මහා සීහනාද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

            2         

සීහනාද වර්ගය

2

මහා සීහනාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානගර සමීපයෙහි බිහිනුවර නුවරින් පෑළදිග වනලැහැබෙහි වැඩ වසන සේක. ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මේ ශාසනයෙන් නික්ම ගිය නොබෝකල් ඇති වෙයි. හෙ විශාලාමහනුවර පිරිස් මැද මෙසෙයින් තෙපලයි: “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය පිණිස සමර්‍ථවූ ඥානදර්‍ශන විශේෂයක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් පර්යාගත (ගැටුම්) කොට විමසුම් නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු වු දහමක් දේශනා කරයි. (එහෙත්) යම් අර්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය දේශිත පරිදි කරනුවාගේ දුක් මැනැවින් නස්නා පිණිස වැටේය” කියා යි.

2. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු සිවුරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන විශාලානුවරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුම් කොට විමසන නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය” යි විශාලානුවර පිරිස් මැද මෙබඳු වචන කියන ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්තයාගේ කථාව ඇසූහ.

3. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසල්පුර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මෙ සස්නෙන් පහව ගිය විරූ නොබෝකල් ඇත්තෙක. විශාලා නගරයෙහි පිරිස් මැද “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථවූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගටා විමසුමෙන් එළවා ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි මෙබඳු වචනයක් කියයි.

4. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂ ක්‍රොධ කරන සුලුය. ක්‍රොධ හේතුයෙන් තුලුන් විසින් මේ වචනය කියන ලදි. ශාරිපුත්‍රය, ඒ සුනක්ඛත්ත මොඝපුරුෂ ‘නුගුණ කියමි’ යි තථාගතයන්ගේ ගුණයක් ම කියයි. ශාරිපුත්‍රය, “තථාගතයන් විසින් යම් අර්‍ථයක් පිණිස යමකුට ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නාහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි යමෙක් කියා නම්, එය තථාගතයන්ගේ ගුණයෙක් ම ය.

5. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂයාහට - “මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්‍මයෙන් හා යුක්තයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථීහ. දෙවිමිනිසුන්ගේ ශාසතෘයහ. බුද්ධයහ. භගවත්හ” යි මා කෙරෙහි මේ (සර්‍වඥතාඥාන සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනීමෙහි සමර්‍ථ ඥානය වූ) ධර්‍මාන්‍වය ද නො වෙයි.

6. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂයාහට - “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනු දු නන්වැදැරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති: එකෙක් වූහු බොහෝ ව මැවෙත්. බොහෝ වූවාහු ම එකෙක් ව මැවෙත් ප්‍රකට භාවයට අප්‍රකට භාවයට පත්වන සේක. බිත්තියෙන් පිටත පවුරෙන් පිටත පව්වෙන් පිටත අහසෙහි යනුවන් මෙන් නොගැටෙමින් යන සේක. ජලයෙහි සෙයින් පොළොවෙහි ද ඉල්පීම් ගැලීම් කරන සේක. පොළොවෙහි සෙයින් නොබිඳෙන දියෙහි ද යන සේක. අහසෙහි ද පක්‍ෂීශකූනීන් සෙයින් පර්යඞ්කයෙන් යන සේක. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා කරතලයෙන් පරාමර්‍ශන කරන සේක. පිරිමදින සේක. බඹලොව ද තෙක් කයින් විසිය පවත්වන සේකැ”යි මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය (ඍද්ධිවිධඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා ඥානය) ද නො වෙයි.

7. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂයාහට මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය ද (දිව්‍ය ශ්‍රොතධාතුඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනගන්නා ප්‍රඥා) නො වෙයි. එනම්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් ඉතා පිරිසිදු මිනිසැස ඉක්ම වූ දිව්‍ය ශ්‍රොතධාතුවෙන් දෙවියන් පිලිබඳ වුත් මිනිසුන් පිලිබඳ වුත් දුරැ වුත් සමීප වුත් ද්විවිධ ශබ්දයන් අසන සේකැ” කියා ය.

8. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂයාට - “භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අන්‍යසත්ත්‍වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දැන ගන්නා සේක. රාග සහිත වූ හෝ සිත රාග සහිත සිතැ යි දන්නා සේක. රාග රහිත වූ හෝ සිත රාග රහිත සිතැ යි දන්නා සේක. ද්වෙෂ සහිත වූ හෝ සිත ද්වෙෂ සහිත සිතැ යි දන්නා සේක. ද්වෙෂ රහිත වූ හෝ සිත ද්වෙෂ රහිත සිතැ යි දන්නා සේක. මොහ සහිත වූ හෝ සිත මොහ සහිත සිතැ යි දන්නා සේක. මොහ රහිත වූ හෝ සිත මොහ රහිත සිතැ යි දන්නා සේක. (ථීනමිද‍ධයෙන්) සංක්‍ෂිපත වූ හෝ සිත සංක්‍ෂිපත වූ සිතැ යි දන්නා සේක. (උද්ධච්චයෙන්) වික්‍ෂිපත වූ හෝ සිත වික්‍ෂිපත වූ සිතැ යි දන්නා සේක. මහග්‍ගත වූ හෝ සිත මහග්‍ගත වූ සිතැ යි දන්නා සේක. අමහග්‍ගත වූ හෝ සිත අමහග්‍ගත වූ සිතැ යි දන්නා සේක. සඋත්තර වූ හෝ සිත සඋත්තර වූ සිතැ යි දන්නා සේක. නිරුත්තර වූ හෝ සිත නිරුත්තර වූ සිතැ යි දන්නා සේක. සමාහිත වූ හෝ සිත සමාහිත වූ සිතැ යි දන්නා සේක. අසමාහිත වූ හෝ සිත අසමාහිත වූ සිතැ යි දන්නා සේක. විමුත්ත වූ හෝ සිත විමුත්ත වූ සිතැ යි දන්නා සේක. අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත වූ සිතැ යි දන්නා සේකැ”යි මෙසේ මා කෙරෙහි ඇති මේ (චෙතොපරියඤාණ සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා) ඥානය ද නො වෙයි.

