චූළ සීහනාද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

2

සීහනාද වර්ගය

1

චූලසීහනාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතූන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්‍ෂූන් ඇමතූ සේක. එ භික්‍ෂූහු “වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.

 

‍‍2. මහණෙනි, පළමු මහණ (සෝවාන්) මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ (සෙදගැමි) මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ (අනගැමි) මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ (රහත්) මේ සස්නෙහිමය. අන්‍යත් ද‍්වාෂෂ‍්ටිවාද සඬ්‍ඛ්‍යාත පරප්‍රවාදයෝ (සමයාන්තරයෝ) ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ. මහණෙනි, මෙසේ ම මනා කොට සිංහනාද කරවු. මහණෙනි, මේ අන්තොටු පිරිවැජියෝ “ආයුෂ‍්මත්නි, යම් හෙයකින් තෙපි කරණ කොට ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ මේ සස්නෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදයෝ මහණුන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියන්නාහු නම් එහිලා ආයුෂ‍්මතුන්ට ඇති ආශ‍්වාසය කිමෙක? බලය කිමෙකැ? යි මෙසේ කියන්නාහු ය” යන තෙල කරුණෙක් ඇති වෙයි.

 

3. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ තෙල සෙයින් කියයුතු වෙති: ඇවැත්නි, අපි යම් ධර්‍මෙකනෙකුන් තමා කෙරෙහි මොනවට දක්නමෝ ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවෙනි මහණ මේ සස්නෙහි ම ය. තෙවෙනි මහණ මේ සස්නෙහි ම ය. සියුවැනි මහණ මේ සස්නෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍ම සතරෙක් ඇත. කවර සතරෙක යත්: ඇවැත්නි, අපගේ ශාස‍‍්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇත. ධර්‍මය කෙරෙහි පැහැදීම ඇත. ශීලයෙහි පරිපූර්‍ණකාරිත‍්වය ඇත. ගිහියෝ ද පැවිද්දෝ ද යන ආර්‍ය්‍යශ්‍රාවක සහ ධාර්මික පිරිස්හු දු උනුනට ප්‍රිය වෙති. මනාප(කල්) වෙති. ඇවැත්නි, අපි යම් ධර්‍මෙකනෙකුන් තමන් තුළ මොනවට දක්නමෝ ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ මේ සස්නෙහි මය. අන්‍යවූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍මයෝ සතර දෙන වෙති.

 

4. මහණෙනි, යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ “අවැත්නි යමෙක් අපගේ ශාස්තෘ වේ ද, ඒ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අප ද ගේ පැහැදීම ඇත. යමක් අපගේ ධර්‍මය වේද, (ඒ) ධර්‍මය කෙරෙහි අපගේ ද පැහැදීම ඇත. අපගේ යම් ශීලයෝ වෙත් ද, අපි දු ඒ සිල් පුරන සුල්ලමෝ වම්හ. අප ද ගේ සහධාර්මික වූ ගිහියෝ ද පැවිද්දෝ ද උනුනට ප්‍රිය වෙති. කල් වෙති. ඇවැත්නි, තෙල ප්‍රසාදයෙහි ලා තොප සහ අපගේත් විශේෂය කවරේ ය? අධික ප්‍රයෝගය කවරේය? වෙනස කවරේය? යි මෙසේ කියන්නාහු ය” යන මේ කාරණය විද්‍යාමාන වෙයි.

 

5. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කිම (ඒ ප්‍රසාදයාගේ) නිෂ්ඨාව එකෙක් ද? නොහොත් බොහෝ නිෂ්‍ඨා ඇත්දැ?යි” මෙසේ කියයුතූ වෙත්. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මනාකොට(කරුණු සහිතව) ප්‍රකාශ කරන්නාහු “ඇවැත්නි, නිෂ්‍ඨාව එකෙක් ම ය. නිෂ්‍ඨාවෝ බොහෝ වෙති” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

 

6. ඇවැත්නි, එ නිෂ්‍ඨාව රාග සහිතයාහට වේ ද? නොහොත් රාග රහිතයාහට වේ ද? (මෙසේ කියයුතූ වෙති.) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, එ නිෂ්‍ඨාව වීතරාගයාහට වෙයි. එ නිෂ්‍ඨාව සරාගයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

