චූළ දුක්ඛක්ඛන්ධ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

2

සීහනාද වර්ගය

3

චූළදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එසඳ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය.

2. වහන්ස, “ලොභය චිත්තොපක්ලෙශයෙක, ද්වෙෂය චිත්තොපක්ලෙශයෙක, මොහය චිත්තොපක්ලෙශයකැ” යි භගවත්හු විසින් දෙසු දහම මෙසේ මම දීර්ඝරාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, “ලොභය චිත්තොපක්ලෙශයෙක, ද්වෙෂය චිත්තොපක්ලෙශයෙක, මොහය චිත්තොපක්ලෙශයෙකැ” යි භගවත්හු දෙසූ දහම මෙසේ මම දන්නෙම් නමුදු, කලෙක ලොභධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. ද්වෙෂධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. මොහධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. වහන්ස, ඒ මට මෙසේ සිතෙක් වෙයි: “යම් හෙයෙකින් කලෙක ලොභධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, ද්වෙෂධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, මොහධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, එහෙයින් කිනම් කෙලෙස්දහමෙක් මා සතන්හි නොපුහුන් වී දෝ හෝ (යන සන්දෙහ සහිත සිත) යි.

3. මහානාමය, “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, ද්වෙෂධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, මෝහධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, එහෙයින් ගෙ ම ලොභද්වෙෂමොහාඛ්‍යධර්‍මය තා සතන්හි නොපුහුන් වෙයි. මහානාමය, ඉදින් එ ලොභාදිධර්‍මය තා සතන්හි ප්‍රහීණ වී නම්, තෝ ගිහිගෙහි බැසගෙන නො වසන්නෙහි. ද්විවිධකාමසම්පතුදු නො වළඳන්නෙහි. මහානාමය, යම් හෙයෙකින් හෙ ම ලොභාදිධර්‍මය තා සතන්හි අප්‍රහීණ වේ ද, එහෙයින් තෝ ගෙහි වාස කෙරෙහි. කාමයනුදු වළඳ කෙරෙහි.

4. මහානාමය, ඉදින් ආර්යයශ්‍රාවකයා විසින් “කාමයෝ (පරිත්තසුඛ වන බැවින්) අල්පාස්වාදයහ. (ඉහභවයෙහිදු සම්පරායභවයෙහිදු අනන්තදුඃඛදායක වන බැවින්) බහුදුඃඛයහ. ඓහලෞකික (පාරලෞකික උපායාසක්ලෙශසාධක වන බැවින්) බහුපායාසයහ. (දෘෂ්ටධාර්මික සාම්පරායික උපද්‍රවාධිෂ්ඨාන වන බැවින්) තෙල කාමසම්පතෙහි ආදීනව බෙහෙවැ” යි මෙසෙයින් යථාස්වභාවය මනා නය විසින් ප්‍රඥායෙන් (සොවන් සෙදගැමි දෙමඟනැණින්) මනා කොට දක්නා ලදුයේ වෙයි. හෙ අරීසවු දු කාමයන් විනා මැ ලමු අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය (සප්‍රීතික දෙ දැහැන) අධිගම නො කෙරේ ද, ඒ වරා, ශාන්තතර අනෙකක් හෝ (මතු දෙදැහැන හා දෙමඟ හා) අධිගම නො කෙරේ ද, වැළිත් හෙ එතැන් දක්වා කාමයෙහි අනාවර්තී නො ම වන්නේ යැ. (ආවර්තිත ම වන්නේ ය. සෙසු දැහැනින් කරන විෂ්කම්භන ප්‍රහාණය හා මතු දෙමඟනැණින් කරන සමුච්ඡෙදප්‍රහාණය හා නැති හෙයින.)

5. මහානාමය, යම්කලෙක ආර්යයශ්‍රාවකයා විසින් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයවිසින් විදර්ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වේ. හෙ ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා ම ප්‍රීතිසුඛය අධිගම කෙරේ ද, එ වරා, ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙරේ ද, එකල හෙ කාමයෙහි අනාවර්තී වෙයි (ලලන නැතියේ වෙයි.)