9. ශාරිපුත්‍රය, යම් බඳු බලයන්ගෙන් යුත් තථාගත තෙම ශ්‍රේෂ‍ඨ ස්ථානය (තමන් වහන්සේ කෙරෙහි ඇතැයි) ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ එබඳු තථාගත බල දසයෙක් වෙයි. කවර දසයෙක් ද යත්: ශාරිපුත්‍රය, මෙහි තථාගත තෙමෙ කාරණය කාරණය වශයෙන් ද අකාරණය අකාරණය වශයෙන් ද තතු ලෙස දැන ගනියි. ශාරිපුත්‍රය, තථාගත තෙමේ කාරණය කාරණය වශයෙනුත් අකාරණය අකාරණය වශයෙනුත් තත් වූ පරිදි දනී යන යමක් ඇද්ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ඒ ස්ථානාස්ථානඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

10. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අතීත අනාගත වර්‍තමාන කර්‍මසමාදානයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තත් වූ පරිදි දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයකින් තථාගත තෙමේ අතීතඅනාගතවර්‍තමාන කර්‍මයන්ගේ විපාකය ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ කර්‍මවිපාකඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

11. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ සර්‍වත්‍රගාමිනී (නිරයාදී හැම තැන් යන) ප්‍රතිපදාව තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සර්‍වත්‍රගාමිනී ප්‍රතිපදාව තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

12. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අනෙකධාතු නානාධාතු ලොකය තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අනෙකධාතු නානාධාතු ලොකය තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

13. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍ව දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍ව දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

14. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ පරාවරතා (වෘදධිය හානිය) තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ පරාවරතා තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

15. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ ධ්‍යාන විමොක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ කෙලෙසීම ද පිරිසිදු බව ද එයින් නැගී සිටීම ද තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ධ්‍යාන විමොක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකෙ‍ලශ ව්‍යවදාන ව්‍යූත්‍ථාන තතුසේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

16. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ නන් වැදෑරුම් පූර්වෙනිවාසය සිහි කෙරෙයි. එනම්: එකජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියක් දහසක් ද, නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් හටගන්නා කල්පයන් ද නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද “අසුවල් තැන උපන්නෙමි. මේ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගොත්‍ර ඇත්තෙම් වීමි. මෙවැනි වර්‍ණ ඇත්තෙම් වීමි. මෙවැනි ආහාර ඇත්තෙම් වීමි. මෙවැනි සැප දුක් වින්දෙම් වීමි. මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. මම එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහි දී ද මෙනම් ඇත්තෙකිමි මෙනම් ගෝත්‍ර ඇත්තෙකිමි මෙවැනි වර්‍ණ ඇත්තෙකිමි මෙවැනි සැප දුක් වින්දෙකිමි මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි.” මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් පූර්වෙනිවාසය සිහි කරයි. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ නන්වැදෑරුම් පූර්වෙනිවාසය සිහි කෙරේ ද, එනම් ජාති එකක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරේ ද, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

17. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ මිනිසැස ඉක්මවා පැවැති ඉතා පිරිසිදු පහත් උසස් මනා පැහැ ඇති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්‍වයන් දක්නේය: “කම් වූ පරිදි මිය පරලොව ගිය සත්‍වයන් දන්නේය. මේ භවත් සත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්‍චරිතයෙන් යුක්ත වුවාහුය. වාග්දුශ්‍චරිතයෙන් යුක්ත වුවාහුය. මනොදුශ්‍චරිතයෙන් යුක්ත වුවාහුය. අර්යයෝපවාදය කළාහුය. මිථ්‍යාදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තෝය. ඔහු කය බිඳීමෙන් මරණයෙන් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නරකයට ඉපදීම් වශයෙන් පැමිණියාහුය. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වුවාහුය. වාග්සුචරිතයෙන් යුක්ත වුවාහුය. මනොසුචරිතයෙන් යුක්ත වුවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නො කළාහුය. සම්‍යග්දෘෂ්ටිකයෝය. සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තෝය. ඔහු කය බිඳීමෙන් මරණයෙන් මතු සුගති නම් වූ ස්ව‍ර්‍ගලෝකයට ඉපදීම් වශයෙන් පැමිණියාහු ය.” මෙසේ මිනිසැස ඉක්මවා පැවැති ඉතා පිරිසිදු දිවැසින් මැරෙන උපදින හීන වූ ප්‍රණීත වූ මනා පැහැති නො මනා පැහැති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දැන ගනියි. ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

18. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව නැති චේතෝවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් ඉහාත්මයේ දී ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට‍ පැමිණ වාසය කරන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ආස්‍රවයන් නැති වීමෙන් ආස්‍රව නැති චෙතොවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් ඉහාත්මයේ දී ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට‍ පැමිණ වාසය කෙරේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

19. ශාරිපුත්‍රය, යම් බඳු බලයෙකින් යුක්ත තථාගත තෙමේ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ඒ තථාගතයන්ගේ දශ තථාගත බලයෝ යි.

20. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා මෙසේ දක්නා මට “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ‍වූ ඥානදර්‍ශනයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කපර්යාහත කොට විමසන නුව‍ණින් ලුහුබැඳ ගත්, සිය වටහනු දහමක් දේශනා කෙරේ” ය යි කියා නම්, ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ඇර සිටුවූවකු සෙයින් නිරයෙහි උපදනේ ය. ශාරිපුත්‍රය, සීලසම්පන්න සමාධිසම්පන්න මහණ යම්සේ ඉහාත්මයේ දී ම රහත් බවට පැමිණේද, ශාරිපුත්‍රය, මේ කාරණය ද මෙසේය යි කියමි: ඒ කීම නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ඇර සිටුවූවකු සෙයින් නිරයෙහි උපදනේ වේ.

21. ශාරිපුත්‍රය, යම් බඳු විශාරදභාවයෙන් යුත් තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ මේ සතර දෙනෙක් වෙත්. ඒ කවර සතර දෙනෙක යත්:

22. “සම්‍යක්සම්බුද්ධයෙමි යි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මෙනම් ධර්‍මයෝ අවබෝධ නොකරන ලද්දාහු ය, යි එහි ලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ සකාරණයෙන් මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, මම නොදක්මි. ශාරිපුත්‍රය, “මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම් නිර්භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි”.

23. ක්‍ෂීණාස්‍රවයෙමි යි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මේ ආස්‍රවයෝ ක්‍ෂය නොකරන ලදහ” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම් නිර්භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

24. “මාර්‍ගඵලයන්ට අන්තරායකර යම් ධර්‍ම කෙනෙක් තොප විසින් ප්‍රකාශ කරන ලද්දාහු ද, ඒ ධර්‍මයන් සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො පවත්නාහු ය” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම් නිර්භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

25. “තොප විසින් යම් අර්‍ථයක් පිණිස ධර්‍මය දේශනා කරන ලද නම්, ඒ ධර්‍මය ඊට අනුව පිළිපදින්නහුගේ මැනවින් දුක් කෙළවර කිරීම පිණිස නොවන්නේ යැ” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම් නිර්භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

26. ශාරිපුත්‍රය, යම් බඳු විශාරදභාවයෙන් යුක්ත තථාගත තෙමේ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ සතරහු තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ යි.

27. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ‍වූ ඥානවිශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුණු විමසීම අනුව ගිය සියවටහනු දහමක් දේශනා කෙරේ” ය යි මෙසේ කියා නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන අවුත් තබන ලද්දක් සෙයින් නරකයෙහි උපදනේ වෙයි. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම යම්සේ අර්‍හත්‍වය ලබාද, මේ කාරණය ත් එසේ ය යි කියමි. ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් නරකයෙහි උපදනේ වේ.

28. ශාරිපුත්‍රය, මේ පිරිස් අටෙකි. කවර අටෙක් ද යත්: කැත් පිරිස ය, බමුණු පිරිසය, ගැහැවි පිරිසය, මහණ පිරිසය, සිවුමහරැජි පිරිසය, තව්තිසා පිරිසය, මාර පිරිසය, බඹ පිරිසය. ශාරිපුත්‍රය, මේ සිවු වෙසරඳ බැවින් යුත් තථාගත තෙමේ මේ අටපිරිස ම කරා එළඹෙයි, පිවිසෙයි.

29. ශාරිපුත්‍රය, මම නොයෙක් සිය ගණන් කැත්පිරිස් වෙතට පැමිණියෙමි යි දනිමි. එපිරිස්හි මා හුන්විරූ ද කථාකළ විරූ ද සාකච්ඡා කළ විරූ ද වෙයි. ශාරිපුත්‍රය, එහි දී ඒකාන්තයෙන් මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේ යැ යන මේ කාරණය නො දක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම්, නිර්භය භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

30. ශාරිපුත්‍රය, මම නොයෙක් සිය ගණන් බමුණු පිරිස් වෙත ... ගැහැවි පිරිස් වෙත ... මහණ පිරිස් වෙත ... සිවුමහරැජි පිරිස් වෙත ... තව්තිසා පිරිස් වෙත ... මාර පිරිස් වෙත ... බඹ පිරිස් වෙත ... එළඹීයෙමි යි දනිමි. එහි දීත් මා හුන්විරූ ද කථාකළවිරූ ද සාකච්ඡා කළවිරූ ද වෙයි. ශාරිපුත්‍රය, එපිරිස්හි මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නො දක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම්, නිර්භය භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

 

31. ශාරිපුත්‍රය, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට යමෙක් “ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුණු විමසීම අනුව ගිය තමාට වැටහුනු සේ ධර්‍මය දේශනා කෙරේය” යි කියා නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන ඇර සිටුවූවකු සෙයින් නරකයෙහි උපදනේ වෙයි. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් තෙමේ ඉහාත්මයේ දී ම යම්සේ (මාර්‍ගයට අනතුරුව ඵලය මෙන්) අර්‍හත්‍වයට පැමිණියේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටි හේ) ගෙන එන ලද්දක් බහා තබන්නා සේ (චුතියට අනතුරුව පතිසන්‍ධිය මෙන්) නරකයෙහි උපදිනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

32. ශාරිපුත්‍රය, මේ යොනීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: අණ්ඩජයෝනිය, ජලාබුජයෝනිය, සංසෙදජයෝනිය, ඔපපාතිකයෝනිය යි. ශාරිපුත්‍රය, අණ්ඩජයෝනිය කවරේ ය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් බිජුවට බිඳ ගෙන උපදිත් ද, ශාරිපුත්‍රය, මේ අණ්ඩජයෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, ජලාබුජයෝනිය කවරය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් වස්තිකොෂය බිඳ ගෙන උපදිත් ද, ශාරිපුත්‍රය, මේ ජලාබුජ යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, සංසෙදජයෝනිය කවරය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් දුඟද මසෙහි හෝ උපදිත් ද, දුඟද සිරුරෙහි හෝ දුඟද කොමුයෙහි හෝ මොළෙහි (=අපවිත්‍ර දේ ගලාබස්නා තැන) හෝ ගම්දොර ගවරවළෙහි හෝ උපදිත් ද, ශාරිපුත්‍රය, මේ සංසෙදජ යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, ඕපපාතික යෝනිය කවරය? දෙවියෝ ය, නෙරයික සත්ත්‍වයෝ ය, ඇතැම් මනුෂ්‍යයෝ ය, ඇතැම් වෛමානිකයෝය. ශාරිපුත්‍රය, මේ ඕපපාතික යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, මේ වනාහි සතර යොනීහු ය.

33. ශාරිපුත්‍රය, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ‍වූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණගෞතම තෙමේ තර්‍කය හා ගැටුණු විමසීමෙන් එළවාගත් ධර්‍මයක් තමාට වැටහුණු සේ දේශනා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් බහා තැබුවෙකු සේ නරකයෙහි උපදනේ වේ. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම යම්සේ අර්හත් බවට පැමිණේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් බහා තැබුවෙකු සේ නරකයෙහි උපදනේ ය යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

34. ශාරිපුත්‍රය, මේ ගති පසෙකි. කවර පසෙක් ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේතවිෂය ය, මනුෂ්‍යයෝ ය, දෙවියෝ ය. ශාරිපුත්‍රය, මම නිරයත් නිරයගාමී මාර්‍ගයත් නිරයගාමී ප්‍රතිපදාවත් දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකෙහි පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම තිරිසන් යෝනිය ද තිරිසන් යෝනියට යන මාර්‍ගය ද තිරිසන් යෝනියට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම ප්‍රේතවිෂය ද ප්‍රේතවිෂයයට යන මාර්‍ගය ද ප්‍රේතවිෂයයට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම මනුෂ්‍යයනුත් මනුෂ්‍යලොකයට යන මාර්‍ගයත් මනුෂ්‍යලොකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම දෙවියන් ද දෙවලොකයට යන මාර්‍ගයත් දෙවලොකයට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු සුගති නම් ස්වර්‍ගලොකයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම ගතිනිස්සරණය වූ නිවන ද නිවනට යන මාර්‍ගය ද නිවනට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් නිරාස්‍රව වූ චෙතොවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයේ දී ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, එය ද දනිමි.

35. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: කාබුන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විවස ව පතිත වන නිරයෙහි යම් සේ උපදින්නේ ද, එසේ මේ පුද්ගල තෙමේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කලෙක මිනිසැස ඉක්ම පිරිසිදු වූ දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වේදනා විඳින ඒ මේ පුද්ගලයා දකිමි. ශාරිපුත්‍රය, පහ වූ ගිනිසිළු ඇති පහ වූ දුම් ඇති ගිනි අඟුරෙන් පිරුණු පුරුෂ ප්‍රමාණයට අධික වූ අඟුරුවළෙක් යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඒ අඟුරුවල ම උදෙසා ඊට ම වැටී තිබෙන එක ම මගින් එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අඟුරු වලට ම එන්නේ ද, එසේ මේ පින්වත් පුරුෂ තෙමේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේ ය. පසු කාලයෙහි ඒ අඟුරුවළට වැටුණු ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දක්නේ ය. ශාරිපුත්‍රය, මම එපරිද්දෙන් ම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම් සේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කලෙක මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් එකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි.

36. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, පුරුෂප්‍රමාණයට අධික වූ අසූචියෙන් පිරුණු අසූචිවළෙක්‌ යම්සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එක ම මගින් එ ම අසූචි වළ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අසූචිවළට එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ ය” යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ අසූචිවළෙහි වැටුණු දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දක්නේය. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි පිරිසුදු වූ මිනිසැස ඉක්ම දිවැසින් පසු කළෙක කාබුන් මරණින් මතු තිරිසන්යොනියෙහි උපන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි.

37. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපන් දුක් බහුල වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, විෂමභූමියෙක හටගත් තුනී කොළ පත් ඇති විරල සෙවණ ඇති රුකෙක්‌ යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ රුකම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ යැ”යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ දුක් බහුල වේදනා විඳින ඒ මොහු දක්නේය. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි පිරිසුදු වූ මිනිසැස ඉක්ම දිවැසින් පසු කළෙක කාබුන් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපන් දුක් බහුල වේදනා විඳින ඒ මොහු දකිමි.

38. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, සමභූමිභාගයෙහි හටගත් බොල් කොළ පත් ඇති ගන සෙවණ ඇති රුකෙක්‌ යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ රුක ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ ය”යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ සැප බහුල වේදනා විඳින ඒ මොහු දක්නේය. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යයි. පසු කලෙක පිරිසුදු වූ මසැස ඉක්මි දිවැසින් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වේදනා විඳින ඒ මොහු දකිමි.

39. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලොකයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලොකයෙහි උපන් ඒකාන්තයෙන් සැප වූ වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, යම් සේ ප්‍රාසාදයෙක් වේ ද, එහි ඇතුලත පිටත අලෙවූ දුන් වැළහු වා ඇති පැහැසු අගුළු ඇති, යෙදු වාකවුළු ඇති කුළුගෙයක් වන්නේ ද, එහි අතුළ කොඳු පලස් ඇති අතුල සුදු එළුලොම් පලස් ඇති අතුල ඝනපුප් එළුලොම් පලස් ඇති අතුළ කෙහෙල්මුව සමින් කල උතුම් පසතුරුණු ඇති බැඳි රතු උඩුවියන් ඇති දෙපස තැබූ ලේවන් කන්වයින් ඇති පලඟෙක් වන්නේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ ප්‍රාසාදයම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම සේ මේ ප්‍රසාදය කරා එන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී යේ යැ”යි මෙසේ කියන්නේ ද, පසු කලෙක ඒ ප්‍රාසාදයෙහි ඒ කුළුගෙයි ඒ පලඟෙහි හුන්නා වූ හෝ හොත්තා වූ හෝ ඒකාන්තයෙන් සැප වේදනා විඳින ඒ මොහු දකී ද. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලොකයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කලෙක පිරිසුදු වූ මිනිසැස ඉක්මි දිවැසින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලොකයෙහි උපන් ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි.

40. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ ආස්‍රවයන් ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කලෙක ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, පහන් දිය ඇති මිහිරි දිය ඇති සිහිල් දිය ඇති සුදු වැලිතලා ඇති මනා ව පිහිටි තොට ඇති සිත්කලු පොකුණෙක් යම සේ වේ ද, එයට නුදුරෙහි ඝන වන ලැහැබක් වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම යන එකම මගින් ඒ පොකුණ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙම යම් සේ මේ පොකුණ කරා එන්නේ ද, එසේ පිළිපැන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේය. පසු කලෙක ඒ පොකුණට බැස ස්නානය කොට පැන් බී සියලු වෙහෙස විඩා දැවිලි සන්හිඳුවා ඉන් ගොඩ නැගී ඒ වන ලැහැබෙහි හුන්නා වූ හෝ හොත්තා වූ හෝ ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දක්නේ ද, ශාරිපුත්‍රය, එසේම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගල තෙමේ යම්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි. පසු කලෙක ආස්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයේ දී ම විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය,මේ පස් ගතීහු යි.

41. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට “ශ්‍රමණ ගෞතමයාහට මිනිස් දහමින් වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ‍ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍ක හා ගැටුණු විමසීමෙන් එළවාගත් ධර්‍මයක් තමාට වැටහුණු සේ දේශනා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් තැබුවෙකු සේ නරකයෙහි උපදනේ වේ. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම අර්හත්වයට යම්සේ පැමිණෙන්නේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙන එන ලද්දක් තබන්නා සේ නිරයෙහි උපදනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

42. ශාරිපුත්‍රය, මම අඞ්‍ග සතරෙකින් යුක්ත වූ බඹසර හෙවත් වීර්‍ය්‍යය කෙළෙමි යි දනිමි: තපස් ඇත්තෙම් තපස් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. රළු පිළිවෙත් ඇත්තෙම් රළු පිළිවෙත් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. පාපයට පිළිකුල් කරන්නෙම් පාපයට පිළිකුල් කරන්නවුන් අතුරෙන් උතුම් වෙමි. ප්‍රකර්‍ෂවිවෙක ඇත්තෙම් ප්‍රකර්‍ෂවිවෙක ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි.