 

ඇවැත්නි, එ නිෂ්‍ඨාව ද්වේෂ සහිතයාහට වේ ද? නොහොත් ද්වේෂ රහිතයාහට වේ ද? (මෙසේ කියයුතූ වෙති.) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, එ නිෂ්‍ඨාව ද්වේෂ රහිතයාහට වෙයි. එ නිෂ්‍ඨාව ද්වේෂ සහිතයාහට නො වේ” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

ඇවැත්නි, එ නිෂ්ඨාව මොහ සහිතයාට වේ ද? නොහොත් මොහ රහිතයාට වේද? මහෙණනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව මෝහ රහිතයාහට වෙයි. මෝහ සහිතයාහට නො වෙයි”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.‍

 

ඇවැත්නි, එ නිෂ්ඨාව තෘෂ්ණා සහිතයාහට වේ ද? නොහොත් තෘෂ්ණා රහිතයාහට වේ ද? මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව තෘෂ්ණා රහිතයාහට වෙයි, තෘෂ්ණා සහිතයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

 

ඇවැත්නි, එ නිෂ්ඨාව උපාදාන සහිතයාට වේ ද? නොහොත් උපාදාන රහිතයාහට වේ ද? මහෙණනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව උපාදාන රහිතයාහට වෙයි, උපාදාන සහිතයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

 

ඇවැත්නි, එ නිෂ්ඨාව පණ්ඩිතයාහට වේ ද? නොහොත් අපණ්ඩිතයාහට වේද? මහෙණනි, මනාෙකාට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව නුවණැත්තහුට වෙයි. නුවණනැත්තහුට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

 

ඇවැත්නි, එ නිෂ්ඨාව (රාග විසින්) අනුරුද්ධ (ක්‍රෝධ විසින්) ප්‍රතිවිරුද්ධයාහට වේ ද? නොහොත් අනනුරුද්ධ අප්‍රතිවිරුද්ධයාහට වේ ද? මහෙණනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව රාගයෙන් නො බැඳුණු ක්‍රෝධයෙන‍ නො කිපුණාහට වෙයි. රාගයෙන් බැඳුණු ක්‍රෝධයෙන් කිපුණාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහුය.

 

ඇවැත්නි, එ නිෂ්ඨාව තෘෂ්ණාදෘෂ්ඨි ප්‍රපඤ්ච අරම් කොට ඇති ප්‍රපඤ්චෙයහි ඇලීම් ඇත්තහුට වේ ද? නොහොත් ප්‍රපඤ්ච අරම් කොට නැති ප්‍රපඤ්චෙයහි නො ඇලුණුහට වේ ද? මහෙණනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව පඤ්ච අරම් කොට නැති ප්‍රපඤ්චෙයහි නො ඇලුණුහට වෙයි. ඒ නිෂ්ඨාව ප්‍රපඤ්ච අරම් කොට ඇති ප්‍රපඤ්චෙයහි ඇලුණුහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහුය.

 

7. මහණෙනි, භවදෘෂ්ඨිය විභවදෘෂ්ඨිය දැයි මේ දෘෂ්ඨීහු දෙදෙනක් වෙත්. මහෙණනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ භවදෘෂ්ඨියෙහි ඇලුනාහු භවදෘෂ්ඨියට පැමැණියාහු භවදෘෂ්ඨියෙහි ගැලුණාහු වෙත් නම් ඔහු විභවදෘෂ්ඨියට ප්‍රතිවිරුද්ධයහ. මහෙණනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ විභවදෘෂ්ඨියෙහි ඇලුනාහු විභවදෘෂ්ඨියට පැමැණියාහු විභවදෘෂ්ඨියෙහි ගැලුණාහු වෙත් නම් ඔහු භවදෘෂ්ඨියට ප්‍රතිවිරුද්ධයහ. මහෙණනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ද්විවිධ දෘෂ්ඨියෙහි සමුදයත් අස්තඬ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් නම් ඔහු රාගසහිත වූවාහු ය. ඔහු ද්වේෂසහිත වූවාහු ය. ඔහු මෝහ සහිත වූවාහු ය. ඔහු තෘෂ්ණාසහිත වූවාහු ය. ඔහු උපාදානසහිත වූවාහු ය. ඔහු නුවණ නැත්තාහු ය. ඔහු රාගයෙන් බැඳුණාහු ය. ක්‍රෝධයෙන් කිපුණාහු ය. ඔහු ප්‍රපඤ්ච අරම් කොට ඇත්තාහු ප්‍රපඤ්චෙයහි ඇලුණාහු ය. ඔහු ජාතියෙන් ජරායෙන් මරණෙයන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසෙයන් නො මිදෙත්. සියලු සසර දුකින් නො මිදෙත් යයි කියමි.

