මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

            2         

සීහනාද වර්ගය

3

මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. එකල්හි ඒ භික්‍ෂූන්ට මෙවැනි අදහසෙක් වීය: ‘පිඬු පිණිස හැසිරීමට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ අරමට පැමිණනේනෙමු නම් මැනැවැ’යි.

 

2. ඉක්බිති ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළැඹියහ. එළැඹැ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් කාමයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණිය පනවයි. අපි ද රූපයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වෙදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් වෙදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදෙශනා සමඟ ධර්‍මදෙශනා ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධික ප්‍රයොග කවරේ ද? නානාකාරණය කුමක් ද?

 

3. එකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. පිළිකෙවු ද නො කළහ. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි දී මෙබසෙහි අදහස දැන ගන්නෙමු”යි හුනස්නෙන් නැගිට ගියාහු ය.

 

4. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස හැසිරෙන්නට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළඹෙන්නමු නම් මැනැවැ’යි. වහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළැඹියෙමු. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූයෙමු. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රාහාණය පනවයි. අපි දු කාමයන්ගේ ප්‍රහාණය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණය පනවයි. අපි දු රූපයන්ගේ ප්‍රාහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වෙදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපි දු වෙදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදෙශනාව සමග ධර්‍මදෙශනාව ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධිකප්‍රයොගය කවරේ ද? නා නා කාරණය කුමක් දැ? යි. එකල්හි වහන්ස, ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නොම පිළිගතිමු. පිළිකෙවු ද නො කෙළෙමු. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි මේ බසෙහි අදහස දැන ගනිමු” යි හුනස්නෙන් නැගිට ගියෙමු.

 

5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහු ය: “ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? රූපයන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? වෙදනාවන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් දැ’ යි. මහණෙනි, මෙසේ විචාළා වූ අන්තොටු පිරිවැජියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙහෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින යත්: එය ඔවුන්ට විෂය නො වූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි.

 

6. මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද? චක්‍ෂූර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රූපයෝය. ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු වූ... ශබ්දයෝ ය. ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ... ගන්‍ධයෝ ය. ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ... රසයෝ ය. කායවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මනවඩන්නාවූ ප්‍රියරූප වූ කාමොපසංහිතවූ රාගය ඉපදීමට කරුණුවූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය. මහණෙනි, මේ පඤ්ච කාමගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපයෙක් සොම්නසෙක් උපදී ද, මේ කාමයන්ගේ ආස්වාදය යි.

 

7. මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරේ ද? මහණෙනි, මේ ලොකයෙහි කුලපුත්‍රයෙක් යම් ශිල්පයෙකින් හස්තමුද්‍රායෙන් හෝ අච්ඡිද්‍ර ගණනායෙන් හෝ පිණ්ඩගණනායෙන් හෝ සී සෑමෙන් හෝ වෙළඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ අවි ගෙන රජු ට කරන උවැටනින් හෝ අවියෙන් තොර ව රාජසේවා කිරීමෙන් හෝ අන්‍යතර ශිල්පයෙකින් හෝ ශීතයෙන් පෙළුණේ උෂ්ණයෙන් පෙළුණේ මැසි මදුරු සුලං අවු සප් යන මොවුන්ගේ පහසින් ගැටෙමින් සාපිපාසායෙන් මැරෙමින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, කාමයන්ගේ උපද්‍රව වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

 

8. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භොගයෝ නො නිපැදෙත් නම්, හෙතෙම ‘එකාන්තයෙන් මාගේ උත්සාහය හිස් විය මාගේ ව්‍යායාමය නිෂ්ඵලය ’යි ශොක කරයි. වෙහෙසෙයි. වැලපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස ද කාමය හෙතුකොට ඇත්තේ ය. කාමය මූලකාරණය කොට ඇත කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

 

9. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භොගයෝ මනා ව නිපැදෙත් නම්, හෙතෙමේ කෙසේ මාගේ මේ භොගයන් රජවරු පැහැර නො ගන්නාහු ද, හොරු පැහැර නො ගන්නාහු ද, ගින්න නො දවා ද, දිය පා කොට නොහරී ද, අප්‍රිය දායාදයෝ (දූපුත්හු) පැහැර නො ගන්නාහු දැ’ යි ඒ භොගයන්ගේ ආරක්‍ෂාව කරුණු කොට ඇති දුක් දොම්නස් විඳී. මෙසේ රකින ගොපනය කරන ඔහුගේ ඒ භොගයන් රජවරු හෝ ගනිත්. හොරු හෝ ගනිත්. ගින්න හෝ දවයි. ජලය හෝ පා කොට හරියි. අප්‍රිය දායාදයෝ හෝ ගනිත්. හෙතෙම ‘යමක් මට වී ද, එය ද අපට නැති වී’ ය යි ශොක කරයි. වෙහෙසෙයි. වැලැපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේම හේතුවෙන් වෙයි.