6. මහානාමය, මාර්‍ගසම්බොධයෙන් පළමු මැ චතුස්සත්‍යාවබොධ නොකළ බෝසත් වැ සිටි මවිසුනු දු “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහුපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනානයින් (ඇතොරනළුදනා හැරැපියන) ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වෙයි. මම ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම නො කෙළෙම් වේ ද, එ වරා, ශාන්තතර අනෙකෙක් හෝ (මතු දෙදැහැන හා සතර මඟ හා) අධිගම නොකෙළෙම් වේ ද, වැළිත් මම එතැන් දක්වා “කාමයෙහි අනාවර්තීයෙමි” යි නො මැ පිළින කෙළෙමි.

7. මහානාමය, යම්කලෙක් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහූපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුල යැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයින් ප්‍රඥායෙන් දක්නා ලදුයේ වී ද, මම ද කාමයන් විනාමැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම කෙළෙම් වෙම් ද, එ වරා ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙළෙම් වෙම් ද, එකල මම “කාමයෙහි අනාවර්තීයෙමි”යි පිළින කෙළෙමි.

8. මහානාමය, කාමයන්ගේ ආස්වාද කවරේ ය? මහානාමය, මෙ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස්දෙනක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියජාතික වූ කාමොපසංහෘත වූ සිත්රඳනට නිසි වූ චක්‍ෂුර් විඥෙය රූපායතනයෝ ය... ශ්‍රොතවිඥෙය ශබ්දායතනයෝ ය... ඝ්‍රාණවිඥෙය ගන්‍ධායතනයෝ ය... ජිහ්වාවිඥෙය රසායතනයෝ ය, ඉෂ්ටාරම්මණවූ මනාපවූ ප්‍රියරූපවූ කාමොපසංහෘතවූ, රජනීයවූ, කායවිඥෙය ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ ය. මහානාමය, මොහු පඤ්චකාමගුණයෝ යි. මහානාමය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් හෝ සොම්නසෙක් හෝ උපදනේ වේ ද මේ කාමයන්ගේ ආස්වාද නම් වෙයි.

9. මහානාමය, කාමයන්ගේ ආදීනව කවරේ ය? මහානාමය, මෙලොවැ කුලපුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේව යි, ගණනායෙන් වේව යි, පිණ්ඩගණනායෙන් වේව යි, කෘෂිකර්‍මයෙන් වේව යි, වෙණෙදාමෙන් වේව යි, ගොරක්‍ෂායෙන් වේව යි, අවි වටනින් වේව යි, රාජපුරුෂකර්‍මයෙන් වේව යි, ශීතයට පුරෂ්කෘත වැ (ශීතයට පෙරට වැ) උෂ්ණයට පුරෂ්කෘත වැ මැසි මදුරු වාසුළඟසපු යන මුන්ගේ දළපහසින් ගැටෙමින් සාපවසින් මියමින් යම්මැ ශිල්පයෙකින් දිවිවැටුම කෙරෙයි. මහානාමය, කාමයන් පිළිබඳ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙක. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් පිළිබැඳි මැ හෙතු ඇති වෙයි.

10. මහානාමය, ඉදින් මෙසෙයින් (ආජීවසමුත්‍ථාපක වීර්යයෙන් උසා කරන, (පූර්වාපරවීර්යය) ඝටනා කරන, ඵලනිෂ්පත්ති සඳහා පියෝ කරන, ඒ කුලපුත්හට ඒ භොගයෝ පලදාවිසින් අභිනිෂ්පත්ති නො කෙරෙත් නම්, හෙ සොන්නේ ය. කළ කිරෙන්නේ ය. වලපන්නේ ය. ළමිඩියෙහි අත් පුනපුනා පැහැර හඬන්නේ ය. (විසංඥයකු සෙයින්) සම්මොහයට වදනේ ය. කෙසේ ය යත්: “එකැතින් මා උසා සිස් වී. එකැතීන් මා උසා අඵල වී” කියා යි. මහානාමය, කාමයන්ගේ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් මැ හෙතු කොට ගෙන පවත්නේ ය.

11. මහානාමය, ඉදින් මෙසෙයින් උසා කරන, ඝටනා කරන, පියෝ කරන, ඒ කුලපුත්‍රයාහට ඒ භොගයෝ පලදා විසින් නිපදිත් නම්, හෙ ඒ භොගයන්ගේ ආරක්‍ෂා කාරණ කොට ගෙන දුක් දොම්නස් වළඳ කෙරෙයි. කෙසේය යත්: “කිනම් උපායෙකින් මා අයත් භොගයන් රජදරුවෝ නො ම ගෙන යෙත් ද, සොරු නොගෙන යෙද් ද, ගිනි නො දවා ද, දිය උල්පවා නො වහා ද, අප්‍රියදායාදයෝ නො නෙරත් ද” කියා යි.