 

8. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ද්විවිධ දෘෂටියෙහි සමුදයත් අස්තඬ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනිත් නම් ඔහු වීතරාගයෝ ය. ඔහු වීතද්වේෂයෝ ය. විතමෝහයෝ ය. ඔහු පහවූ තෘෂ්ණාව ඇත්තාහු ය. ඔහු උපාදානරහිතයෝ ය. ඔහු නුවණැත්තාහු ය. ඔහු රාගයෙන් නො බැඳුණාහු ය. ක්‍රෝධයෙන් නො කිපුණාහු ය. ඔහු ප්‍රපඤ්ච අරම් කොට නැත්තාහු ය. ප්‍රපඤ්චෙයහි ඇලුම් නැත්තාහු ය. ඔහු ජාතියෙන් ජරායෙන් මරණෙයන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසෙයන් මිදෙත්. ඔහු සියලු සසර දුකින් මිදෙත් යයි කියමි.

 

9. මහණෙනි, මේ උපාදායෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: කාමූපාදානය දිට්ඨුපාදානය සීලබ්බතුපාදානය අත්තවාදූපාදානය යි. මහෙණනි, සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ කරුණු තුන තතුසේ නො දනිත්. එහෙයින් එ පින්වත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු සියලු උපාදානයන්ගේ ප්‍රහාණය මැනවින් නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය නො පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.

 

10. මහෙණනි, ‘සියලු උපාදායන්ගේ ප්‍රහාණය කියම්හ’යි පිළින කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ කරුණු දෙක තතුසේ නො දනිත්. එහෙයින් එ භවත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.

 

11. මහණෙනි, ‘සියලු උපාදායන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ එක කරුණ තතුසේ නො දනිත්. එහෙයින් එ භවත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.

 

12. මහණෙනි, මෙබඳු ධර්‍මවිනය‍යෙක්හි ශාස්තෘන් කෙරෙහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය (මනාව පිහිටියේ - සම්පූණර්‍ වූයේ) යි නො කියනු ලැබේ.‍ ධර්‍මෙයහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි නො කියනු ලැබේ. ශීලෙයහි යම් පරිපූර්‍ණකාරිත්වෙයක් වේ නම්, එ සම්‍යග්ගත යි නො කියනු ලැබේ. සහධාර්මිකයන් කෙරෙහි යම් ප්‍රිය මනාප භාවයෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි නො කියනු ලැබේ. එ කවර හෙයින යත්: මහණෙනි, වරදවා කියූ වරදවා ඉගැන්වූ, මඟපල පිණිස නො පවත්නාවූ, කෙලෙස් සංසිඳීම පිණිස නොපවත්නා වූ, අසම්‍යක් සම්බුද්ධයන් විසින් ප්‍රකාශ කරන ලද ශාසනෙයහි යම්සේ වේ නම්, තෙල එසේම ය.

 

13. මහණෙනි, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, තථාගතයන් වහන්සේ ද ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’ යි ප්‍රතිඥා කරන්නෝ මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය පනවත්. කාමූපදානයයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය පනවත්.