 

10. නැවත අනෙකක් ද වෙයි: මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් රජහු ද රජුන් සමග විවාද කරත්. ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියන් සමඟ විවාද කරත්. බමුණෝ ද බමුණන් සමඟ විවාද කරත්. ගැහැවියෝ ද ගැහැවියන් සමඟ විවාද කරත්. මව ද පුතු සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද කරයි. සහොදරයා ද සහොදරයා සමඟ විවාද කරයි. සහොදරයා ද සහොදරිය සමඟ විවාද කරයි. සහොදරිය ද සහොදරයා සමඟ විවාද කරයි. ඔහු එහිදී කලහ විග්‍රහ විවාදයනට පැමිණියාහු ඔවුනොවුන්ට අතින් ද පහර දෙති. කැටකැබිලිත්තෙන් ද පහර දෙති. මුගුරුවලින් ද පහර දෙති. සැත්වලින් ද පහර දෙති. ඔහු එහි දී මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක් රැස ම කාමය හෙතු කොට ඇත. කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

 

11. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළනු ලබන කල්හි කඩු ඔබමොබ පෙරළෙන කල්හි කඩුව හා පලිහ ගෙන දුනු හියවුරු බැඳගෙන දෙපසින් රැස් වූ රණබිමට වදිත්. ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිත්. කඩුවෙන් ද හිස සිඳිති එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින්ම දැක්ක යුතුවූ මේ දුක් රැසම කාමය මූලකාරණය කොට කාමය හෙතු කොට ඇත. කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

 

 

12. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළෙන කල්හි කඩු පෙරළෙන කල්හි කඩු හා පලිහ ගෙන දුනු හියවුරු බැඳ ගෙන තෙත් මඩ අලෙවි කළ පවුරු පදනම්වලට පනිත්. එහිදී ඔහු ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිති. කකියන ගොමින් ද ඉසිති. ශතදන්ත යෙනුදු මඩිති. කඩුවෙන් ද හිස සිඳීති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

 

13. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් ආධාර කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ගෘහසන්‍ධි සිඳිති. ගම් පහරති. එක් ගෙයක් වට කොට ගෙවැසියන් දිවියෙන් ගෙන ධනය ගෙන්වා ගනිති. මං පහරති. පරඹූව ද කරා යෙති. රජවරු ඒ මොහු අල්ලා ගෙන නන්වැදෑරුම් කම්කටොලු කරති. කසවලින් ද තළත්. වේවැල්වලින් ද තළත්. මුගුරු වලින් ද තළත්. අත ද සිඳිත්. පා ද සිඳිත්. අත් පා ද සිඳිත්. කන ද සිඳිත්. නාසය ද සිඳිත්. කන්නාසා ද සිඳිත්. ඛිලඞ්ගථාලිකය (හිස්කබල කැඳසැළියක් මෙන් කරන කර්‍මය) කරති. ශඞ්ඛමුණ්ඩිකය (හිස්කබල බොරළු උළා දොවා හක් මුඩුවක් මෙන් කරන කර්‍මය) ද කරවති. රාහුමුඛය (අඬුවෙන් මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීමෙන් කරන කර්‍මය) ද කරති. ජොතිමාලිකය සිරුරෙහි තෙල්පිළී ඔතා ගිනි දැල්වීමෙන් කරන කර්‍මය ද කරති. හත්‍ථපජ්ජොතිකය (අත් තෙල්පිළියෙන් වෙළා ගිනි දැල්වීමෙන් කරන කර්‍මයද) කරති. එරකවත්තිකය (ගෙලෙහි යටපටන් සම ගලවා ගොප් ඇටයෙහි හෙළා යොතින් බැඳ අදිමින් කරන කර්‍මය) ද කරත්. චීරකවාසිකය (ගෙල පටන් සම ගලවා කටියෙහි ද කටියෙහි පටන් සම ගලවා ගොප්ඇටයෙහි තබා වැහැරි වතක් මෙන් කරන කර්‍මය) ද කරති. එණෙය්‍යකය (දෙදණ දෙවැලමිටෙහි යවුල් ගසා බිමට සවි කොට අවට ගිනි දල්වා කරන කර්‍මය) ද කරති. බළිසමංසික (දෙපස කටු ඇති ඇවුලුම් බිළියෙන් ඇන සම්මස් නහර උපුටා ලන කර්‍මය) ද කරති. කහාපණකය (මුළු සිරුර තියුණු වෑයෙන් කහවණු පමණ කොට සසින කර්‍මය) ද කරති. ඛාරාපතව්ඡිකය (අවියෙන් සිරුරෙහි තන්හි තන්හි පහරා කාරම ඉසීමෙන් කරන කර්‍මය) ද කරත්. පලිඝපරිවත්තිකය (එක් ඇළයකින් හොවා කන් සිදුරෙහි යවුලක් ගසා බිම හා සවි කොට පය ගෙන සිසාරවන කර්‍මය) ද කරති. පලාලපීඨකය (සිරුරෙහි සිවිසම් නොසිඳ ඇඹැරුම් ගලින් ඇට බිඳ පිදුරු බිස්සක් මෙන් කරන කර්‍මය) ද කරති. රත් වූ තෙලිනුදු ඉස්ති. කිණබල්ලන් ලවා ද කවති. දිවිඇතියහු හුල හිඳුවති. කඩුවෙනුදු හිස සිඳති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැකිය යුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට ඇත. කාමය මූලකාරණ කොට ඇත. කාමය කරුණු හෙතු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

