වනපත්ථ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

2

සීහනාද වර්ගය

7

වනපත්ථ සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි, යි භික්‍ෂූන් ඇමැතූසේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

2. මහණෙනි, තොපට වනපත් දෙසුමක් දෙසමි. එය අසව, මොනවට මෙනෙහි කරව, කියමි යි වදාළ සේක. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ එක්තරා වනපත් සෙනසුනක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට පළමු නො එළඹ සිටි සිහිය වනපෙත් ඇසුරු කළ ද නො එළඹ සිටියි. පළමු එකඟ නො වූ ද සිත වනපෙත් ඇසුරු කළ ද එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට පළමු නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරීක්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරීක්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ ඒ වනපතින් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.

4. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො ද එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතුයි. “මම වනාහි මේ වනපත් ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට පළමු නො එළඹ සිටියා වූ සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත ද එකඟ නො වෙයි. අපරීක්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකන් උපදිත්. මම වනාහි සිවුරු හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හෙතුකොට ගෙන... සෙනසුන් හෙතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ වනපත ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙනබව නුවණින්) දැන ඒ වනපතින් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.

5. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන ඒ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වනාහි සිවුරු හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හෙතු කොට ගෙන... සෙනසුන් හෙතු කොට ගෙන... ගිලන්පස බෙහෙත් පිරිකර හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදුවුවත්, මේ වනපත ඇසිරි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද, අනුත්තර අර්හත්ත්‍වයට පැමිණෙ මි.” මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නිපැදෙනසෙ නුවණින්) දැන ඒ වනපත්හි විසිය යුතු යි. බැහැර නො යායුතු යි.

6. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඩුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්” යැයි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිමියෙනුදු ඒ වනපත්හි විසිය යුතු යි. බැහැර නො යායුතු යි.

7. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා ගමක් ඇසිරි කොට වෙසෙයි... එක්තරා නියම්ගමක් ඇසිරි කොට වෙසෙයි... එක්තරා නුවරක් ඇසිරි කොට වෙසෙයි... එක්තරා ජනවියක් ඇසිරි කොට වෙසෙයි... *

8. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. එක්තරා පුඟුලකු ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් ද, ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන මා හට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු දුකින් උපදිත්” යැයි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ නො පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල නො ලුහුබැදිය යුත්තේ ය.

9. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලක්හු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණන් සැලකිය යුතු යි:

 “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් සැපයෙත්. මම වනාහි සිවුරු හෙතු කොට ගෙන ගිහිගෙන් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඩුවා හෙතු කොට ගෙන... සෙනසුන් හෙතු කොට ගෙන... ගිලන්පස බෙහෙත් පිරිකර හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්හත්ත්‍වයට නො පැමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙන බව නුවණින්) දැන පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල තෙමේ නො නුහුබැඳිය යුත්තේ ය.

9. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට පැමිණේ. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන ඒ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වනාහි සිවුරු හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය පිඬුවා හෙතු කොට ගෙන පැවිද්දට නො පැමිණියෙම් ම ය... සෙනසුන් හෙතු කොට ගෙන පැවිද්දට නො පැමිණියෙම් ම ය... ගිලන්පස බෙහෙත් පිරිකර හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්හත්ත්‍වයට පැමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් මහණුවන් නිපැදෙන බව (නුවණින් දැන) ඒ පුද්ගල තෙමේ නුහුබැඳිය යුත්තේ යි. බැහැර නොයා යුතු යි.

10. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වු ද අනුත්තර අර්හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු ය. “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිම් කොට ඒ පුද්ගල නුහුබැඳිය යුත්තේ යි. බැහැර කරනු ලබන්නහු විසිනුදු නො යායුතු යි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව මැනැවැ යි සතුටින් පිළිගත්හ.

සත්වැනි වූ වනපත්‍ථ සූත්‍රය නි‍මියේ ය.