හාලිද්‌දිකානි සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

තෘතීය භාගය 

ඛන්ධක වර්ගය 

1. ඛන්ධ සංයුත්‌තය

1. මූලපණ්ණාසකය

1. නකුලපිතු වර්ගය

1.1.1.3

හාලිද්‌දිකානි සූත්‍රය

3. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්ගයට අයත් මාගන්දිය ප්‍රශ්නයෙහි දී මෙය වදාළ සේකැ:

“විඤ්ඤාණගොචර සංඛ්‍යාත ඔකය හැරපියා අනිකෙතසාරි (රූපාදි නිමිත්තෙහි නො හැසිරෙන්නා) වූ ගම්භි සංසර්ගයන් නො කරන්න වූ කාමයන්ගෙන් වෙන් වූ සසරවට පෙරටු නො කරන්නා වූ ක්ෂීණාස්‍රව මුනි තෙමේ ජනයා සමග විරුද්ධකථා නො කරන්නේ යැ” යි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතු දැ?යි.

ගැහැවිය, රූපස්කන්ධය කර්මවිඥානයාගේ ප්‍රත්‍යය සංඛ්‍යාත ඕකය යි. රූපස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ඕකසාරි (ගෘහාලයයෙහි හැසිරෙන්නා) ය යි කියනු ලැබේ. ගැහැවිය, වේදනාස්කන්ධය විඥානයගේ ගෘහය යි. වේදනාස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංඥාස්කන්ධය, විඥානයාගේ ගෘහය යි. සංඥාස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංස්කාරස්කන්ධය විඥානයගේ ගෘහ යයි. සංස්කාරස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, මෙසේ ඕකසාරී වේ.

ගැහැවිය, කෙසේ නම් අනොකාසාරී වේ ද? ගැහැවිය, රූපස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් (තෘෂ්ණා දෘෂ්ටි) උපය කෙනෙක්, (කාමුපාදානාදී සිවු) උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවෙස අනුසය වූවාහු වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තල් ගසක් මෙන් කරන ලදහ. අත්‍යන්තයෙන් අභාවයට පමුණුවන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී (ගෙහි නො හැසිරෙනු) යයි කියනු ලැබෙත්. ගැහැවිය, වේදනාස්කන්ධයෙහි … ගැහැවිය, සංඥාස්කන්ධයෙහි … ගැහැවිය, සංස්කාරස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවෙස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. හිස් සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය, විඥානස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවෙස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී ය යි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනොකසාරී වේ.

ගැහැවිය, කෙසේ නම් නිකේතසාරී (නිවෙස්හි හැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවෙස්හි උපන් කෙලෙසුන්ගේ විසාර පැතිරීම හා විනිබන්ධ බැඳීම හේතුකොටගෙන නිකේතසාරී යයිකියනු ලැබේ. ශබ්දාලම්බන … ගන්ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්මාලම්බන නැමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ පැතිරීමෙන් හා බැඳීමෙන් නිකේතසාරී යයි කියනු ලැබේ. ගැහැවිය මෙසේ නිකේතසාරී වේ.

ගැහැවි, කෙසේ නම් අනිකේතසාරී (නිවෙස්හි නොහැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවාසයෙහි (හටගත් කෙලෙසුන්ගේ) විසාරවිනිබන්ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ශබ්දාලම්බන … ගන්ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්මාලම්බන නමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ විසාරවිනිබන්ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල්කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනිකේතසාරී වේ.

ගැහැවිය, කෙසේනම් ගම්හි හටගත් සන්ථව ඇත්තේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ගිහියන් හා සංඍෂ්ට (මුසු) වූයේ සමඟ සතුටු වන්නේ සමග ශෝක කරන්නේ (දායකයන්) සුඛිත කල්හි සුඛිත වන්නේ දුඃඛිත කල්හි දුඃඛිත වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇතිකල්හි තමා උපයෝගයට (එහි යෙදීමට) පැමිණෙයි. ගැහැවිය, මෙසේ ගම්හි හටගත් සන්ථව ඇත්තේ වේ.

ගැහැවිය, කෙසේ නම් ඟම්හි හටගත් සන්ථව නැත්තේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ගිහියන් හා මුසු නො වූයේ සමග සතුටු නො වන්නේ සමග ශෝක නො කරන්නේ (දායකයන්) සුඛිත කල්හි සුඛිත නො වන්නේ දුඃඛිත කල්හි දුඃඛිත නො වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇතිකල්හි තමා යෙදීමට නො පැමිණෙයි. ගැහැවි, මෙසේ ගම්හි හටගත් සංසර්ග නැත්තේ වේ.