 

 

14. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් කයින් දුසිරිත් කරති. වචනයෙන් දුසිරිත් කරති. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයෙහි උපදිති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ පරලොවෙහි වන්නා වූ මේ දුක්රැස කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේ ය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

 

 

15. මහණෙනි, කාමයන්ගේ නිස්සරණය කවරේ ද? මහණෙනි, යම් මේ කාමයන්ගේ ඡන්‍දරාගවිනයෙක්, ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ කාමයන්ගේ නිස්සරණය වේ.

 

 

16. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණය වශයෙන් ද, තතු සේ නොදනිත් ද, “ඔහු එකාන්තයෙන් තුමූ හෝ කාමයන් විදසුන් විසින් පිරිසිඳ දන්නාහු ය. යම්සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ දනිත් ද, “ඔහු එකාන්තයෙන් තුමූ හෝ කාමයන් පිරිසිඳ දන්නාහු ය. යම් සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම් එබඳුබව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන වේ.

 

17. මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, පසළොස් හැවිදිරි වූ හෝ සොළොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ක්‍ෂත්‍රියකන්‍යාවක් හෝ බ්‍රාහ්මණකන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වේ ද, මහණෙනි, ඒ කාලයෙහි (ඇගේ) ඒ ශරීර වර්ණය යහපත් වේ ද? වහන්ස, එසේ ය. මහණෙනි, යහපත් පැහැය නිසා සැපයෙක් සොම්නසක් උපදී ද, මේ රූපයන්ගේ ආස්වාදය යි.

 

18. මහණෙනි, රූපයන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, මෙහි පසුකලෙක දී, ඉපදීමෙන් අසූ හැවිරිදි වූ හෝ අනූ හැවිරිදි වූ හෝ සියහැවිරිදි වූ හෝ ජරාවෙන් ජීර්ණ වූ ගොනැස්සක් සේ වක් වූ බිඳුණා වූ සැරයටිය පිහිට කොට ඇති වෙවුලමින් යන රොගී වූ පහ වූ යොවුන් ඇති කඩදත් ඇති පැසුණු කෙහෙ ඇති වැටුණු කෙහෙ ඇති පැතැටි වූ වලයිත වූ (හටගත් ඇඟ රැළි ඇති) තලකැලලින් ගැවසුණු ශරීර ඇති, ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේය. මහණෙනි, මෙද රූපයන්ගේ ආදීනවය යි.

 

19. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, රොගී වූ දුඃඛිත වූ දැඩි ගිලන් වූ තමාගේ ම මලමූයෙහි ගැලී හොවින මෙරමා විසින් නැගිටුවනු ලබන මෙරමා විසින් හිඳවනු ලබන ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වර්ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ රූපයන්ගේ ආදීනවය යි.