43. ශාරිපුත්‍රය, (මේ මතු පැවසෙන අචෙලකත්‍වාදිය) මාගේ තපස් බව වෙයි: නග්න වුයෙම් හල ශිෂ්ටකුලාචාර ඇත්තෙම් අත ලොවින්නෙම් නොහොත් මල පහ කොට අතින් පිස දමන්නෙම් වෙමි. ආහාර ගැනීම සඳහා එන්න වහන්සැ යි, සිටින්න වහන්සැ යි කියන ලද්ද නො පිළිගන්නෙමි. පළමු ගොට ගෙනෙන ලද්ද උදෙසා කරන ලද්ද නිමැතූ භික්‍ෂාව ද නො ඉවසමි. ඒ මම කළමුවින් නගා දෙන දෙය නොපිළිගනිමි. සැළිමුවින් නඟා දෙන දෙය, එළිපත අතර කොට සිට දෙන දෙය, දණ්ඩක් අතර කොට සිට දෙන දෙය, මොහොලක් අතර කොට සිට දෙන දෙය, අනුභව කරන්නවුන් දෙදෙනකුන්ගෙන් එකකු අවුත් දෙන දෙය, ගැබිණිය විසින් දෙන දෙය, කිරි පොවන්නිය විසින් දෙන දෙය, නොපිළිගනිමි. පුරුෂයා වෙත ගිය තැනැත්තිය විසින් දෙන දෙය, සම්මාදම් කළ දෙයින් දෙන දෙය, යම් තැනෙක බල්ලෙක් පැමිණ සිටියේ නම්, ඔහුට නො දී දෙන දෙය යම් තැනෙක මැස්සෝ කැටි කැටි ව හැසිරෙත් ද එහිදී දෙන දෙය නොපිළිගනිමි. දියමස් නො වළඳමි. ගොඩමස් නො වළඳමි. සුරා නො බොමි. පුෂ්පාසවය නො බොමි. ලොණසොවීකරය (= සියලු සස්‍යාදිය පල්කොට ගත් කාඩිදිය) නො බොමි.

මම පිඬු පිණිස එක ම ගෙයක් පමණ කොට ගත්තෙම් වෙමි. එක ම පිඬෙකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් දෙකක් පමණ කොට ගත්තෙම් වෙමි. පිඬු දෙකකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් සතක් පමණ කොට ගත්තෙම් වෙමි. පිඬු සතකින් යැපෙන්නෙම් වෙමි. එක් කුඩා බත්තැටියකින් බත්තැටි දෙකෙකින් බත්තැටි සතෙකින් ද යැපෙමි. දවසකට වරක් දෙදවසකට වරක් සත් දවසකට වරක් ආහාර ගනිමි. මෙසේ මෙලෙසින් අඩමසකට වරක් දැයි වාර වශයෙන් බත් බුදීමෙහි යෙදුනෙම් වාසය කරමි.

ඒ මම අමු පලා බුදින්නෙම් හෝ වෙමි. බඩහමු බුදින්නෙම් හෝ වෙමි. ඌරුහැල් බුදින්නෙම් හෝ කපා හළ සම් කසට බුදින්නෙම් හෝ වෙමි. දඹු බත් බුදින්නෙම් හෝ වෙමි. මුරුවට බුදින්නෙම් හෝ වෙමි. තණකොළ බුදින්නෙම් හෝ වෙමි. ගොම බුදින්නෙම් හෝ වෙමි. වනමුල් පල අහාර කොට ඇත්තෙම් ස්වයංපතිත ඵල බුදින්නෙම් හෝ යැපෙමි.

ඒ මම හණ වැහැරිත් දරමි. නන්වැදෑරුම් හූ මුසු කොට වියූ පිළීත් මිනී එතූ පිළීත් දරමි. පවුල් පිළීත් දරමි. රුක්පතුරෙන් කළ පිළී ද දරමි. අඳුන්දිවිසම් ද දරමි. මැදින් පැළුෑ කුර සහිත අඳුන්මුවසම් ද දරමි. කුසතණවැහැරි ද දරමි. නියදවැහැරි ද දරමි. පුවරුවැහැරි ද දරමි. කෙස්වලින් කළ කම්බිලි ද දරමි. අස්ලොමින් කළ කම්බිලි ද දරමි. බකමුහුණු පියාපතින් කළ වැහැරි ද දරමි.

ඒ මම කෙස් රවුලු ඉදිරීම නමැති අනුයොගයෙහි නැවත නැවත යෙදුනෙම් කෙසමස‍සුලොවක වෙමි. අසුන් පිලිකෙවු කෙළෙමි. උඩුකුරු ව සිටින්නෙම් ද වෙමි. උළුලුයෙන් හිඳීම නමැති උත‍කුටික වීර්‍ය්‍යයෙන් යුක්ත වූයෙම් උත්කුටුකයෙන් සිටින්නෙම් ද වෙමි. කටුඇතිරියෙහි සක්මන් ආදිය කරන්නෙම් කටු සවි කළ වැතිරෙණ පුවරුවෙහි ශයනය කරමි. සවස තුන්වැනි කොට දියට බැසීම නමැති අනුයොගයෙහි යෙදුනෙම් වාසය කරමි.

මෙසේ මෙබඳු නන්වැදෑරුම් සිරුර තැවීමෙහි පෙළීමෙහි හාත්පසින් තැවීමෙහි එක්වන් යෙදුනෙම් වෙසෙමි. ශාරිපුත්‍රය, මේ මාගේ තපස්බව වෙයි.

44. ශාරිපුත්‍රය, එහි මේ මාගේ රළුබව වෙයි: නොයෙක් අවුරුදු ගණන් මුළුල්ලෙහි හටගත් රජස්දැලි සිරුරෙහි රැස් වූයේ හටගත් පැළිවල ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, නොයෙක් අවුරුදු ගණන් වයසැති හටගත් පතුරු ඇති මහත් වූ තිඹිරි කණුවෙක් යම්සේ වේ ද, ශාරිපුත්‍රය, එපරිද්දෙන්ම මාගේ සිරුරෙහි නොයෙක් අවුරුදු ගණන් වයසැති රජස්දැලි රැස් වූයේ හටගත් පැළිවල ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, එ මට මෙබඳු අදහසෙක් නො වෙයි: “මම මේ රජස් දැලි අතින් පිරිමදින්නෙම් නම් හෝ යෙහෙකැ” යි මෙසේත් මට අදහස් නො වෙයි. ශාරිපුත්‍රය, මේ මාගේ රළු පිළිවෙත වෙයි.

45. ශාරිපුත්‍රය, එහි මේ මාගේ පවට පිළිකුල් බව වෙයි: ශාරිපුත්‍රය, කුඩාපණුවන් (නොමරම්වා යි) ඒ මම සිහි ඇත්තෙම් ම ඉදිරියට යමි. සිහි ඇත්තෙම් ම පෙරළා එමි. “මේ විෂමස්ථාන ගත වූ කුඩාදිය බිඳුය යි කියන ප්‍රාණීන් විනාශයට නො පමුණුවම්වා” යි දියබිඳුවෙහි පවා දයාව එළඹ සිටියා වේ. ශාරිපුත්‍රය, මේ මාගේ පවට පිළිකුල් කරණ බව වෙයි.

