මධුපිණ්ඩික සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

2

සීහනාද වර්ගය

8

මධුපිණ්ඩික සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර න්‍යග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩ වදාළ සේක. කිම්බුල්වතෙහි පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැලැකුණු සේක් දිවා විහරණය පිණිස මහාවනයට එළඹි සේක. මහාවනයට වැද ගෙන තරුණ බෙලිගසක් මුල දිවාවිහරණ කොට වැඩහුන් සේක. දණ්ඩපාණී සැහැරජරද ජඞ්‌ඝාවිහරණය පිණිස (කෙන්ඩා විඩා දුරු කරණු පිණිස) ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (වැඩහුන්) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. තුස්නට නිසි සිහි කරණට නිසි කථා කොට නිමවා දඬ්හිස එල්බ ගෙන එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දණ්ඩපාණී ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:

 

“ශ්‍රමණ තෙමේ කිබඳු දිටුහ ඇත්තේ ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?” යි.

 

“ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකයෙහි, මහණබඹුන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටි ඇත්තෙක් ලොකයෙහි කිසිවෙකු හාත් විවාද කොට නො සිටී ද, යම් කරුණින් කාමයෙන් විසංයුක්ත කොට විහරණ කරණ විචිකිච්ඡා රහිත සුන් කුකුස් ඇති, කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති, ඒ ක්ශීණාස්‍රව බ්‍රාහ්මණයා වෙත සංඥාවෝ (ක්ලේශයෝ) ලැග නො හොවිත් ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි” යි වදාළ සේක මෙසේ වදාළ කල්හි දණ්ඩපාණී ශාක්‍ය හිස සලා දිව නෙරැනළවා (වෙන්ව පෙණෙන සේ) රැළි තුනක් ඇති නළල් රැළියක් නළලත නංවාගෙන දඬිය හයාගෙන බැස ගියේ ය.

 

2. එක්බිති, භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පිළිසලණින් නැගී සිටි සේක් න්‍යග්‍රොධාරාමයට වැඩි සේක. වැඩ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, මම පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසියෙමි. කිම්බුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කෙම් දිවාවිහරණය පිණිස මහාවනයට එළඹියෙමි. මහාවනයට වැද තරුණ බෙලිගසක් මුල දිවාවිහරණයෙන් හුන්නෙමි. මහණෙනි, දණ්ඩපානී ශාක්‍යරජ ද ජඞ්‌ඝාවිහරණය පිණිස ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (හුන්) මා වෙත එළඹියේ ය. එළඹ මා සමග සතුටු වීය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා සෝලු දණ්ඩ එල්බ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි දණ්ඩපානී ශාක්‍ය මට තෙල සැළ කෙළේ ය: “ශ්‍රමණ තෙමේ කෙබඳු දෘෂ්ටි ඇත්තෙක් ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?”යි.

 

3. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යයාට මම තෙල කීමි: “ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකයෙහි, මහණ බමුණන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම්බඳු වාද ඇත්තෙක් ලොකයෙහි කිසිවකුත් හා විවාද කොට නො සිටී ද, යම් කරුණෙකින් කාමයෙන් වෙන් ව වසන්නා වූ විචිකිච්ඡා රහිත වූ සිඳලූ කුකුස් ඇත්තා වූ කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති ඒ බමුණා වෙත ක්ලේශයෝ ලැග නො විහිත් ද, ඇවැත, මම එවැනි වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි”යි. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපානී ශාක්‍ය හිස සලා දිව නෙරා නළවා රැළි තුනක් ඇති නළල්රැල්ල නළලෙහි නංවා සෝලු දණ්ඩ සනාගෙන (තල්ලුයෙන් හයා ගෙන) නික්ම ගියේ ය.

 

4. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකයෙහි, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක්, ලොකයෙහි කිසිවකුත් හා විරුද්ධවාද නො කොට සිටින සේක් ද, වහන්ස, කෙසේ නම් කාමයෙන් වෙන් ව වාසය කරන කරන විචිකිච්ඡා නැත්තා වූ සිඳලූ කුකුස් ඇති කුදු මහත් භාවයෙහි පහ වූ තෘෂ්ණා ඇති බැහැර කළ පව් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ක්ලේශයෝ ලැග නො හොවිත් දැ?” යි.

