‘අන්‍යයෝ තදබැව් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තදබැව් නැත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

33. ‘අන්‍යයෝ අධිකමාන ඇත්තෝ වන්නාහු ය, මෙහි දී අපි අධිකමාන නැත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

34. ‘අන්‍යයෝ දුර්‍වචයෝ වන්නාහු ය. මෙහි දී අපි සුවචයමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

35. ‘අන්‍යයෝ පාපමිත්‍රයන් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි කල්‍යාණමිත්‍රයන් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

36. ‘අන්‍යයෝ ප්‍රමත්තයෝ වන්නාහු ය. මෙහි දී අපි අප්‍රමත්ත වූවමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

37. ‘අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ශ්‍රද්ධා ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

38. ‘අන්‍යයෝ අහිරිකයෝ වන්නාහු ය. මෙහි දී අපි විළිසිත් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

39. ‘අන්‍යයෝ පවට බිය නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි පවට බිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

40. ‘අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ඇසූ පිරූ තැන් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

41. ‘අන්‍යයෝ කුසීතයෝ වන්නාහු ය. මෙහි දී අපි ආරබ්ධවීර්ය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

42. ‘අන්‍යයෝ සිහි මුළා වූවෝ වන්නාහු ය. මෙහි දී අපි එළඹ සිටි සිහි ඇත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

43. ‘අන්‍යයෝ දුෂ්ප්‍රාඥ වන්නාහු ය. මෙහි දී අපි නුවණැත්තමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

44. ‘අන්‍යයෝ තමන්ගේ දෘෂ්ටිය පරාමර්‍ශනය කළාහු, දැඩි කොට ගත්තාහු, අත් නො හරින්නෝ වන්නාහු ය. මෙහි දී අපි ස්වදෘෂ්ටිය ම පරාමර්‍ශනය නො කරන්නමෝ, දැඩි කොට නො ගන්නමෝ, සුවසේ බැහැර කළ හැක්කමෝ වන්නෙමු’යි සල්ලෙඛය කළ යුතු යි.

2. (චිත්තුප්පාදපරියායො:)

2. (චිත්තුප්පාද පර්‍ය්‍යාය:)

1. චුන්‍දය, මම කුශලධර්‍මයන්හි සිත් ඉපදවීම ද බොහෝ උපකාර ය යි කියමි. කයින් හා වචනයෙන් කිරීම් කරවීම්හි (අනුසස්) කියනු ම කවරේ ද?

2. චුන්‍දය, එහෙයින් මෙහි ලා ‘අන්‍යයෝ හිංසා කරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි අහිංසකයමෝ වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය. ‘අන්‍යයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි සතුන් මැරීමෙන් වෙන් වූවමෝ වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය..... ‘අන්‍යයෝ ස්වදෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නාහු දැඩි කොට ගන්නාහු. සුව සේ බැහැර නො කළ නො න්නාහු වන්නාහු ය. මෙහි ලා අපි ස්වදෘෂ්ටිය ම පරාමර්‍ශනය නො කරන්නමෝ දැඩි කොට නො ගන්නමෝ සුව සේ හළ හෙන්නමෝ නො වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය. (44)

 (3. පරික්කමන පර්‍ය්‍යාය:)

1. චුන්‍දය, යම් සේ විෂමමාර්‍ගයෙක් වේ ද, එය හැරපියා යෑමට අන්‍ය වූ සමමාර්‍ගයෙකුත් වේ ද, චුන්‍දය, යම් සේ විෂම තොටෙක් වේ ද, එය හැරපියා යෑමට අන්‍ය වූ සම තොටෙකුත් වේ ද,

2. චුන්‍දය, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාට එයින් දුරුවීම පිණිස අහිංසාව වෙයි. ප්‍රාණඝාත කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. නුදුන් දැය ගන්නා පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අදත්තාදාන විරමණය වෙයි. අබ්‍රහ්මචාරී පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබ්‍රහ්මචර්‍ය්‍ය විරමණය වෙයි. මුසවා කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පිසුණවාචාවිරමණය වෙයි. පරොස්බස් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පරුෂවාචාවිරමණය වෙයි. නිෂ්ඵල වචන කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්ඵප්පලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල කොට ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපන්න වූ සිත් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණස අව්‍යාපාදය වෙයි. (1 - 10)