46. ශාරිපුත්‍රය, එහි මේ මාගේ ප්‍රකෘෂ්ටවිවෙකය වෙයි: ශාරිපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වාසය කරමි. යම කලෙක ගොපාලයකු පසුපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු හෝ දකිම් ද, එකල මම (සිටි) වනයෙන් (අන්) වනයකට (සිටි) ලැහැබින් (අන්) ලැහැබකට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යමි. කවර හෙයින යත්: ඔහු මා නො දකිත්වා, මම ද ඔවුන් නො දකිම්වා යි යන අදහසිනි. ශාරිපුත්‍රය, වනමුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යම්සේ යේ ද, ශාරිපුත්‍රය, මමත් එපරිද්දෙන් ම යම් කලෙක ගොපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු දැකීම ම් ද, එකල මම වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි තැනින් මිටි තැනට උස් තැනින් උස් තැනට යමි. එය කවර හෙයින? යත්: ඔහු මා නො දකිත්වා, මමත් ඔවුන් නො දකිම්වා යන අදහසිනි. ශාරිපුත්‍රය, මේ මාගේ ප්‍රකෘෂ්ටවිවෙකය වෙයි.

47. [ශාරිපුත්‍රය, එහි මේ මාගේ මහාවිකට භොජනය වෙයි.] ශාරිපුත්‍රය, ඒ මම පිටත්ව ගිය ගෙරින් ඇති පහව ගිය ගොපල්ලන් ඇති යම් ඒ ගොවුදු වේ ද, එහි දෙදණ දෙවැළමිට බිම තබුවෙක් ව එළඹ දෙනුන් වෙතට කිරි බීමට පැමිණෙන වසු පැටවුන්ගේ යම් ඒ ගොම වේ ද, ඒ ගොම අනුභව කරමි. ශාරිපුත්‍රය, යම්තාක් මාගේ ස්වකීය මලමුත්‍ර හීන නො වූයේ ද, ඒ තාක් ස්වකීය මලමුත්‍ර අනුභව කරමි. ශාරිපුත්‍රය, මේ මාගේ මහාවිකට භොජනය වෙයි.

48. ශාරිපුත්‍රය, ඒ මම එක්තරා බිහිසුණු වනලැහැබකට වැද වාසය කරමි. ශාරිපුත්‍රය, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ (මතු පැවසෙන) භීෂණ භාවය වෙයි: යම් කිසි අවීතරාගියෙක් ඒ වනලැහැබට පිවිසේ නම්, බොහෝ සෙයින් ලොමුදහ ගනී. ශාරිපුත්‍රය, ඒ මම නවම් මැදින් දෙමස අතර අටදවසෙහි වූ හිම වැටෙන කාලයෙහි හේමන්ත ඍතුවට අයත් සීත වූ යම් ඒ රාත්‍රීහු වෙත් ද, එබඳු රාත්‍රීන්හි මුළු රැයෙහි එළිමහනෙහි වෙසෙමි. දවල් වනලැහැබෙහි වෙසෙමි. ග්‍රීෂ්ම සමයෙහි පැසුළු මාසයෙහි දවල් එළිමහනෙහි වෙසෙමි. රාත්‍රියෙහි වනලැහැබෙහි වෙසෙමි. ශාරිපුත්‍රය, තව ද මට පෙර නොඇසූ විරූ මතු මතු ආශ්චර්‍ය්‍යය උපදවන මේ ගාථාව වැටහිණි:

 “ශුද්ධිය සෙවීමෙහි යෙදුණු මුනි වූ මම ග්‍රීෂ්මයෙන් අතිශයින් තැවුණෙම් හිමයෙන් ඉතා තෙත් වුයෙම් බිහිසුණු වූ වනයෙහි එකලා වුයෙම් නග්න වුයෙම් ද ගින්න වෙත නො එළඹීමි.”

49. ශාරිපුත්‍රය, ඒ මම සොහොනෙහි මිනීඇට කන්වයින් කොට ගෙන ශයනය කරමි. ශාරිපුත්‍රය, එකල මා වෙතට ගොපලුදරුවෝ පැමිණ (මා මත්තෙහි) කෙළ ද ඔවිත්. මුත්‍ර ද කරත්. පස් ද විසුරු වත්. කන්සිදුරුවල ඉරටු ද ගසත්. ශාරිපුත්‍රය, මම ඔවුන් කෙරෙහි පවිටු සිතක් ඉපදවූයෙමැ යි නො දනිමි. ශාරිපුත්‍රය, මෙය මාගේ උපේක්ෂා විහරණය වේ.

50. ශාරිපුත්‍රය, ආහාරයෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියන්නා වූ මෙසේ ලබ්ධි ඇත්තා වූ ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. ඔහු ඩෙබරවලින් යැපෙන්නෙමු යි මෙසේ කියත්. ඔහු ඩෙබරපල ද කත්. ඩෙබරසුණු ද කත්. ඩෙබර මැඩගත් දිය ද බොත්. නන් වැදෑරුම් වූ ඩෙබරින් කළ ආහාර ද අනුභව කරත්. තවද, ශාරිපුත්‍රය, මම එකම ඩෙබරපලයක්‌ ආහාර වශයෙන් ගත්තෙක්මි යි දනිම් ම ය. ශාරිපුත්‍රය, ඒකාන්තයෙන් එසමයෙහි ඩෙබරපල මහත් වූයේ දෝ යි, ඔබට මෙබඳු අදහසෙක් විය හැකි ය. ශාරිපුත්‍රය, මෙය එසේ නො දතයුතු යි. එකල්හි ද ඩෙබරපල මෙකල යම් පමණ මහත් නම් එපමණ ම වූයේ ය. ශාරිපුත්‍රය, එකම ඩෙබරපලයක්‌ ආහාර කොට ගන්නා වූ ඒ මාගේ කය අතිශය කෘශභාවයට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළු වැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්පාහාරයෙන් මාගේ අඞ්ගප්‍රත්‍යඞ්ගයෝ ද එ බඳු ම වෙත්. ඔටුපිය යම් සේ වේ ද, මාගේ නිසීදනමාංසය ද් ඒ අල්පාහාර භාවයෙන් එ බඳු ම වෙයි. වට්ටනාවළිය (කුරුඳු වැළය) යම් සේ වේ ද, මාගේ වසට (=කොඳුඇටය) ඒ අල්පාහාර භාව‍යෙන් එබඳු`උස් පහත් වූයේ වෙයි. දිරූ ශාලාවෙක ගොනැස්හු යම්සේ උඩුයටි ව නමුනාහු වෙත් ද, එපරිද්දෙන් මාගේ ඉළ ඇට ඒ නිරාහාරභාවයෙන් ම උඩුයටි ව නැමී ගියාහු වෙත්. ගැඹුරු ළිඳෙක උදක තාරකාවෝ ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු යම් සේ දක්නා ලැබෙත් ද, එපරිද්දෙන් ම මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ඒ අල්පාහාරභාව‍යෙන් ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. තිත්ත ලබුවක් අමු කල සිඳිනා ලද්දේ අවු සුළඟින් පැළී ගියේ මැලවී ගියේ යම් සේ වේ ද, එපරිද්දෙන් ම මාගේ මේ හිසෙහි සිවිය ඒ අල්පාහාරභාව‍යෙන් ම පැළී ගියේ මැලවී ගියේ වෙයි.

