ද්වේධාවිතක්ක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

2

සීහනාද වර්ගය

9

ද්වේධා විතක්ක සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජෙතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතු සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේහට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

2. මහණෙනි, බුදුවීමට පෙර ම බුදු නො වූ බොධිසත්ත්‍ව වූ ම මට මේ අදහස වී ය: “ඉදින් මම විතර්කයන් දෙ කොටසක් කොට, දෙ කොටසක් කොට වාසය කරන්නෙම් නම් ඉතා මැනව” යි. මහණෙනි, ඒ මම යම් මේ කාමවිතර්කයකුත් යම් මේ ව්‍යාපාදවිතර්කයකුත් යම් මේ විහිංසාවිතර්කයකුත් වේ ද, මෙය එක් කොටසක් කෙළෙමි. යම් මේ නෛෂ්ක්‍රම්‍යවිතර්කයකුත් යම් මේ අව්‍යාපාදවිතර්කයකුත් යම් මේ අවිහිංසාවිතර්කයකුත් වේ ද, මෙය දෙවන කොටස කෙළෙමි.

3. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට කාමවිතර්ක උපදී. ඒ මම මෙසේ දනිමි: “මට මේ කාමවිතර්ක උපන්නේ ය. ඒ කාමවිතර්ක තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකැ”යි. මහණෙනි, තමහට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. ප්‍රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන සඳහා නො පවතින්නෙකි යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපනුපන් කාමවිතර්කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.

4. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට ව්‍යාපාදවිතර්කය උපදී... විහිංසාවිතර්කය උපදී. ඒ මම මෙසේ දනිමි: ‘මට මේ විහිංසා විතර්ක උපන්නේ ය. ඒ විහිංසා විතර්කය තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකි යි. මහණෙනි, තමාට දුක් පිණිස පවති යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, ප්‍රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන පිණිස නො පවතින්නෙකැ යි සලකන්නා වූ මාගේ ඒ විතර්කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම් උපනුපන් විහිංසාවිතර්කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.

5. මහණෙනි, මහණ තෙමේ යම් ම විතර්කයක් බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ ද, නැවත නැවත හසුරුවා ද, ඒ ඒ ලෙසින් ම සිත්හි නැඹුරුබව වෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ කාමවිතර්කය ම බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් නෛෂ්ක්‍රම්‍ය විතර්කය දුරු කෙරෙයි. කාමවිතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත කාමවිතර්කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ ව්‍යාපාද විතර්කය බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අව්‍යාපාදවිතර්කය දුරු කෙරෙයි. ව්‍යාපාද විතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත ව්‍යාපාද විතර්කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ විහිංසාවිතර්කය බහුල කොට නැවැත නැවැත විතර්කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අවිහිංසාවිතර්කය දුරු කෙරෙයි. විහිංසාවිතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත විහිංසා විතර්කය පිණිස නැමේ.

6. මහණෙනි, යම් සේ වැසිසමය පිළිබඳ පැසුළු මස ගොයමින් හක (හානි) වූ සරාකල්හි ගොපල්ලෙක් ගවයන් රක්නේ ද, හෙ තෙමේ ඒ ගවයන්ට ඒ ඒ දෙසින් පිටෙහි දඬුයෙන් (කෙළින්) පහර දෙන්නේ ය. ඉලඇටෙහි සරසින් පහර දෙන්නේ ය. ඔබමොබ යෑමෙන් අවුරා සිටිනේ ය. වළක් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ ගොපල්ලා ඒ ගවයන් ගොයමින් නො රැක්ම හෙතු කොට ගෙන වධයක් හෝ බන්ධනයක් හෝ ධනහානියක් හෝ ගර්හාවක් හෝ දක්නේ ද එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මම අකුශල ධර්මයන්ගේ දොෂය ලාමකබව කෙලෙසීම ද කුශල ධර්මයන් පිළිබඳ නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද විශුද්ධිපක්‍ෂය ද දිටිමි.

7. මහණෙනි, මෙසේ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට නෛෂ්ක්‍රම්‍ය විතර්කය උපදී. ඒ මම මෙසේ දනිමි: මට මේ නෛෂ්ක්‍රම්‍ය විතර්කය උපන්නේ ය. ඒ නෛෂ්ක්‍රම්‍ය විතර්කය තෙමේත් තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නො වූවෙකි. නිවන් සඳහා පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු ඒ විතර්කය නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහිදු ඒ විතර්කය නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දාවල මුළුල්ලෙහි ඒ විතර්කය නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්තවූ කල්හි සිත නො සන්හුන් වේ. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සන්තානයෙහි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටු වමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නො සන්හුන් වේවා යි. (සිතීමෙනි.)

8. මහණෙනි, අප්‍රමන්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන්නාවූ ඒ මට අව්‍යාපාද විතර්කය උපදී... අවිහිංසා විතර්කය උපදී. ඒ මම මෙසේ දනිමි. මට අවිහිංසා විතර්කය උපන්නේ ය. ඒ අවිහිංසා විතර්කය තෙමේ තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නොවූවෙකි. නිවන් පිණිස පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු එය නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරු වන්නෙම් නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහි දු නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරු වන්නෙම් නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දහවල මුළුල්ලෙහි දු එය නැවත නැවත විතර්කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හෙතු කොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්ත වූ කල්හි සිත නොසන්හුන් වන්නේ ය. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සියසතන්හි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටුවමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නොසන්හුන් වේවා යි. (සිතීමෙනි.)