 

5. මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙකරුණෙහි (මම ය මාගේ ය යි) සතුටු වියයුත්තෙක් කිවයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චෙතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක.

 

6. එක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගී වැඩි නො බෝ වෙලායෙහි ඒ භික්ෂූන්ට මෙබඳු අදහසෙක් වී: “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කියයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන් ගේ කෙළවර. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවරය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චෙතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත් ’ ය යි මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා අසුනෙන් නැගී විහාරයට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේ දැ?” යි.

 

7. යළි ඒ භික්ෂූන්ට මේ අදහස වී: “මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘන් වහන්සේ විසිනුත් සංවර්ණිත ය. නුව‍ණැති සබ්‍රම්සරුන් විසිනුත් සම්භාවිත ය. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ අර්ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නට සමර්ථ වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මෙහි අර්ථය පිළිවිසින්නමෝ නම් ඉතා මැනැවැ යි”

 

8. ඉක්බිති ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්හට මෙය කීහු: ඇවැතැ කාත්‍යායන තෙරණුවෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ”මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤසංඥා කොට්ඨාසයෝ පුරුෂයා වෙත පවතිද්ද. ඉදින් මෙහි සතුටු විය යුත්තෙක් (මම ය මාගේ යැයි) කියයුත්තෙක් ගිලගත යුත්තෙක් නැති නම්, මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය… මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ඇවැතැ කාත්‍යායන තෙරණුවෙනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළ නො බෝ වේලෙහි මේ අදහස විය: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ”මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤසංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ පවතිත් ද … මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත් ” යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ අර්ථය කවරෙක් විස්තර විසින් බෙදා දක්වන්නේ දැ යි. ඇවැත් කාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘහු විසිනුදු සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ අර්ථය විස්තර විසින් අරුත් බෙදා දක්වන්නට ද සමර්ථ වෙයි. යම් හෙයකින් අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මේ අර්ථය පිළිවිසින්නමෝ නම් ඉතා මැනැවැ යි. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ මෙය විභාග කෙරේවා යි.

 

9. ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයොජන ඇති හර සොයන හර සොයමින් ඇවිදුනා පුරුෂයෙක් නො වැටී සිටුනා හර ඇති මහරුකෙක මුල ඉක්ම කඳ ඉක්ම අතු කොළෙහි හරය සෙවිය යුතු කොට සලකන්නේ ද, අයුෂ්මත්නට බුදුන් හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් ඉක්ම අප අතින් මේ අර්ථය පිළිවිසිය යුතු යැයි සලකන්නහු නම් මේ කාරණය ද එබඳු නිපැත් ඇතියේ ය. ඇවැත්නි, ඒ භාග්‍යවත් තෙමේ වනාහි දත යුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්ම) වර්තක ය, ප්‍රවර්තකය, අර්ථනිර්නෙතෘ (අර්ථය ගෙණ දෙන්නේ)ය, අමුර්තදාතෘ ය, ධර්මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්ථය පිළිවිසින්නහු නම් මේ එයට කල්ම ය. යම්සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරව යි.

 

10. ඇවැත් කාත්‍යායන ස්ථවිරයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවත් තෙමේ දතයුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්ම) වර්තක ය, ප්‍රවර්තකය, අර්ථනිර්නෙතෘ (අර්ථය ගෙණ දෙන්නේ) ය, අමුර්තදාතෘ ය, ධර්මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්ථය පිළිවිසින්නමෝ නම් එයට මෙකල් ම විය. යම් සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරන්නමු. තවද ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘහු විසිනුදු සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ අර්ථය විස්තර විසින් බෙදා දක්වන්නට ද සමර්ථ වෙයි. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ බර නො කොට අර්ථ විභාග කෙරේවා යි.