ගැහැවි, කෙසේ නම් කාමයන්ගෙන් නො සිස් වූයේ වේ ද: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් වස්තු කාමයන්හි නො පහ වූ රාග ඇත්තේ නො පහ වූ ඡන්ද ඇත්තේ නො පහ වූ ප්‍රේම ඇත්තේ නො පහ වූ පවස් ඇත්තේ නො පහ වූ පරිදාහ ඇත්තේ නො පහවූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ගැහැවි, මෙසේ ක්ලේශකාමයන්ගෙන් නො සිස් වුයේ වේ.

ගැහැවි, කෙසේ නම් කාමයන්ගෙන් සිස් වුයේ වේ ද: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්හි පහ වූ රාග ඇත්තේ පහ වූ ඡන්ද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ පරිදාහ ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ගැහැවි, මෙසේ කාමයන්ගෙන් සිස් වුයේ වේ.

ගැහැවිය, කෙසේ නම් සසරවට පෙරටු කරන්නේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණක්හ‍ට “මතුකල මෙබඳු රූ ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇත්තෙම් වෙමි”, මෙසේ අදහස් වෙයි. ගැහැවිය, මෙසේ සසරවට පෙරටු කරන්නේ වේ.

ගැහැවි, කෙසේ නම් සසරවට පෙරටු නො කරන්නේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණක්හට “මතුකල මෙබඳු රූ ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇත්තෙම් වෙමි” යි, මෙසේ අදහස් නො වෙයි. ගැහැවිය, මෙසේ සසරවට පෙරටු නො කරන්නේ වේ.

ගැහැවිය, කෙසේ නම් ජනයා සමඟ විග්‍රාහික කථා කරන්නේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් කෙනෙක් මෙබඳු කථා කරන්නේ වෙයි: “තෝ මේ ශාසනය නො දනිහි, මම මේ ශාසනය දනිමි. කිම, තෝ මේ ශාසනය දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු වැ කිය යුත්ත පසු වැ කීයෙහි, පසු වැ කිය යුත්ත පළමු වැ කීයෙහි. මාගේ වචනය සිලිටි යැ. තාගේ වචනය නො සිලිටි යැ. තා විසින් (කලක් ම) පුරුදු කරන ලද වාදය (මාගේ වාදයෙන්) පෙරැළී ගියේ යැ. තට වාද නගන ලදි. වාදයෙන් මිදීම පිණිස (හැසිරෙව. ක්‍රියා කර ව.) නිග්‍රහ කරන ලද වෙහි. ඉදින් පොහොසත්හි නම් මුදව (මෙහි දී ම මිදෙව.)” යි. ගැහැවිය, මෙසේ ජනයා සමඟ විග්‍රාහික කථා කරන්නේ වේ.

ගැහැවිය, කෙසේ නම් ජනයා සමඟ විග්‍රාහික කථා නො කරන්නේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු කථා නො කරන්නේ වෙයි: “තෝ මේ ශාසනය නො දනිහි, මම මේ ශාසනය දනිමි. කිම, තෝ මේ ශාසනය දන්නෙහි ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු වැ කිය යුත්ත පසු වැ කීයෙහි, පසු වැ කිය යුත්ත පළමු වැ කීයෙහි. මාගේ වචනය සිලිටි යැ, තාගේ වචනය නො සිලිටි යැ. තාගේ පුරුදු වචනය පෙරළී ගියේ යැ, තට වාද නගන ලදි. වාදයෙන් මිදීමට ක්‍රියා කරව. නිග්‍රහ කරන ලද්දෙහි. ඉදින් පොහොනෙහි නම් මුදව” යි. ගැහැවිය, මෙසේ ජනයා සමඟ විග්‍රාහික කථා නො කරන්නේ වේ .

ගැහැවි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් - අෂ්ටකවර්ගයට අයත් මාගන්දිය ප්‍රශ්නයෙහි -

“ගෘහය හැර ගෙහි නො හැසිරෙනසුලු ගම්හි සසඟ නො කරන කාමයන්ගෙන් හිස් වූ සසරවට පෙරටු නො කරන මුනි තෙමේ ජනයා සමග විග්‍රාහික කථා නො කරන්නේ ය” යි ඒ යමක් වදාරන ලද නම් -

ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්ථය විස්තර විසින් මෙසේ දත යුත්තේ යි.

 

            තෙවැනි වූ හාලිද්‌දිකානි සූත්‍රය නිමියේ ය.