තිණකට්‌ඨ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

     3. අනමතග්ග සංයුත්‌තය

1. තිණකට්ඨ වර්ගය

3.1.1

තිණකට්‌ඨ සූත්‍රය

  

264. සැවැත්නුවර -

මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි භික්ෂූන් ඇමතු සේක. ඒ භික්ෂූහු 'වහන්සැ' යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, මේ සසර අනුව ගොසිනුදු නොපිරිසුන් අග ඇති. එහෙයින් අවිද්‍යානීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූර්වකෝටිය (පූර්වාන්තය) නො පැණේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව යම් තාක් තණ දඬු අතු කොළ වේ නම්, එය සිඳ එක් රැස් කරන්නේ ද, එක් රැස් කොට සතරගුල් සතරගුල් කඩ කොට "මෝ මාගේ මව ය, මෝ මාගේ ඒ මවගේ මව ය" යි තබන්නේද, මහණෙනි, ඒ පුරුෂයාගේ මවගේ මවුහු නො පිරිසිඳුනාහු ම වන්නාහ. වැලි, මේ දඹදිව තණ දඬු අතු කොළ ක්ෂය වීමට අවසන් වීමට යන්නේය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සසර අනවරාග්‍ර (අපරාන්ත රහිත) ය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූර්වාන්තය නො පෙණේ.

මහණෙනි, මෙසේ තොප විසින් දිඟුකලක් දුක්විඳින ලදී. තියුණු දුක් විඳින ලදී, (ඥාතිව්‍යසනාදි) ව්‍යසන විඳින ලදී. සොහොන නොහොත් පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට නිසි ම ය, නො ඇලන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.

 

පළමුවැනි වූ තිණකට්‌ඨ  සූත්‍රය නිමියේ ය.