51. ශාරිපුත්‍රය, ඒ මම උදරසිවිය පිරිමදින්නෙමි යි පිටකටුව ම අල්ලා ගනිමි. පිටකටුව පිරිමදින්නෙමි යි උදරසිවිය ම අල්ලා ගනිමි. ශාරිපුත්‍රය, ඒ අල්පාහාරභාව‍යෙන් ම උදර සිවිය පිටකටුව හා ඇලුණේ වේ. ශාරිපුත්‍රය, මම මල හෝ මූ හෝ පහ කරන්නෙමි යි එහි ම යටිහුරු ව වැටෙමි. ඒ අල්පාහාරභාව‍යෙනි. ශාරිපුත්‍රය, මම ඒ සිරුර අස්වසන්නෙම් සිරුරුඅවයව අතින් පිරිමදිමි. ශාරිපුත්‍රය, අතින් අවයව පිරිමදින ඒ මාගේ සිරුරෙන් දිරූ මුල් ඇති ලොමයෝ ගිලිහී වැටෙත්. ඒ අල‍පාහාර භාව‍යෙනි

52. ශාරිපුත්‍රය, ‘ආහාරයෙන් ශුද්ධිය වෙති’යි මෙසේ වාද ඇති මෙබඳු ලබ්ධි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. ඔහු ‘මුඟුවෙන් යැපෙමු’ යි ... ‘තලයෙන් යැපෙමු’ යි ... ‘සහලෙන් යැපෙමු’ යි මෙසේ කීහ. ඔහු සහල් ද කත්. සහල්සුණු ද කත්. හාල්පානුදු බොත්. සහලින් කළ නන්වැදෑරුම් දැය ද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම එකම සහල්ඇටයක් ආහාර කොට ගත්තේමි යි දනිමි. ශාරිපුත්‍රය, තොපට ‘ඒ කාලයෙහි සහල්ඇටය මහත් විය හැකි ය’ යි මෙබඳු අදහසෙක් විය හැකිය. ශාරිපුත්‍රය, එය එසේ නො දතයුතු යි. මෙකල යම් සේ ද එකල්හි දු සහල්ඇටය මෙපමණ ම විය.

 

53. ශාරිපුත්‍රය, සහල්ඇටයක් ආහාර කොට ගන්නා වූ ඒ මාගේ ශරීරය අතිශය කෘශභාවයට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළු වැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ශරීරාවයවයෝ එසේ වෙත්. ඔටුපිය යම්සේ වේ නම් ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ආනිසදය - හිද්ම ද එසේ වෙයි. ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ වසටද වට්ටනාවළිය (වටඇටවැළ) යම්සේ නම් එසේ උස්පහත් වුයේ වෙයි. දිරූ ශාලාවක ගොනැස්හු යම්සේ උඩුයටි ව නැමුණාහු වෙත් ද, ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ඉළඇට ද එසේ උඩුයටිව නැමුණාහු වෙත්. ගැඹුරු ළිඳක උදකතාරකාවෝ ගැඹුරට ගියාහු ඇතුලට පිවිසියාහු යම්සේ පැනෙත් ද, එසේ මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ඒ අල්පාහාරභාවයෙන් ම ගැඹුරට ගියාහු ඇතුලට පිවිසියාහු දක්නා ලැබෙත්. යම්සේ තිත්ත ලබුවක් අමුවෙන් සිඳින ලද්දේ අවුසුළඟින් හැකිළී ගියේ මැලවී ගියේ වේ ද, එසේ ඒ අල්පාහාරභාවයෙන් මාගේ හිසෙහි සිවිය හැකිළී ගියේ මැලවී ගියේ වෙයි. ශාරිපුත්‍රය, මම උදර සිවිය පිරිමදින්නෙමියි පිටකටුව ම පිරිමැද ගනිමි. පිටකටුව පිරිමදිමියි උදර සිවිය ම පිරිමැද ගනිමි. ඒ අල්පාහාරභාවයෙන් උදර සිවිය පිටකටුව හා ඇලුණේ වේ. ශාරිපුත්‍රය, මම මල හෝ මූ හෝ පහ කරන්නෙමි යි ඒ අල්පාහාරභාවයෙන් එහි ම යටි හුරු ව වැටෙමි. ශාරිපුත්‍රය, මම එම ශරීරය අස් වසන්නෙම් අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරිපුත්‍රය, ඒ අතින් ශරීරාවයව පිරිමදිමන මාගේ සිරුරෙන් ඒ අල්පාහාරභාවයෙන් ම දිරූ මුල් ඇති ලොමයෝ ගිළිහී වැටෙත්.

54. ශාරිපුත්‍රය, මම ඒ ඉරියව්වෙන් ද ඒ පිළිවෙතින් ද ඒ දුෂ්කර ක්‍රියාවෙන් ද මනුෂ්‍යධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නො ලදිමි. ඒ කවර හෙයින යත්: යම් මේ ආර්‍ය්‍ය (මාර්‍ග) ප්‍රඥාවක් (දැන් ම විසින්) ලබන ලද ද, ආර්‍ය්‍ය වූ නීයානික වූ, ඒ පිළිපදනහුට මනා කොට දුඃඛක්‍ෂය කිරීම පිණිස පමුණුවන්නා වූ, මේ මාර්‍ග ප්‍රඥාව (එකල මා විසින්) නො ලබන ලදී. එහෙයිනි.

55. ශාරිපුත්‍රය, සංසාරයෙන් (භවසඞ්ක්‍රමණයෙන්) ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො සැරිසැරූ මේ භවයෙක් සුලභ නොවේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුදධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම්, යලි මෙලොවට නො එන්නෙමි.

56. ශාරිපුත්‍රය, උත්පත්තියෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නූපන්විරූ මේ උත්පත්තියක් සුලභ නොවේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම්, යලි මේ ලෝකයට නො පැමිණෙන්නෙමි.

57. ශාරිපුත්‍රය, (බොහෝ භවයන්හි) විසීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො විසූ විරූ ආවාසයෙක් සුලභරූප නො වේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව් ලොවෙහි විසුයෙම් නම්, යලි මෙලොවට නො එන්නෙමි.