3. මිථ්‍යාදෘෂ්ටිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්දෘෂ්ටිය වෙයි. මිථ්‍යාසංකල්පය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්සංකල්පය වෙයි. මිථ්‍යවචන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්වචන වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්කර්‍මාන්තය වෙයි. මිථ්‍යාජීවය ඇති පුද්ගලයාට එයින් දුරුවීම පිණිස සම්‍යගාජීවය වෙයි. මිථ්‍යාව්‍යායාම ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්ව්‍යායාමය වෙයි. මිථ්‍යාස්මෘතිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්ස්මෘතිය වෙයි. මිථ්‍යාසමාධිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්සමාධිය වෙයි. මිථ්‍යාඥානය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්ඥානය වෙයි. මිථ්‍යාවිමුක්තිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්විමුක්තිය වෙයි. (11-20)

4. ථීනමිද්ධයෙන් මැඩුණු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස විගත ථීනමිද්ධභාවය වෙයි. උද්ධතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනෞද්ධත්‍යය වෙයි. විචිකිච්ඡාව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස තිණ්ණවිචිකිච්ඡතාව වෙයි. කිපෙනසුලු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අක්‍රොධය වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබද්ධවෛරය වෙයි. ගුණමකු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමක්‍ඛය වෙයි. යුගග්‍රාහය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස යුගග්‍රාහාභාවය වෙයි. ඊර්‍ෂ්‍යා කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනීර්‍ෂ්‍යාව වෙයි. මසුරු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො මසුරු බව වෙයි. ශඨ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අශඨභාවය වෙයි. මායාවි පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො තද බව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනතිමානය වෙයි. දුර්‍වච පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සුවචභාවය වෙයි. පාපමිත්‍රයන් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස කල්‍යාණමිත්‍රතාව වෙයි. ප්‍රමත්ත පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අප්‍රමාදය වෙයි. අශ්‍රද්ධපුද්ගලයාට එයින් දුරු වීම පිණිස ශ්‍රද්ධාව වෙයි. අහ්‍රිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස හ්‍රිය වෙයි. අනපත්‍රපපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අපත්‍රපතාව වෙයි. අල්පශ්‍රෑතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස බහුශ්‍රැතතාව වෙයි. කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්යාරම්භය වෙයි. මුළා සිහි ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස එළඹ සිටි සිහිඇති බව වෙයි. නුවණ නැති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රඥාසම්පදාව වෙයි. සියදිටු පැහැසීම දැඩිව ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො සියදිටු පැහැසීම නො දැඩි ගැනීම හරනට පහසු බව වෙයි. (21 - 44)

 (4. උපරිභාවපර්‍ය්‍යාය:)

1. චුන්‍දය, යම්සේ වනාහි යම් කිසි අකුශලධර්‍ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ලෝ (නොමිහිරිවිපාක ඇති බැවින්) පහත්බවට කරුණු වෙති. යම් කිසි කුශලධර්‍ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ලෝ මිහිරිවිපාක ඇති බැවින්) උසස් බවට කරුණු වෙති.

2. චුන්‍දය, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ උසස්බව පිණිස අවිහිංසාව වෙයි. සතුන් මරන පුද්ගලයාගේ උසස්බව පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. සොරකම් කරන...සියදිටු පැහැසීම දැඩිව ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාගේ උසස්බව පිණිස නො සියදිටු පැහැසීම නො දැඩි ගැනීම හරනට පහසුබව වෙයි. (44)

 (5. පරිනිබ්බානපර්‍ය්‍යාය:)

1. චුන්‍දය, එකාන්තයෙන් (යමෙක්) තෙමේ මඩෙහි එරුණේ ද හෙතෙමේ මඩෙහි එරුණු අනෙකක්හු නඟාලන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන නො වෙයි. චුන්‍දය, එකාන්තයෙන් (යමෙක්) තෙමේ මඩෙහි නො එරුණේ ද, හෙතෙමේ මඩෙහි එරුණු අනෙකක්හු නඟාලන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන වෙයි. චුන්‍දය, එකාන්තයෙන් (යමෙක්) තෙමේ නො දැමුණේ නො හික්මුණේ නො පිරිනිවුණේ වේ ද, හෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේ ය, හික්මවන්නේය, පිරිනිවීමට පමුණුවන්නේයැ යන මෙකරුණ විද්‍යමාන නො වෙයි. චුන්‍දය, එකාන්තයෙන් (යමෙක්) තෙමේ දැමුණේ හික්මුණේ පිරිනිවුණේ වේ ද, හෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේය හික්මවන්නේය පිරිනිවීමට පමුණුවන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන වෙයි.