 

14. මහණෙනි, මෙබඳු ධර්‍මවිනයෙහි ශාස්තෘන් කෙරෙහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය (මනාව පිහිටියේ - සම්පූණර්‍ වූයේ) යි කියනු ලැබේ.‍ ධර්‍මෙයහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි කියනු ලැබේ. ශීලෙයහි යම් පරිපූර්‍ණකාරිත්වෙයක් වේ නම්, එ සම්‍යග්ගත යි කියනු ලැබේ. සහධාර්මිකයන් කෙරෙහි යම් ප්‍රිය මනාප භාවයෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි කියනු ලැබේ. එ කවර හෙයින යත්: මහණෙනි, මනා කොට කියූ මනා කොට ඉගැන්වූ, මඟපල පිණිස පවත්නාවූ, කෙලෙස් සංසිඳීම පිණිස පවත්නා වූ, සම්‍යක් සම්බුද්ධයන් විසින් ප්‍රකාශ කරන ලද ශාසනෙයහි යම්සේ වේ නම්, තෙල එසේම ය.

 

15. මහණෙනි, මේ සතර උපාදානයෝ කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මේ සතර උපාදානයෝ තෘෂ්ණාව මූලකාරණ කොට ඇත. තෘෂ්ණාව උත්පත්ති හේතු කොට ඇත. තෘෂ්ණාව ජාති කොට ඇත. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රහව කොට ඇත් ද? තෘෂ්ණාව වේදනාව මූලකාරණ කොට ඇත. වේදනාව උත්පත්ති හේතු කොට ඇත. වේදනාව ජාති කොට ඇත. වේදනාව ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ වේදනාව කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? වේදනාව ස්පර්‍ශය මූලකාරණ කොට ඇත. ස්පර්‍ශය උත්පත්ති හේතු කොට ඇත. ස්පර්‍ශය ජාති කොට ඇත. ස්පර්‍ශය ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ ස්පර්‍ශය කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? ස්පර්‍ශය ෂඩායතන මූලකාරණ කොට ඇත. ෂඩායතන උත්පත්ති හේතු කොට ඇත. ෂඩායතන ජාති කොට ඇත. ෂඩායතන ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ ෂඩායතන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? ෂඩායතන නාම රූප මූලකාරණ කොට ඇත. නාම රූප උත්පත්ති හේතු කොට ඇත. නාම රූප ජාති කොට ඇත. නාම රූප ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ නාම රූප කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? නාම රූප විඤ්ඤාණය මූලකාරණ කොට ඇත. විඤ්ඤාණය උත්පත්ති හේතු කොට ඇත. විඤ්ඤාණය ජාති කොට ඇත. විඤ්ඤාණය ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? විඤ්ඤාණය සංස්කාර මූලකාරණ කොට ඇත. සංස්කාර උත්පත්ති හේතු කොට ඇත. සංස්කාර ජාති කොට ඇත. සංස්කාර ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? සංස්කාරයෝ අවිද්‍යාව මූලකාරණ කොට ඇත. අවිද්‍යාව උත්පත්ති හේතු කොට ඇත. අවිද්‍යාව ජාති කොට ඇත. අවිද්‍යාව ප්‍රභව කොට ඇත.

 

16. මහණෙනි, යම් කලෙක පටන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වූවා ද, අර්හත්මාර්ගවිද්‍යාව උපන ද, හේ අවිද්‍යාව දුරුවීමෙන් කාමූපාදානය නො ගනියි. දිට්ඨූපාදානය නො ගනියි. සීලබ්බතුපාදානය නො ගනියි. අත්තවාදූපාදානය නො ගනියි. උපාදාන වශයෙන් නො ගන්නේ (තණ්හා පරිතස්සනායෙන්) තෘෂ්ණාධීත නොවෙයි. තෘෂ්ණා නො උපදවන්නේ තෙමේ ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙයි. උත්පත්තිය ක්ෂය වූ ය. බඹසර වැස නිමවන ලදි. කරණී කරණ ලදි. මේ අර්හත්වය පිණිස අනෙක් කටයුත්තෙක් නැතැයි දැන ගනියි.

 

භාග්‍යවතුන් වහනසේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති තෘප්තවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහනසේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

පලමු වැනි වූ චූලසීහනාද සූත්‍රය නිමියේ ය.