නඛසිඛා සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1.අභිසමය සංයුත්‌තය

10. අභිසමය වර්ගය

1.10.1

 නඛසිඛා සූත්‍රය

 

214. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්‍ෂුන් ඇමතු සේක: මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මා විසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බුඳ හෝ මේ මහපොළොව හෝ දැ?යි.

වහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බුඳ ඉමඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිසසිළෙහි නගන ලද පස්බුඳ සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.

මහණෙනි, එපරිද්දෙන් ම සිවුසස් අවබෝධ කළ දෘෂ්ඨිසම්පන්න ආර්යශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ දුකෙක් ක්ෂය කරණ ලද ද, අවසන් කරණ ලද ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසඳීමෙහි දී සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙ යි.

මහණෙනි, ධර්මාවබෝධය මෙසේ මහදත්ථයක් නිපදවන්නේ ය, දහම් ඇස (සෝවන්පෙල) පිළිලැබීම මෙසේ මහදත්ථයක් නිපදවන්නේ වේ යි.

 

 

පළමුවැනි වූ නඛසිඛා  සූත්‍රය නිමියේය.