12. මෙසෙයින් ආරක්‍ෂා කරන, ගොපනා කරන, උහුගේ ඒ භොගයන් රජදරුවෝ ගෙන යෙත්. සොරු හෝ ගෙන යෙත්. ගිනි හෝ දවයි. දිය හෝ පා කෙරෙයි. අප්‍රිය දායාදයෝ හෝ නෙරත්. හෙ සොස්නේ ය, කළකිරෙන්නේ ය, වලප්නේ ය, ළමිඬියෙහි අත් පැහැර හඬන්නේ ය, සම්මොහයට වදනේ ය. කෙසේය යත්: “යම් ධනයෙක් මට වී ද, එ ද අපට නැති වී” කියා යි. මහානාමය, මෙද කාමයන්ගේ ආදීනවය, ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල්කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හෙතු කොට ගෙන පවත්නේ ය.

13. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හෙතු කොට රජදරුවෝ ද රජදරුවන් හා විරුද්ධ වාද කෙරෙත් ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා විවාද කෙරෙත්. බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙත්. ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙත්. මවුදු පුතු හා විවාද කෙරෙයි. පිත් ද මවු හා විවාද කෙරෙයි. සොහොවුරු දු සොහොවුරු හා විවාද කෙරෙයි. සොහොවුරු ද බින්හැඹු හා විවාද කෙරෙයි. බින්හැඹු දු බෑයා හා විවාද කෙරෙයි. යහළු දු යහළු හා විවාද කෙරෙයි. ඔහු එහි කලහවිරුද්ධග්‍රහණ විරුද්ධවාදයට අවන්නාහු උනුන් අතිනුදු පහරත්. කැටිනුදු පහරත්. දඩියෙනු දු පහරත්. සැතිනුදු පහරත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කාමයන්ගේ මෙද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හෙතු කොට ගෙන පවත්නේ ය.

14. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හෙතු කොට සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබමොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ, දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමයට පිවිසෙති. ඔහු එහි දි ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කමායන්ගේ මෙද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් හෙතු කොට ගෙන පවත්නේ ය.

15. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට කාමයන් මැ හෙතු කොට, සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබ මොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ තෙත්කලල් අලෙවු දුන් පවුරු පදනමට පැහැ ගනිත්. ඔහු එහි දී ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කකියන ගොමිනු දු තෙමත් ශත දන්තයෙනුදු අවමර්දන කෙරෙත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙත්. මහානාමය, මෙ ද කාමයන්ගේ ආදිනවය වෙයි. සාංදෘෂ්ටික දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ඇති වෙයි කාමයන් කාරණ කොට ඇති වෙයි. කාමයන් පිළිබැඳි මැ හෙතු ඇතියේ වෙයි.

16. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හෙතු කොට, උමඟ ද සිඳිත්. නිර්ලොප (ගම්පැහැරිම්) කොට නෙරත්. ජීවග්‍රාහයෙන් ගෙනැ ධන නෙරිම් ද කෙරෙත්. මඟනැහිමෙහිදු සිටිත් පරඹුන් කරා ද යෙති. රජදරුවෝ උහු ගෙන විවිධ කම්කටොලු කෙරෙති: කටුමතිගායෙනු දු තළත්. වේවැලිනුදු තළත්. අත ද සිඳිත්. පය ද සිඳිත්. අත්පා ද සිඳිත්. කන ද සිඳිත්. නැහැය ද සිඳිත්. කන්නැහැ ද සිඳිත්. බිළඞ්ගථාලිකවධ ද කෙරෙත්. සඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත්. රාහුමුඛවධ ද කෙරෙත්. ජොතිමාලිකවධ ද කෙරෙත්. හත්ථපජ්ජොතිකවධ ද කෙරෙත්. ඵරකවත්තිකවධ ද කෙරෙත්. චීරකවාසිකවධ ද කෙරෙත්. එණෙය්‍යකවධ ද කෙරෙත්. බළිසමංසිකවධ ද කෙරෙත්. කහාපණක වධ ද කෙරෙත්. ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත්. පලිඝපරිවත්තිකවධ ද කෙරෙත්. පලාලපීඨකවධ ද කෙරෙත්. තප්තතෛලයෙනුදු තෙමත්. කීණබල්ලන් ලවා කවත්. දිවස් හුලැ හිඳුවත්. දඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද වැදගනිත්. මරණමාත්‍රදුඃඛයට ද යෙත්. මහානාමය, මෙද කාමාදිනවය, සාන්දෘෂ්ටික දුඃඛස්කන්‍ධයෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් පිළිබැදි මැ හෙතු ඇතියේ වෙයි.

17. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට කාමයන් කරණ කොට, කාමයන් මැ හෙතුකොට, කයින් දුසිරිත් කරත්. වචනයෙන් දුසිරිත් කරත්. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් පුරා, වචනයෙන් දුසිරිත් පුරා, සිතින් දුසිරිත් පුරා, කාබුන් මරණින් මතු සැපයෙන් වෙන් ව සිටුනා නපුරුගතියක් වන විවසව වැ වැටෙන තැන් වන නිරයට එළඹෙත්. මහානාමය, මේ කාමාදිනවය සාම්පරායිකදුඃඛ ස්කන්‍ධයෙකි. කාමයන් ප්‍රත්‍යය කොට ඇත. කාමයන් මුල් කොට ඇත. කාමයන් කාරණ කොට ඇත. කාමයන් පිළිබැඳි මැ හෙතු ඇතියේ වෙයි.

18. මහානාමය, මම එක් කලෙක මේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි විසීමි. එසමයෙහි නුවටහු බොහෝ දෙනෙක් ඉසිගිලිපවු ඇළයෙහි කළුගල් අතලෙහි පියනලද අසුන් ඇති වැ නැගිට සිටියාහු වෙති. (ස්ථානාදි) උපක්‍රමයෙන් වන තීව්‍ර කටුක දුඃඛවෙදනාවන් විඳිත්. මහානාමය, මම එසඳ සවස්වරුයෙහි පිළිසලනින් නැගිටියෙම් ඉසිගිලි ඇළයෙහි කළු ගල් අතල වෙත එනුවටුන් කරා එළැඹයෙමි. එළඹ එ නුවටුනට තෙල බස් කියෙමි: ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, කවර කරුණින් තෙපි පියු අසුන් ඇති වැ නැඟිට සිටිනහු තිව්‍ර කටුක ඖපක්‍රමික දුඃඛවෙදනාවන් විඳුනාව? කියා යි. මහානාමය, මෙසේ කී කල, ඒ නුවටහු මට තෙල බස් කී “ඇවැත්නි, නාතපුත්ත නුවට (අයු අනා වත්මන්) හැම දන්නෙකැ හැම දක්නාසුල්ලෙකැ අපරිශෙෂ සඞ්ඛ්‍යාත ඥානදර්ශනය පිළින කෙරෙයි: ඇවිදුනු වූ ද, සිටුනු වූ ද, නිදනු වූ ද, නිදිවරනු වූ ද, මට හැමකල් නිරතුරු ඥානදර්ශනය එළඹ සිටුනේ ය කියා” යි. හෙ මෙසේ කියයි: “නුවටුනි, පෙරැ තොප කළ පාපකර්‍ම ඇත. එපව් මේ කටුක දුෂ්කරක්‍රියායෙන් දිරවා ලව. යම් කරුණින් මෙහි දැන් කාවිසිමුනි තුන් තැනින් සංවෘත වව් ද, එකරුණ මතුයෙහි පාපකර්‍මයාගේ නොකිරීම වෙයි. මෙසේ පුරාණ කර්‍මයන් තපසින් තැවී අවසන් වීමෙනුදු, නවකර්‍මයන් නො කිරීමෙනු දු මතුයෙහි ආස්‍රව (කර්‍ම රැස් කිරීමෙක්) නො වෙයි. මතුයෙහි අනාස්‍රව හෙතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හෙතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හෙතුයෙන් වෙදනාක්‍ෂය වෙයි. වෙදනාක්‍ෂය හෙතුයෙන් හැම දුක් නිර්ජීර්ණ වෙයි.” එද වනාහි අපට රුස්නේ හැ. සහනු ද වෙයි. එයිනුදු අපි සතුටු වම්හ යි.

