අනුමාන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

2

සීහනාද වර්ගය

5

අනුමාණ සූත්‍රය

 

1.මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර සමීපයෙහි මිහිඟුගස් ඇති මුවළැව් උයන්හි වාස කෙරෙති. එහි දී ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි,”යි භික්‍ෂූන් ඇමැතූහු. ඒ භික්‍ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල දෙසූහ: ඇවැත්නි, යම් මැ මහණකු “මම අයුෂ්මතුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට අවවාද අනුශාසනා වශයෙන් කරුණු කියත්වා”යි පවරතුදු, හෙ ද, දුර්‍වච වූයේ දුර්‍වචභාවය කරන (මතු එන සොළොස්) ධර්‍මයෙන් යුක්ත වූයේ, නො සහනුයේ, අනුශාසනය ඇදුරු කොට නොගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට නො හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට නො හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවියයුතු කොට නො හඟිත්.

2. ඇවැත්නි, දුර්‍වචභාවය කරන ධර්‍මයෝ කවරහ?

ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් පාපෙච්ඡ වූයේ, ලාමකඉ‍ච්ඡාවන්ගේ වශයට ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් වනාහි මහණ ලමු ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (1)

3. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා දක්නේ පරා හෙළා වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (2)

4. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධයා විසින් මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධයා විසින් මඩනා ලද්දේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (3)

5. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (4)

6. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධය හේතු කොට ගෙන ගැටෙන සුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධය හේතු කොට ගෙන ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (5)

7. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධයට අසල් වචන විහිදනුයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධයට අසල් වචන විහිදනුයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (6)

8. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට පටහැනි ව සිටුනේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට ප්‍රත්‍යනීක ව සිටී ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (7)

9. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයා ගරහයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයා ගටා ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (8)

10. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට වටාලා චොදනා කරයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට පෙරලා චොදනා කෙරේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (9)

11. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසයි. කථාව බැහැර පහ කෙරෙයි. කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක පිළිසොයා ද, කථාව බැහැර නතු කෙරේ ද, කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ කෙරේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (10)

12. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (11)

13. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (12)

14. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්‍ෂ්‍යා කරනසුලු වූයේ මසුරු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්‍ෂ්‍යා කරනසුලු වූයේ මසුරු වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (13)

15. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (14)

16. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (15)

17. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ හරනට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (16)

ඇවැත්නි, මොහු (සොළස) දුර්‍වචභාවය කරන ධර්‍මයෝ යැ යි කියනු ලැබෙත්.

18. ඇවැත්නි, මහණ “මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට (අවවාද වශයෙන්) කියත්වා”යි නො පවරතුදු හෙ ද සුවච වූයේ, සුවචභාවය කරන ධර්‍මයෙන් යුක්ත වූයේ, ඉවසන්නේ, අනුශාසනය ඇදුරු කොට ගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට හඟිත්. අනුශාසනය කළයුත්තක් කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවිය කොට හඟිත්.

19. ඇවැත්නි, සුවචභාවය කරන ධර්‍මයෝ කවරහ?

ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ පාපෙච්ඡ නො වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ පාපෙච්ඡ නො වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

20. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා නො දක්නේ, පරා හෙළා නො දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා නො දක්නේ, පරා හෙළා නො දක්නේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

21. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධයා විසින් නො මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධයා විසින් නො මඩනා ලද්දේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

22. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධය හෙතු කොට ගෙන බද්ධවෛර නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධය හෙතු කොට ගෙන බද්ධවෛර නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

23. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධය හෙතු කොට ගෙන නො ගැටෙනසුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධය හෙතු කොට ගෙන නො ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

24. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ නොකරන්නේ ක්‍රොධයට අසල් වචන නිකුත් නො කරන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රොධ නොකරන්නේ ක්‍රොධයට අසල් වචන නො විහිදනුයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

25. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට පටහැනි ව නො සිටියි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට පටහැනි ව නො සිටීද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

26. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට නො ගටයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට නො ගටාද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

27. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට පෙරලා චොදනා නො කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට පෙරලා චොදනා නො කෙරේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

28. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො පිළිසොයයි. කථාව බැහැර නො කෙරෙයි. කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ නො කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො වසා ද, කථාව බැහැර නො නෙරා ද, කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ නො කෙරේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

29. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට හැක්කේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චොදකයකු විසින් චොදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට හැකි වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

30. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු නො වූයේ යුගග්‍රාහය නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු නො වූයේ යුගග්‍රාහය නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

31. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්‍ෂ්‍යා නො කරන සුලු වූයේ මසුරු නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්‍ෂ්‍යා නො කරන සුලු වූයේ මසුරු නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

32. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික නො වූයේ මායා නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික නො වූයේ මායා නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

33. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබැව් නැත්තේ අධික මාන නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබැව් නැත්තේ අධික මාන නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

34. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.

