වෙපුල්‌ලපබ්‌බත සූත්‍රය

 

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

     3. අනමතග්ග සංයුත්‌තය

2. දුග්ගත වර්ගය

3.2.10

වෙපුල්‌ලපබ්‌බත සූත්‍රය

 

283. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතු සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, මෙසසර නො පිරුසුන් අග ඇත්තේ ය අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්වයින්ගේ පුර්වකොටිය නො පැණේ.

මහණෙනි, පෙර වූවක් කියමි: මේ වෙපුල්ල පර්වතයට පාවීනවංස ම ය යි නම් විය මහණෙනි, එකල්හි මිනිසුන්ට තිවර යන නාමය විය. මහණෙනි, තිවර මිනිසුන්ට දහස්වසෙක් ආයුඃප්‍රමාණය විය. මහණෙනි, තිවර මිනිසුන්ට පාචීනවංස පර්වතයට සිවු දිනකින් නගිත්, සිවු දිනකින් බසිත්.

එකල්හි අර්හත් සම්‍යක්සම්බුදධ වූ කකුසඳ භාග්‍යතුන් වහන්සේ ලොව පහළ වූ සේක අර්හත් සම්‍යක්සම්බුදධ වූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේට උතුම් සොඳුරු යුවලක් වූ විධුර, සඤ්ජීව නම් සවු යුවලෙක් විය. මහණෙනි, බලවු: මේ පර්වතයේ ඒ නාමය ද අතුරුදන් විය ඒ මිනිස්සු ද කලුරිය කළහ . ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිණිවුනහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අදධුවයහ. මෙසේ සංස්කාරයෝ අනස්සාසික (=අස්වැසිලි රහිත) ය හ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට නිසිම ය. නො ඇලෙන්නට නිසි ම ය . මිදෙන්නට නිසි මැ යි .

මහණෙනි, පෙර වූවක් කියමි: මේ වෙපුල්ල පර්වතයට වඞ්කක යන නාමය ම වි ය . මහණෙනි, එකල්හි මිනිසුන්ට රෝහිතස්ස යන නාමය ම විය. මහණෙනි, රෝහිතස්ස මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය තිස්වස්දහසෙක් විය. මහණෙනි, රෝහිතස්ස මිනිස්සු වඞ්කක පර්වතයට තෙදිනකින් නගිත්. තෙදිනකින් බසිත්.

මහණෙනි , එකල්හි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කොනාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝනාගමන භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයක් වූ හිය්‍යො, සුත්තර නම් සවු යුගයෙක් වීය මහණෙනි, බලවු: මේ පර්වතයාගේ ඒ නාමයන් අතුරුදන් විය ඒ මිනිස්සුත් කලුරිය කළහ ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිණිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.

මහණෙනි, පෙර වූවක් කියමි: මේ වෙපුල්ල පර්වතයට සුඵස්ස යන නාමය ම විය. මහණෙනි, එකල්හි මිනිසුන්ට සුප්පිය යන නාමය විය. මහණෙනි, සුප්පිය මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය විසිවස්දහසෙක් සේක් විය. මහණෙනි, සුප්පිය මිනිස්සු සුඵස්ස පර්වතයට දෙදිනකින් නගිත්, දෙදිනකින් බසිත්.

මහණෙනි, එසමයෙහි අර්හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයෙක් වූ තිස්ස, භාරද්වාජ නම් ශ්‍රාවක යුගයෙක් විය මහණෙනි, බලවු: මේ පර්වතයාගේ ඒ නමත් අතුරුදන් විය. ඒ මිනිස්සුත් කලුරිය කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිණිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.

මහණෙනි, දැන් මේ වෙපුල්ලපර්වතයට වෙපුල්ල යන නාමය ම විය. මහණෙනි, දැන් මේ මිනිසුන්ට මාගධක යන නාමය ම විය. මහණෙනි, මාගධක මිනිසුන්ගේ අයුඃප්‍රමාණය ඉතා ස්වල්ප ය, මද ය, ඉතා සුලුය යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙතෙමේ සියවසක් හෝ, ඉන් මදක් (දස - විසිවසක්) වැඩියෙන් හෝ ජීවත් වෙයි. මහණෙනි, මගධරට වැසි මිනිස්සු වෙපුල්ල පර්වතයට මොහොතකින් නගිත්. මොහොතින් බසිත්.

මහණෙනි, දැන් වූ කලි අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම ලොකයෙහි උපන්මි. මහණෙනි, මට අගසොඳුරු යුවල වූ සැරියුත්, මුගලන් නම් සවු යුවල වේ. මහණෙනි, මේ පර්වතයාගේ යම් මේ නාමයක් වේ ද, එය අතුරුදන් වන්නේ නම්. ඒ කාලය වන්නේය. මේ මිනිස්සුත් කලුරිය කරන්නාහු ය. මමත් පිරිණිවෙන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසය. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනස්සාසිකහ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට නිසි ම ය. නො ඇලෙන්නට නිසි ම ය. මිදෙන්නට නිසි මැ යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි අන් අයුරිනුදු මෙය වදාළ සේක:

තිවරයන්ට පාචිනවංස විය. රොහිතස්සයන්ට වඞ්කක විය. සුප්පියයන්ට සුඵස්ස විය.මගධයන්ට වෙපුල්ල විය.

සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යහ. ඉපැද නැතිවන ස්වභාව ඇතියහ. ඉපැද නිරුද්ධ වෙති. ඔවුන්ගේ සංහිදීම සුව යි.

 

දසවැනි වූ වෙපුල්‌ලපබ්‌බත  සූත්‍රය නිමියේ ය.

 

දුග්ගතවර්ගය දෙවෙනි යි.

එහි උද්දානය:

දුග්ගත, සුඛිත, තිංස (මත්ත), මාතු, පිතු, භාතු, භගිනි, පුත්ත, ධීතු, වෙපුල්ල පබ්බත ය යි සූත්‍ර දශයෙකි යි.

අනමතග්ගසංයුත්තය නිමියේ ය.