දෙවන හාලිද්‌දිකානි සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

තෘතීය භාගය 

ඛන්ධක වර්ගය 

1. ඛන්ධ සංයුත්‌තය

1. මූලපණ්ණාසකය

1. නකුලපිතු වර්ගය

1.1.1.4

දෙවන හාලිද්‌දිකානි සූත්‍රය

4. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පර්වතයෙහි වැඩ වෙසෙති. එකල හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ ‍ය.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්ෂය සඬ්ඛ්‍යාත නිවනෙහි (එ අරමුණු කොට ඇති ඵලවිමුත්තියෙන්) මිදුණාහු වෙද්ද, ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්ෂෙම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත අවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි මෙය වදාරන ලද්දේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ භාෂිතයාගේ - දේශනායෙහි අර්ථය විස්තර විසින් කෙසේ දතයුතු දැ යි.

ගැහැවිය, රූපස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයෙහි අධිට්ඨාන අභිනිවෙස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ. ගැහැවිය, වෙදනාස්කන්ධයෙහි ... ගැහැවිය, සංඥාස්කන්ධයෙහි ... ගැහැවිය, සංස්කාරස්කන්ධයෙහි … ගැහැවිය, විඥානස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිට්ඨාන අභිනිවෙස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ.

ගැහැවිය, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්ෂය සඬ්ඛ්‍යාත නිවන අරමුණු කොට මිදුණාහු නම් ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්ෂෙම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත පර්යවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි ඒ යමක් වදාළ සේක් නම් ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනායෙහි අර්ථය විස්තර විසින් මෙසේ දත යුතු යි.

 

සතර වැනි වූ දෙවන හාලිද්‌දිකානි සූත්‍රය නිමියේ ය.