තිංසමත්‌ත සූත්‍රය

 

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

     3. අනමතග්ග සංයුත්‌තය

2. දුග්ගත වර්ගය

3.2.3

තිංසමත්‌ත සූත්‍රය

 

    

276 රජගහනුවර -

එකල්හි සියල්ලෝ ම ආරණ්‍යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ තෙචීවරික වූ, සියල්ලෝ ම සංයෝජන සහිත වූ, පාවානුවර වැසි තිස්නමක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්හ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේට “පාවානුවර වැසි මේ තිස්නමක් පමණ වූ භික්ෂූහු සියල්ලෝ ම ආරණ්‍යකහ. පිණ්ඩපාතිකහ. පාංශුකූලිකහ. තෙචීවරිකහ. සියල්ලෝ ම සංයෝජන සහිතහ. ඉදින්, මේ අසුන්හි දී ම ඔවුන්ගේ සිත් උපදාන රහිත ව ආස්‍රවයන්ගෙන් යම් සේ මිදේ නම් එසේ මම මොවුනට දහම් දෙසන්නේ නම් මැනැවැ”යි මේ සිත විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි බික්ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, මෙසසර අවිදිතාග්‍ර ඇතියේ ය. අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්වයන්ගේ පූර්වකෝටිය නො පෙණේ. මහණෙනි, ඒ කිමැයි හගිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස් සුන් තොපගේ වෑහුනු වැගිරුණු යම් පමණ ලෙයෙක් වේ ද, සිවුමහසමුදුරෙහි යම් පමණ ජලයෙක් වේද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?

“වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය යම් සේ දනිවු නම්, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස්සුන් අපගේ වෑහුණු වැගුරුණු යම් ලෙයෙක් වේ ද, ඒ ලෙය ම ඉතා වැඩි ය. සිවුමහ සමුදුරෙහි ජලය නො ම වැඩි ය.”

මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දෙශනා කරණ ලද ධර්මය මෙසේ දනිවු නම් මැනවි: මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු යම් ලෙයක් වේ නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි ගොජාතියෙහි ම ගොණුන් ව උපන් හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු ලෙය ම (ඉතා වැඩිය.) සිවුමහසයුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි මහීෂ ජාතියෙහි ම මිහි ව උපන් හිස්සුන් තොපගේ ... එළු ජාතියෙහි ම එළු ව උපන් ... තිරෙළු ජාතියෙහි ම තිරෙළු ව උපන් ... මුව ජාතියේහි ම මුව ව උපන් ... හුරු ජාතියෙහි ම හුරු ව උපන් ... කුකුළු ජාතියෙහි කුකුළු ව උපන් … මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි ගම්පහරණ සොරු යි ගෙණ හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු ලෙය … මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි මං පහරණ සොරු යි ගෙණ … පරඹුන් සෙවුනා සොරු යි ගෙණ හිස්සුන් තොපගේ වෑහුණු වැගුරුණු ලෙය ම (ඉතා වැඩි ය.) සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. ඒ කවර හෙයින යත්: මහණෙනි , මෙසසර නො පිරිසුන් කෙළවර ඇත්තේ ය ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ. මේ ධර්මවිභාගය වදාරණු ලබන කල්හි තිස් නමක් පමණ පාවෙය්‍යක භික්‍ෂූන් ගේ සිත් උපදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුනේ ය.

 

 

තෙවැනි වූ  තිංසමත්‌ත සූත්‍රය නිමියේ ය.