58. ශාරිපුත්‍රය, යාගයෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො යැපු විරූ මේ යාගයෙක් සුලභරූප නොවේ. එ ද අභිෂික්ත ක්‍ෂත්‍රියරාජ වූ ම හෝ මහාසාරබ්‍රාහ්මණ වූ ම හෝ මා විසින් කරන ලදී.

59. ශාරිපුත්‍රය, ගිනි පීදීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො පිදූ විරූ ගින්නක් සුලභරූප නොවේ. එ ද අභිෂික්ත ක්‍ෂත්‍රියරාජ වූ ම හෝ මහාසාරබ්‍රාහ්මණ වූ ම හෝ මා විසින් කරන ලදී.

60. ශාරිපුත්‍රය, “යම් තාක් කල් මේ පින්වත් පුරුෂ තෙමේ තරුණ වූයේ මනා කළුකෙස් ඇත්තේ ප්‍රථම වයස වූ යොවුන් බැවින් යුක්ත වූයේ දහර වූයේ වේ ද, එ තාක් කල් උතුම් වූ ප්‍රඥාව් පිළිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ වෙයි. යම් තැනෙක පටන් මේ පින්වත් පුරුෂ තෙමේ දිරුණේ වෘද්ධ වූයේ මහලු වූයේ බොහෝ කල් ඉක්ම වූයේ පැසුළුවයසට පැමිණියේ උත්පත්තියෙන් අසූවයස් ඇත්තේ හෝ අනූවයස් ඇත්තේ හෝ සියවස් ඇත්තේ හෝ වේ ද, එකල්හි ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් පිරිහේ” යැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ කාරණය මෙසේ නො දත යුතු යි. ශාරිපුත්‍රය, මම දැන් ජරාවෙන් ජීර්ණයෙමි. වැඩී සිටියෙමි. මහලු වෙමි. බොහෝකල් ඉක්ම වූයෙමි. පැසුළුවයසට පැමිණියෙමි. මාහට දැන් අසූ හැවිරිදි වියෙක් පවතී.

61. ශාරිපුත්‍රය, මාගේ මේ ශාසනයෙහි සියක් අවුරුදු ආයු ඇති සියක් අවුරුදු ජීවත් වන, (පද සියදහසකුදු එකවර ඇසූ පමණින් ඉගෙනීමට සමර්‍ත්‍ථ) උතුම් ඥාණ ගතියෙන් ද, (උගත් දෙය දරා පවත්වා දැරීමට සමර්‍ත්‍ථ) සිහියෙන් ද, (දැරූ දෙය වණ පොත් කොට දැරීමට සමර්‍ත්‍ථ) ධෘතියෙන් ද, උතුම් ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් ද යුක්ත වූ ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත් ද, ශාරිපුත්‍රය, උගත් සිප් ඇති, කෘතහස්ත වූ, (රාජකුලාදියෙහි) දැක්වූ ශිල්ප ඇති දැඩි දුන්නක් ගෙන සිටි දුනුවායෙක් සැහැල්ලු ඊයකින් නිදුකින් ම තල්සෙය සරස යම්සේ ඉක්මවන්නේ ද, මෙසේ අධිකමාත්‍ර ස්මෘති ඇත්තාවූ මෙසේ අධිකමාත්‍ර ගති ඇත්තා වූ මෙසේ අධිකමාත්‍ර ධෘති ඇත්තා වූ මෙසේ උතුම් ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූ ඒ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන්ගෙන් එකිනෙක ගෙන මා අතින් ප්‍රශ්න විචාරන්නාහු නම් විචාළ විචාළ ප්‍රශ්නය මම ඔවුන්ට‍ විසඳන්නෙමි. මා විසින් විසඳන ලද්ද විසඳූ සේ ඔහු දරන්නාහුය. මත්තෙහි දෙවෙනි ප්‍රශ්නයක් මා නොපිළිවිස්නාහුය. කන බොන රස විඳින කාලය තබා මල මූ පහ කරන කාලය තබා නිදීම් විඩා හැරීම් දුරු කරන කාලය තබා (සෙසු හැම කල්හි ඔහු ප්‍රශ්න විචාරත්ද), ශාරිපුත්‍රය, තථාගතයන්ගේ ධර්‍මදේශනාව පරික්‍ෂීණ නො වේමය. තථාගතයන්ගේ පාළිය පිලිබඳ පද හා අක්‍ෂර පරික්‍ෂීණ නො වේමය. තථාගතයන්ගේ ප්‍රශ්න විසඳීම පරික්‍ෂීණ නො වේමය. එසේ වත්ම, අවුරුදු සීයක් ආයු ඇති අවුරුදු සීයක් ජීවත් වනසුලු ඒ මාගේ ශ්‍රාවකයෝ සතර දෙන අවුරුදු සීය ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය. ශාරිපුත්‍රය, ඉදින් මා ඇඳක තබා ගෙන පරිහරණය කරන්නාහු නමුදු තථාගතයන්ගේ ප්‍රඥාව පිලිබඳ ව්‍යක්තභාවයෙහි වෙනසක් නො ම ඇත.

62. ශාරිපුත්‍රය, මනා කොට (සැබෑ) කියන්නෙක් “නොමුළා වන ස්වභාව ඇති සත්‍වයෙක් ලෝකයෙහි බො‍හෝ දෙනාට හිත පිණිස බො‍හෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, සුව පිණිස උපන්නේය,” යි යමකු උදෙසා කියන්නේ නම්, මනා කොට කියන හේ “නොමුළා වන ස්වභාව ඇති සත්‍වයෙක් ලෝකයෙහි බො‍හෝ දෙනාට වැඩ පිණිස, බො‍හෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස උපන” යන වචනය මා උදෙසා ම කියන්නේ ය.

63. එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගසමාල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසැ සිටියේ වෙයි. එකල්හි නාගසමාල ආයුෂ්මත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය. වහන්ස ආශ‍චර්‍ය්‍යය, වහන්ස අද්භූතය. තව ද වහන්ස, මේ ධර්‍මක්‍රමය අසා මාගේ ලොමයෝ දහ ගත්හ. වහන්ස මේ කිනම් ධර්‍මක්‍රමයෙක් ද? නාගසමාල, එසේ නම තෙපි මේ ධර්‍මපර්යාය ලොමහංසනපරියාය යි කියා ම දරව යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් නාගසමාල තෙමේ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තේය.

දෙවැනි වූ මහා සීහනාද සූත්‍රය නිමියේ ය