ඇවැත්නි, මොහු (සොළස) සුවචභාවය කරන ධර්‍මයෝ යි කියනු ලැබෙත්.

35. ඇවැත්නි, මේ සොළොස් වැදෑරුම් ධර්‍මයෙහි ලා මහණහු විසින් තමා ම මෙසේ තුලනා කටයුතූයි: (සසඳා තීරණය කටයුතුයි: ) “යම් මේ පුද්ගලයෙක් පාපෙච්ඡා ඇත්තේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් පාපෙච්ඡා ඇත්තෙම්, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් නම්, මමත් අනුන්ට අප්‍රිය වන්නෙමි. අමනාප වන්නෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නාවූ මහණහු විසින් “පාපෙච්ඡා නැත්තෙම් ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියෙම් වන්නෙමි”යි සිත ඉපිදවිය යුතු ය.

36. “යම් මේ පුද්ගලයෙක් වනාහි තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි අමනාප වෙයි. ඉදින් මමත් තමා හුවා දක්නෙම් පරා හෙළා දක්නෙම් වන්නෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “හුවා නො දක්නෙම්, පරා හෙළා නො දක්නෙම් වෙමි”යි සිත ඉපදවිය යුතු ය.

37. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රොධ කරනසුලු වූයේ ක්‍රොධයෙන් මඩනා ලද්දේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රොධ කරන සුල්ලෙම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රොධ නො කරන සුල්ලෙම් ක්‍රොධයෙන් නො මඩනා ලද්දෙම් වෙමි”යි සිත ඉපදවිය යුතු ය.

38. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධ හෙතු කොට බද්ධවෛර ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ක්‍රොධ කරන සුල්ලෙම් ක්‍රොධ හෙතු කොට බද්ධවෛර ඇත්තෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රොධ නො කරන සුල්ලෙම් ක්‍රොධය හෙතු කොට බද්ධවෛර නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

39. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධය හෙතු කොට ගැටෙනසුලු වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මම ද ක්‍රොධ කරන සුල්ලෙම් වෙම් නම්, මමත් අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රොධ නො කරන සුල්ලෙම්, ක්‍රොධය හෙතු කොට නො ගැටෙන සුල්ලෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

40. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධයට ළං කොට වචන නිකුත් කරන්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රොධ කරනසුලූ වුයෙම් ක්‍රොධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම් අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රොධ නො කරන සුල්ලෙම් වෙමි. ක්‍රොධයට ළං කොට වචන නො නිකුත් කරමි” යි සිත ඉපදවිය යුතු ය.

41. “යම් මේ පුද්ගලයෙක් වනාහි චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට පටහැනි ව සිටී ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම් චොදකයාට පටහැනි ව සිටින්නෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම් චොදකයාට නො පටහැනි ව සිටින්නෙමි” යි සිත ඉපදවිය යුතු ය.

42. “යම් මේ පුද්ගලයෙක් වනාහි චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයා ගරහා ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම් චොදකයා ගරහම් නම්, “මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චොදනා කරන ලද්දෙම් චොදකයාට නො ගරහමි” යි සිත ඉපදවිය යුතු ය.

43. “යම් මේ පුද්ගලයෙක් වනාහි චොදකයකු විසින් චොදනා කරන ලද්දේ චොදකයාට පෙරලා චොදනා කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් චොදකයාට පෙරලා චොදනා කරන්නෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම් චොදකයාට පෙරලා චොදනා නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.

44. “යම් මේ පුද්ගලයෙක් වනාහි ද, චොදකයකු විසින් චොදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසා ද, බැහැරට කථාව නතු කෙරේ ද, කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසම් නම්, බැහැරට කථාව නතු කරම් නම්, කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ කෙරෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක නො වසමි, බැහැරට කථාව නතු නො කරමි. කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.

45. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැකි වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියමි” යි සිත ඉපදවිය යුතු ය.