9. මහණෙනි, මහණ තෙමේ යම් යම් ම විතර්කයක් බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, ඒ ඒ ලෙසින් සිත්හි නැඹුරු බව වේ. මහණෙනි, මහණ තෙමේ නෛෂ්ක්‍රම්‍ය විතර්කය බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් කාමවිතර්කය දුරු කෙරෙයි. නෛෂ්ක්‍රම්‍ය විතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත නෛෂ්ක්‍රම්‍ය විතර්කයට නැමෙයි. මහණෙනි, මහණ තෙමේ අව්‍යාපාද විතර්කය නැවත නැවත විතර්කණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් ව්‍යාපාද විතර්කය දුරු කෙරෙයි. අව්‍යාපාද විතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අව්‍යාපාද විතර්කයට නැමෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ අවිහිංසා විතර්කය බහුල කොට නැවත නැවත විතර්කණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, විහිංසා විතර්කය දුරු කෙරෙයි. අවිහිංසා විතර්කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අවිහිංසා විතර්කයට නැමෙයි. මහණෙනි, යම් සේ ග්‍රීෂ්මඍතුවෙහි පශ්චිම මාසයෙහි සියලු ශෂ්‍යයන් ගමෙහි රැස් කළ කල්හි ගොපොල්ලෙක් ගවයන් රක්නේ ද, රුක්මුලට ගියාවූ හෝ එලිමහනට ගියාවූ හෝ ඔහු විසින් ‘මොහු ගෙරිහු ය’ යි සිහි කිරීම් පමණෙක් ම වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ‘මොහු ශමථවිදර්‍ශනා ධර්‍මයෝ’ ය යි සිහිකිරීම් පමණෙක් ම වී ය.

10. මහණෙනි, මා විසින් (සිවුරඟින් යුත්) විර්යය පටන්ගන්නා ලදී. (එබැවින්) එය නො සැඟුනේ වී. සිහිය එළඹ සිටියා ය (එබැවින්ම එය මුළා නොවූ ය. කය සන්සිඳුණේ ය. (එබැවින් ම) පහවූ දැවිලි ඇත්තේ වීය. සිත මැනැවින් පිහිටුවන ලදී. (එබැවින් ම) එකඟ විය. මහණෙනි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවෙකයෙන් හටගන් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් තමා තුළ පැහැදීම දනවන සිත්හි එකඟ බව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු වීමෙන් මැදහත්ව ම වාසය කෙළෙමි. සිහි ඇත්තෙම් මනා නුවණ ඇත්තෙම් කයින් සුවය ද වින්දෙහි. ආර්යයයෝ ‘උපෙක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තේ ය’ යි යම් ධ්‍යානයක් වර්ණනා කරත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. සුවය ද දුරු කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පෙර ම සොම්නස් දොම්නසුන්ගේ වැනසීමෙන් නො දුක් වූ නො සුව වූ උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති චතුර්ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

11. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, ප්‍රභාස්වර කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපක්ලෙශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, භාවනා කර්‍මයට සුදුසු කල්හි, ස්ථිති ප්‍රාප්ත කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම නොයෙක් ආකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි. එනම් - ජාති එකක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති සයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාත සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද, නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් වැඩෙනා කල්පයන් ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද - “අසුවල් තැන උපනිමි. මෙ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගොත්‍ර ඇත්තෙම් වීමි. මෙ වැනි පැහැ ඇත්තෙම් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙම් වීමි. මෙ වැනි සුවදුක් විඳින්නෙකිම් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් ච්‍යුතව අසුවල් තැන උපනිමි. එහිදී ද මෙනම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙ වැනි පැහැ ඇත්තෙම් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙම් වීමි. මෙ වැනි සුවදුක් වින්දෙකිම් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. එ මම ඉන් ච්‍යුතව මෙහි උපන්නෙම් වෙමැ”යි මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන් වැදෑරුම් වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පළමුයම්හි මේ පළමුවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමාදව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නහුට යම්සේ නම් එසේ ය.

12. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලෙශ ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනා කර්‍මයට සුදුසු කල්හි ස්ථිති ප්‍රාප්තකල්හි නො සැලෙන බවට පැමණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම ඉතා පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින් - මැරෙන උපදින උසස් පහත් මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකිමි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි: “මේ භවත් සත්ත්‍වයෝ එකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. මනොදුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. අර්යයොපවාද කරන්නෝ ය. මිසදිටුවෝ ය. මිසදිටුකම් සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වන විවසව පතිතවන නරකයෙහි උපන්නාහු ය. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්තයෝ ය. වාක්සුචරිතයෙන් යුක්තයෝ ය. මනඃසුචරිතයෙන් යුක්තයෝ ය. ආර්යයොපවාද නොකරන්නෝ ය. සම්දිටුවෝ ය. සම්දිටුකම් සමාදන් වූ වෝය. ඔහු කාබුන් මරණින් මතු සුගතිනම් වූ ස්වර්ගලොකයෙහි උපන්නෝය.” මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින් - උපදින මැරෙන උසස් පහත් මනා පැහැ ඇති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකිමි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ මැදුම්යම්හි මේ දෙවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිතැතිව වසන්නහුට යම්සේ නම් එසේ ය.

13. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලෙශ ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනාකර්මයට සුදුසු කල්හි ස්ථිතිප්‍රාප්ත කල්හි නො සැලෙනබවට පැමිණි කල්හි ආස්‍රවයන් ක්‍ෂය කරන ඥානය පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම මේ දුකය යි තතුලෙස දතිමි. මේ දුක් හට ගැනීමේ හෙතුයැ යි තතුලෙස දතිමි. මේ දුක් නැති කිරීම ය යි තතුලෙස දතිමි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙත යැ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවයහ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවයන්ගේ සමුදය යැයි තතුලෙස දතිමි. මේ ආස්‍රවනිරොධ යැ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවනිරොධගාමිනී ප්‍රතිපදා යැ යි තතුලෙස දතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුණේ ය. භවාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදිණ යි නුවණ විය. ‘උපත නැති විය. බඹසර වැස නිමවන ලදී. කළයුතු කිස කරන ලදි. මේ අර්හත්ත්‍වය පිණිස කළයුතු අනෙකෙක් නැතැ’ යි දතිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පැසුළුයම්හි මේ තුන්වැනි විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නහුට යම්සේ වේ නම් එසේ ය.

14. මහණෙනි, මහවනයෙහි වනලැහැබෙක යම්බඳු මහත් නොගැඹුරු කුඩා දියවිලෙක් වේ ද, මහත් මුවරැළෙක් එය ඇසුරු කොට වසන්නේ ය. ඒ මුවරැළට අවැඩ කැමැති අහිත කැමැති භය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙතෙමේ නිර්භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මගෙක් වන්නේ ද, ඒ මග වසන්නේ ය. නොමග විවෘත කරන්නේ ය. සේ මුවකු සිටුවන්නේ ය. සේ මුවදෙනක සිටුවන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහමුවරැළ පසුකලෙක අනයව්‍යසනයට තනුත්‍වයට පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ මහත් මුවරැළට ම වැඩ කැමැති හිත කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙ තෙමේ නිර්භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි යම් මාර්ගයෙක් වන්නේ ද, ඒ මග විවෘත කරන්නේ ය. නොමග වසන්නේ ය. සේ මුවා නසන්නේ ය. සේ මුවදෙන නසන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහමුවරැළ තෙමේ පසු කලෙක වැඩීමට පැතිරීමට මහත්බවට පැමිණෙන්නේ ය.

15. මහණෙනි, අර්ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරන ලද්දී ය. මෙහි මේ අදහස වේ: මහණෙනි, “මහන්තං නිත්තං පල්ලං” යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, “මහාමිගසඞ්ඝො” යන මෙය සත්ත්‍වයනට නමෙකි. මහණෙනි, “පුරිසො අනත්‍ථකාමේ අහිතකාමො අයොගක්ඛෙමකාමො” යන මෙය පාපී වූ මාරයාට නමෙකි. “කුම්මග්ගො” යන මෙය මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාසංකල්පය මිථ්‍යවචනය මිථ්‍යාකර්මාන්තය මිථ්‍යාආජීවය මිථ්‍යාව්‍යායාමය මිථ්‍යාස්මෘතිය මිථ්‍යාසමාධියැ යි අටඟින් යුක්ත වූ මිථ්‍යාමාර්ගයට නමෙකි. මහණෙනි, “ඔකචරො” යන මෙය නන්‍දිරාගයට නමෙකි. මහණෙනි, ‘ඔකචාරිකා’ යන මෙය අවිද්‍යාවට නමෙකි. මහණෙනි, “පුරිසො අත්‍ථකාමො යොගක්ඛෙමකාමො” යන මෙය තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමෙකි. මහණෙනි, “ඛෙමො මග්ගො සොවත්‍ථිකො පීතිගමනීයො” යන මෙය සම්‍යග්දෘෂ්ටිය සම්‍යක්සංකල්පය සම්‍යග්වචනය සම්‍යග්කර්‍මාන්තය සම්‍යගාජිවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය යැයි අටඟින් යුක්ත වූ ආර්යයමාර්‍ගයට නමෙකි.

16. මහණෙනි, මෙසේ මා විසින් නිර්භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මාර්ගය විවෘත කරන ලද්දේ ය. නොමඟ වසන ලද්දේ ය. සේ මුවා නසන ලද්දේ ය. සේ මුවදෙන නසන ලද්දේ ය. මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. මහණෙනි, තෙල වෘක්‍ෂමූලයෝ ය, තෙල ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. නාමක් පමාවවු. පසුව නාමක් විපිළිසරවවු මේ තොපට අපගේ අනුශාසනා යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව මැනැවැ යි පිළිගත්හ.

 

 නවවැනි වූ ද්වෙධාවිතක්ක සූත්‍රය නිමියේ ය.