 

11. එසේ නම් ඇවැත්නි, අසව මොනවට මෙනෙහි කරව කියන්නෙමි යි. ඇවැත්නි, එසේ යැයි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්හට පිළිවදන් දුන්හු. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ”මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ පවතිද්ද … මෙහි ඒ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසු විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ අර්ථය මම මෙසේ විස්තර විසින් දනිමි:

 

12. ඇවැත්නි, ඇස ද රූපයන් ද නිසා චක්ෂුර්විඥානය උපදී. මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වෙදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්කණය කෙරෙයි. යමක් විතර්කණය කෙරේ ද, එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ චක්ෂුරූපාදී කාරණයෙන් (තෘෂ්ණාදෘෂ්ටි) ප්‍රපඤ්චයන්ගෙන් යුක්ත සංඥාකොට්ඨාසයෝ අතීතානාගතවර්තමාන වූ ඇසින් බලා දතයුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්. ඇවැත්නි, කණ ද ශබ්දයන් ද නිසා ශොත්‍රවිඥානය උපදී … ඇවැත්නි, නැහැය ද ගඳ ද නිසා ඝ්‍රාණවිඥානය උපදී … ඇවැත්නි, දිව ද රසයන් ද නිසා ජිව්හාවිඥානය උපදී … ඇවැත්නි, කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී … ඇවැත්නි, සිත ද ධර්‍මයන් ද නිසා මනොවිඥානය උපදී. මේ තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වෙදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්කණය කෙරෙයි. යමක් විතර්කණය කෙරේ ද එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ මනොධර්මාදි කාරණයෙන් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ අතීතානාගතවර්තමාන වූ සිතින් දතයුතු වූ ධර්මයන්හි පුරුෂයා අභිභවනය කෙරෙත්.

 

13. ඇවැත්නි, එකාන්තයෙන් හෙතෙමේ ඇස ඇති කල්හි රූපය ඇති කල්හි චක්ෂුර්විඥානය ඇති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය (උපදනේය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් ඇති කල්හි වෙදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වෙදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්කයැ යි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්කයැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.

 

14. ඇවැත්නි, එකාන්තයෙන් හෙතෙමේ කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි සොතවිඤ්ඤාණය ඇති කල්හි … නැහැය ඇති කල්හි ගඳ ඇති කල්හි ඝානවිඤ්ඤාණය ඇති කල්හි … දිව ඇති කල්හි රසය ඇති කල්හි ජිව්හාවිඤ්ඤාණය ඇති කල්හි … කය ඇති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය ඇති කල්හි කායවිඤ්ඤාණය ඇති කල්හි … සිත ඇති කල්හි ධර්මය ඇති කල්හි මනොවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් ඇති කල්හි වෙදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වෙදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.

 

15. ඇවැත්නි, එකාන්තයෙන් හෙතෙමේ ඇස නැති කල්හි රූපය නැති කල්හි චක්ෂුර්විඥානය නැති කල්හි ස්පර්ශ යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් නැති කල්හි වෙදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වෙදනා යැයි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැ යි පැනවීමක් නැති කල්හි විතර්ක යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.

 

16. ඇවැත්නි, එකාන්තයෙන් හෙතෙමේ කණ නැති කල්හි ශබ්දය නැති කල්හි සොතවිඤ්ඤාණය නැති කල්හි … නැහැය නැති කල්හි ගඳ නැති කල්හි ඝාන විඤ්ඤාණය නැති කල්හි … දිව නැති කල්හි රසය නැති කල්හි ජිව්හාවිඤ්ඤාණය නැති කල්හි … කය නැති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය නැති කල්හි කායවිඤ්ඤාණය නැති කල්හි … සිත නැති කල්හි ධර්ම නැති කල්හි මනොවිඤ්ඤාණය නැති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වෙදනා යැ යි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැයි පැනවීමක් නැති කල්හි විතර්ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.

17. ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කරුණෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මේ කරුණෙහි (ද්වාදශායතනයන්හි) සතුටුවිය යුත්තෙක් කියා යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම (අභිනන්දනාදිය නැති බව ම) රාගානුසයයන්ගේ කෙළවර ය … මේ ද්වාදශායතනයන්හි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනන්ස්නෙන් නැගිට විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසු විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ විස්තර විසින් අර්ථය මෙසේ දනිමි. ආයුෂ්මත්නි, තෙපි කැමතියව්හු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අර්ථය පුළුවුස්ව. අපගේ භාග්‍යවතුන් වහන්සේ යම් සේ වදාරනසේක් නම් එය එසේ ධරව යි.

18. එක්බිති, ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකත්‍යායන ස්ථවිරයන්ගේ දෙශනාව අභිමුඛව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් කරා එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂුහු භාග්‍යවතුන්හට තෙල සැළ කළහ:

 

19. “වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ ’මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයෝ පුරුෂයාහට පවතිත් ද, ඉදින් මෙහි සතුටුවිය යුත්තෙක් කිය යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය … මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්’ යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක් ද, වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ වේලායෙකින් ඒ අපට මේ අදහස වී: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ, ‘මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කියායුත්තෙක් ගිල ගත යුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චෙතනාවන්ගේ කෙළවර ය. මෙහි ම මේ ලාමක වූ අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්’ යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ අර්ථය විස්තර විසින් කවරෙක් බෙදා දක්වන්නේ දැ” යි.

 

20. “වහන්ස, ඒ අපට මේ අදහස වී ය: මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘහු විසිනුදු වර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නොබෙදූ මේ උද්දෙශයාගේ විස්තර විසින් අරුත් බෙදා දක්වන්නට ද සමර්ථ වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම්, එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් අතින් මේ අර්ථය පිළිවිසින්නමෝ නම් මැනවැය” යි.

 

21. “එක්බිති, වහන්ස, අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත් එළඹියම්හ. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මේ අර්ථය පිළිවිසුම්හ. වහන්ස, ඒ අපට ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් විසින් මේ ආකාරයෙන් මේ පදයන්ගෙන් මේ ව්‍යඤ්ජනයන්ගෙන් අර්ථය බෙදා දක්වන ලද්දේ ය.”

 

22. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ පණ්ඩිතය. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ මහනුවණැත්තේ ය. මහණෙනි, තෙපි මාගෙන් වුවත් මේ අර්ථය පිළිවිසුවහු නම් මහාකාත්‍යායනයා විසින් යම්සේ එය ප්‍රකාශ කරන ලද නම් මම ද තොපට එය එසේ ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ථය මේ ම ය. එසේ ම දරව.

 

23. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස බඩසා දුබල බැවින් පෙළුණු පුරුෂයෙක් මිහිරි කිරීමට අමුතු රස නො ඉසිය යුත් මීපිඬුවක් (බදහත්වටක්) ලබා ද, හෙතෙමේ යම් යම් පසෙකින් (එය) ආස්වාදනය කෙරේ ද (ඒ ඒ පැත්තෙන්) මිහිරි රසයක් ලබන්නේ ම ය. වහන්ස එ පරිද්දෙන් ම සිතන සැහැවි ඇති පණ්ඩිත ස්වභාව ඇති මහණෙක් යම් යම් ලෙසෙකින් මේ ධර්මදෙශනාවගෙ අර්ථය නුවණින් පරීක්ෂා කරන්නේ ද ඒ ඒ ලෙසින් සතුටුබව ලබන්නේ ම ය සිතේ පැහැදී ම ලබන්නේ ම ය වහන්ස, මේ ධර්මපර්යාය ය කිනම් ඇත්තේ ද? ආනන්දය, එසේ නම් තෝ මෙහි ලා මේ ධර්මදෙශනාව මධුපිණ්ඩිකපර්යාය යැ යි දරව යි වදාළ සේක.”

 

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව මැනවැ යි සතුටින් පිළිගත්තේයි.

 

අටවැනි වූ මධුපිණ්ඩික සූත්‍රය නිමියේ ය.