46. “යම් මේ පුද්ගලයෙක් වනාහි ගුණ මකන්නේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ගුණ මකන්නෙම් යුගග්‍රාහ ඇත්තෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ගුණ නො මකන්නෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

47. “යම් මේ පුද්ගලයෙක් වනාහි ඊර්‍ෂ්‍යා කරන්නේ මසුරු බැව් ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ඊර්‍ෂ්‍යා කරන්නෙම්, මසුරු බැව් ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ඊර්‍ෂ්‍යා නො කරන්නෙම්, නො මසුරු බැව් ඇත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

48. “යම් මේ පුද්ගලයෙක් වනාහි කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් කෛරාටික වූයෙම් මායා ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “කෛරාටික නො වූයෙම්, මායා නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

49. “යම් මේ පුද්ගලයෙක් වනාහි තදබැව් ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “නො තදබැව් ඇත්තෙම් අධිකමාන නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

50. “යම් මේ පුද්ගලයෙක් වනාහි ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ, බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, බැහැර කිරීමට නො හැකි වූයෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නෙම්, එය ම දැඩි කොට නො ගන්නෙම්, සුවසේ බැහැර කිරීමට හැකි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

51. ඇවැත්නි, එහි ලා මහණහු විසින් “කිම, මම පාපෙච්ඡා ඇත්තෙම් වෙම් ද, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් වෙම් දැ”යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “පාපෙච්ඡා ඇත්තෙම්, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම පාපෙච්ඡා ඇත්තෙම් නො වෙමි. ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

52. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම තමා හුවා දක්නෙම්, පරා හෙළා දක්නෙම් වෙම්” දැ යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුවා දක්නෙම්, පරා හෙළා දක්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුවා නො දක්නෙම්, පරා හෙළා නො දක්නෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

53. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධයෙන් මඩනා ලද්දෙම් වෙම්” දැයි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධයෙන් මඩනා ලද්දෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධයෙන් මඩනා ලද්දෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

54. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධය හෙතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධය හෙතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රොධය හෙතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

55. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධය හෙතු කොට ගෙන ගැටෙන්නෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධය හෙතු කොට ගෙන ගැටෙන්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රොධය හෙතු කොට ගෙන නො ගැටෙන්නෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

56. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධයට ළං කොට වචන නිකුත් කරන්නෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙම්, ක්‍රොධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රොධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

57. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයාට පටහැනිව සිටිම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයාට පටහැනිව සිටිමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයාට පටහැනිව නො සිටිමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

 

58. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයා ගරහම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයා ගරහමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයා නො ගරහමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

59. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයාට පෙරළා චොදනා කෙරෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයාට පෙරළා චොදනා කරමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, චොදකයාට පෙරළා චොදනා නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

60. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසම් ද, බැහැරට කථාව නතු කෙරෙම් ද කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ කෙරෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසමි. බැහැරට කථාව නතු කෙරෙමි. කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ කරමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක නො වසමි. බැහැරට කථාව නතු නො කරමි. කොපයත් ද්වෙෂයත් අප්‍රීතියත් පහළ නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

61. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙමි වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චොදකයකු විසින් චොදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට හැක්කෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

62. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් වෙමි”යි දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

63. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම්, මසුරුබැව් ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම්, මසුරුබැව් ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම් නො වෙමි. මසුරුබැව් ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

64. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම කෛරාටිකයෙම්, මායා ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම කෛරාටිකයෙම්, මායා ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම කෛරාටික වූයෙම්, මායා ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

65. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම නො තදබැව් ඇත්තෙම්, අධිකමාන නැත්තෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

66. තව ද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නෙම්, එය ම දැඩි කොට නො ගන්නෙම්, සුවසේ බැහැර කිරීමට හැක්කෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

67. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ නො පැහූ මේ සියලු ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් මේ සියලු ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුලා පැහූ මේ සියලු ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

68. ඇවැත්නි, යම්සේ තරුණ වූ යොවුන් විය ඇති සැරසීම සැහැවි කොට ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු හාත්පසින් බබලන කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවනිමිති බලන්නේ ඉදින් එහි රජස් හෝ හටගත් තලකැලැල් ඈ දොසක් හෝ දකී ද, එම රජස් හෝ දොස් හෝ දුරුකිරීම පිණිස වෑයම් කෙරේ ද, ඉදින් එහි රජස් හෝ දොස් හෝ නො දකී නම්, “මට ඒකාන්තයෙන් ලාභයෙක, මාගේ මුව පිරිසිදු ය”යි එයින් ම සතුටු වේ ද, එසේ ම ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ නො පැහූ මේ ලාමක අකුශල ධර්‍මයන් තමා තුළ දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් මේ සියලු ලාමක ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් වනාහි මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැහූ මේ ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමොද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.

ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව මැනැවැ යි පිළිගත්හ.

අනුමාන සුත්‍රය පස්වැනි යි.