 

20. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මැරී එක දවසක් ගියා වූ හෝ මැරී දෙදවසක් ගියා වූ හෝ මැරී තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුණු නිල් වූ හටගත් පිළිකුල් පූයා ඇති සොහොනෙහි දැමූ සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහුද? පෙර වූ යම් ශුභවූ වර්ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනව ය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

 

21. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කවුඩන් විසින් හෝ කනු ලබන්නාවූ උකුස්සන් විසින් හෝ කනු ලබන්නා වූ ගිජුළිහිණියන් විසින් හෝ කනු ලබන්නාවූ බල්ලන් විසින් හෝ කනු ලබන්නාවූ සිවලුන් විසින් හෝ කනු ලබන්නාවූ විවිධ වූ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන්නාවූ සොහොනෙහි දමන ලද සිරුරක්වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්ණයෙක් වී ද එය අතුරුදහන් වී ද? ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

 

 

22. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, ඇටසැකිල්ලක් වූ මස් ලේ සහිත වූ නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් නැති ලේ තැවරුණු නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් ලේ නැති නහරින් බැඳුණු ... අන් තැනෙක අත්ඇට ය, අන් තැනෙක පාඇට ය, අන් තැනෙක දඟඇට ය, අන් තැනෙක කලවා ඇට ය, අන් තැනෙක උකුළු ඇටය, අන් තැනෙක පිටකටුව, අන් තැනෙක හිස්කබල දැයි පහවූ බැඳුම් ඇති දසනුදසැ විසුරුණු ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්ණයෙක් වී ද, එය අතුරු දහන් වී ද, ආදීනවය පහළ වීද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

 

23. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, සුදු වූ සක්වන් පැහැ ඇට ඇති... අවුරුදු ගණන් ඉක්ම ගියාවූ රැස් වූ ඇට ඇති... කුණු වූ සුණු වූ ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්ණයෙක් වී ද එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

 

24. මහණෙනි, රූපයන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, රූපයන්හි වූ යම් ඡන්‍දරාග විනයයෙක් යම් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයන්ගේ නිස්සරණය යි.

 

25. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනව ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ නොදනිත් ද, ඔහු එකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දනිත් ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතු සේ දනිත් ද, ඔහු එකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දන්නා හු ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ.

 

26. මහණෙනි, වෙදනාවන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද, එසමයෙහි තමහට දුක් පිණිස නො සිතයි. අන්හට දුක් පිණිස නො සිතයි. දෙපසට දුක් පිණිස නො සිතයි. එකල නිදුක් වූ වෙදනාවක් ම විඳියි. මහණෙනි, මම වෙදනාවන්ගේ ආස්වාදය නිදුක්බව ම පරම කොට ඇතැයි කියමි.

 

27. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ තෙමේ විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් තමා තුළ පැහැදීම කරන සිතේ එකඟ බව වූ විතර්ක රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ද්වීතීය ධ්‍යානයට... තෘතිය ධ්‍යානයට ... චතුර්ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ සුඛප්‍රහාණියෙන් ද දුඃඛප්‍රහාණියෙන් ද පෙරම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපෙක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි තමාට ද දුක් පිණිස නො සිතා ම ය. අන්හට ද දුක් පිණිස නො සිතා ම ය. දෙපසට දුක් පිණිස නොසිතා ම ය. එකල්හි නිදුක් වූ ම වෙදනාව විඳියි. මහණෙනි, මම වෙදනාවන්ගේ ආස්වාදය නිදුක් බව ම පරම කොට ඇතැයි කියමි.

 

28. මහණෙනි, වෙදනාවන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, යම් හෙයෙකින් වෙදනාව අනිත්‍ය ද දුක් ද පෙරළෙනසුලු ද, මේ වෙදනාවන්ගේ ආදීනව ය යි.

 

29. මහණෙනි, වෙදනාවන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, වෙදනාවන්හි යම් ඡන්‍දරාග විනයයෙක් වේ ද, ඡන්‍දරාග ප්‍රහාණියෙක් වේ ද, මෙය වෙදනාවන්ගේ නිස්සරණය යි.

 

30. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වෙදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ නොදනිත් ද, ඔහු එකාන්තයෙන් තුමු හෝ වෙදනාවන් පිරිසිද දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වෙදනාවන් පිරිසිද දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වෙදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ දනිත් ද, ඔහු එකාන්තයෙන් තුමූ හෝ වෙදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වෙදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වේ.

 

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

 

තෙවැනි වූ මහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත්‍රය නිමියේ ය.