ගඞ්‌ගා සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

     3. අනමතග්ග සංයුත්‌තය

1. තිණකට්ඨ වර්ගය

3.1.8

ගඞ්‌ගා සූත්‍රය

 

  

271. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේ ය ... එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයෙනි, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්මුනාහු දැ? යි.

බමුණ, බොහෝ කල්පයෝ ගත වූහ. ඉක්මූනාහු ය. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ ගිණීමට සූකර නො වෙති. භවත් ගෞතමයෙනි, උපමාවක් කරන්නට හැකි දැ යි? බමුණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. බමුණ, යම් සේ මේ ගඞ්ගා නදිය යම් තැනෙකින් හට ගණී ද, යම් තැනෙක මහසමුදුරට පිවිසේ ද, මේ අතර යම් වැල්ලෙක් වේ ද, එය මෙතෙක් වැලි ය යි හෝ මෙතෙක් වැලි සියකැ යි හෝ මෙතෙක් වැලි දහසැයි හෝ මෙතක් වැලි සියදහසැයි හෝ ගිණීමට සූකර නො වේ.

බමුණ, එයට වැඩි ඉතා බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්ම ගියහ. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතක් කප් සියකැයි හෝ මෙතක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙති. ඒ කවර හෙයින යත්: බමුණ, මෙසසර අනාදිමත්ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.

මෙසේ වදාළ කල්හි ඒ බමුණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: "භවත් ගෞතමයෙනි, ඉතා මැනවි, භවත් ගෞතමයෙනි, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා" යි.

 

අටවැනි වූ ගඞ්‌ගා සූත්‍රය නිමියේ ය.