19. මහානාමය, මෙසේ කීකල මම එ නුවටුනට තෙල කීයෙමි: ඇවැත්නි, නුවටුනි, “අපි පෙර වූමෝ ම යැ. නුවූමෝ නො වූම්හ”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙසේ අපි නොදනුම්හ. ඇවැත්නි නුවටුනි, “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ. නොකළාවමෝ නො වූම්හ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්. ඇවැත්නි, නුවටුනි, “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතුය. මෙතෙක් හෝ දුක් දිරුණුකල දුක් හැම නිර්ජීර්ණ වනුයේ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, මෙසෙයින් තෙපි “පෙර වූවෝ මය, නුවූවෝ නො වූම්හ” යි නො දනුව. “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ, නොකළාවමෝ නො වූම්හ” යි නො දනුව. “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි නො දනුව. “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතු ය. මෙතෙක් හෝ දුක් දිරුණු කලැ දුක් හැම නිර්ජීර්ණ වනුයේ ”යැ යි නො දනුව. “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති” යි නො දනුව. ඇවැත්නි, නුවටුනි, මෙසේ වත් මැ, ලොකයෙහි රෞද්‍ර, ලෙහෙයෙන් වැකුණු අත් ඇති, කැකුළුකම් ඇති, මිනිසුන් කෙරෙහි උපන් යම් කෙනෙක් ඇත් ද, ඔහු නුවටුන් කෙරෙහි පැවිදි වෙති.

20. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය (ලැබිය යුතු) නොවේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධෙශ්වර වන, සෙනා ඇති, දැකුම්කලු අත් බැව් ඇති බිම්සර රජ සුඛය ලබන්නේ යැ. මගධෙශ්වර වන බිම්බිසාර සෙනිය රජ ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා අත්‍යර්ථයෙන් සුඛවිහාර ඇතියේ යැ.

21. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධෙශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සෙනියරජ සුඛය ලබන්නේ යැ. මගධෙශ්වර වන බිම්බිසාර සෙනිය රජ ආයුෂ්මත් ගොයුම් ගොතුවනට වඩා අත්‍යර්ථයෙන් සුඛවිහාර ඇතියේ යැ” යි ආයුෂ්මත් නුවටුන් විසින් එකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියන ලද.

22. වැළිදු මම මැ එකරුණෙහි ලා (තොප විසින්) පිළිවිසිය යුතුයෙමි. කෙසේ ය: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකතර සුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.

23. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම් මගධෙශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සෙනියරජ සුඛය ලබන්නේ ය. ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ අධිකසුඛවිහරණ ඇතියේ යැ” යි ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, අප විසින් එකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියනලද මැයි. වැළිත් තෙල තිබේවා. දැන් වේව යි අපි ආයුෂ්මත් ගොයුම්ගොතුවන් විචාරම්හ: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකසුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.

24. ඇවැත්නි, නුවටුනි, එකරුණින් තොප මැ එහිලා පුළුවුසුම්හ: යම් පරිදි තොපට රිසියේ ද, එපරිදි එය පවසව. ඇවැත්නි, ඒ කිමැ යි හඟනාව? මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් සත් දවරැයක් නරතුරි සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ. ඇවැත්නි, ඒ කිමැයි හඟනාව? මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නො බෙණෙමින් දවරැය සයක්... විහරණ කරන්නට හැකියේ ද?... දවරැය පසක්... දවරැය සතරක් ... දවරැය තුනක් ... දවරැය දෙකක්... එක් දවරැයක් ... නරතුර සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ.

25. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් එක් දවරැයක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් දවරැය දෙකක්... දවරැය තුනක්... දවරැය සතරක්... දවරැය පසක් ... දවරැය සයක්... දවරැය සතක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, ඒ කිමැ යි සිතන්නාව? මෙසෙයින් වත් මැ කවරෙක් නම් අධික සුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ හෝ යැ, මම් හෝ ය? මෙසෙයින් වත් මැ මගධෙශ්වර බිම්බිසාර සෙනියරජුට වඩා ආයුෂ්මත් ගොයුම්ගොතුවෝ අධික සුඛවිහරණ ඇතියහ යි.

භාග්‍යවතුන් වහන්සේ මෙසුත වදාළහ. සතුටුසිත් ඇති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට පිළි ගත්තේ ය.

සතරවැනි වූ චූළදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය නිමියේ ය.