2. චුන්‍දය, මෙපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අවිහිංසාව වෙයි. ප්‍රාණඝාතක පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. නො දුන් දෙය ගන්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අදත්තාදානවිරමණය වෙයි. බඹසර නො රක්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබ්‍රහ්මචර්‍ය්‍යවිරමණය වෙයි. බොරු කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස පිසුණවාචාවිරමණය වෙයි. රළුබස් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ඵරුසවාචාවිරමණය වෙයි. සම්ඵප්පලාප කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්ඵප්පලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල කොට ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපන්න සිත් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අව්‍යාපාදය වෙයි. (1 - 10)

3. මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්දෘෂ්ටිය වෙයි. මිථ්‍යාසඞ්කල්පය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්සඞ්කල්පය වෙයි. මිථ්‍යාවචන ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්වචනය වෙයි. මිථ්‍යාකර්‍මාන්තය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්කර්‍මාන්තය වෙයි. මිථ්‍යාජීවය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යගාජීවය වෙයි. මිථ්‍යාව්‍යායාමය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්ව්‍යායාමය වෙයි. මිථ්‍යාස්මෘතිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්ස්මෘතිය වෙයි. මිථ්‍යාසමාධිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්සමාධිය වෙයි. මිථ්‍යාඥානය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්ඥානය වෙයි. මිථ්‍යාවිමුක්තිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්විමුක්තිය වෙයි. (11 - 20)

4. ථීනමිද්ධයෙන් මඩනා ලද සිත් ඇත්තහුගේ කෙලෙස් නැති කිරීම පිණිස විගතථීනමිද්ධතාව වෙයි. උද්ධත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනෞද්ධත්‍යය වෙයි. විචිකිච්ඡා ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස තිණ්ණවිචිකිච්ඡතාව වෙයි. ක්‍රොධ කරනසුලු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අක්‍රොධය වෙයි. බද්ධවෛරී පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබද්ධවෛරය වෙයි. ගුණමකු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අමක්‍ඛය වෙයි. යුගග්‍රාහය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස යුගග්‍රාහාභාවය වෙයි. ඊර්‍ෂ්‍යා ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනීර්‍ෂ්‍යාව වෙයි. මසුරු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නො මසුරු බව වෙයි. ශඨ පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අශඨභාවය වෙයි. මායාවී පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නොතද බව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනතිමානය වෙයි. දුර්‍වච පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සුවච භාවය වෙයි. පාපමිතුරන් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස කලණ මිතුරන් ඇති බව වෙයි. ප්‍රමත්ත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අප්‍රමත්තභාවය වෙයි. ශ්‍රද්ධාව නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ස්ශ්‍රද්ධාව වෙයි. හ්‍රීමත් පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස හ්‍රිය වෙයි. අනපත්‍රප පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අපත්‍රපාව වෙයි. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ඇසූ පිරූතැන් ඇති බව වෙයි. කුසීත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භය වෙයි. මුළා සිහි ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස කිරීම පිණිස එළඹ සිටි සිහිය වෙයි. නුවණ නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නුවණ වෙයි. සියදිටු පැහැසීම දැඩි වැ ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නො සියදිටු පැහැසීම දැඩි ව ගැනීම හරනට පහසුබව වෙයි. (21 - 44)

5. චුන්‍දය, මෙසේ මා විසින් කෙලෙස් සිඳ ලන කාරණය දෙසන ලදී. චිත්තොත්පාද කාරණය දෙසන ලදී. කෙලෙසුන්ගෙන් ඉවත්වන කාරණය දෙසන ලදී. උසස් බව නිපදවන කාරණය දෙසන ලදී. (කෙලෙස්) නිවන කාරණය දෙසන ලදී. චුන්‍දය, ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා කරන ශාස්තෘ කෙනකුන් විසින් අනුකම්පායෙන් යමක් කටයුතු ද මා විසින් එය තොපට කරන ලදී. චුන්‍දය, තෙල රුක්මුල්හු වෙති. තෙල ශුන්‍යාගාරයෝ වෙති. චුන්‍දය, ධ්‍යාන වඩවු. පමා නො වවු. පසුව විපිළිසර ඇතියව්හු නො වවු. මේ තොපට අපගේ අනුශාසනාවයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේ යි.

සිවුසාළිස් පද කෙනෙක් කියන ලදහ. පංචසන්‍ධිහු දෙසන ලදහ. සල්ලෙඛ සූත්‍රාන්තය මහසයුර මෙන් ගැඹුරු ය.

අටවැනි වූ සල්ලෙඛ සූත්‍රය නිමියේ ය