අචෙලකස්සප සූත්‍රය

1.2.7. අචෙලකස්‌සප සූත්‍රය

   

 

17.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ රජගහනුවරට පිඩු පිණිස පිවිසි සේක. අචෙලකාශ්‍යප තෙමේ වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු වූ ද , සිත් ඇලවියයුතු වූ ද කථාව කොට නිමවා එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටියා වූ අචෙලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළ් ය.

“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.” දෙවනු ව ද අචෙලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළේ ය. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.” තෙවනු ව ද අචෙලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළේ ය. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.”

මෙසේ වදාළ කල්හි අචෙලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “අපි භවත් ගෞතමයන්ගෙන් බොහෝ වූ යමක් ම විචාරණු කැමැත්තෝ නො වෙමු” යි මෙය කී ය.

“කාශ්‍යපය, යමක් කැමැතියෙහි නම් එය විචාරව.”

“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයෙනි, කිම, දුක මෙරමා විසින් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හටගත්තක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ ද?” “කාශ්‍යපය, දුක නොම නැත්තේ ය. කාශ්‍යපය, දුක ඇත්තේ ම ය.”

“එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නො දනී ද? නො දකී ද?” “කාශ්‍යපය, මම දුක නො ම නො දනිමි. නො ම නො දකිමි. කාශ්‍යපය, මම දුක දනිම් ම ය. කාශ්‍යපය, මම දුක දකිම් ම ය.”

“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරණ ලද්දක් දැ”යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි යි. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක මෙරමා විසින් කරණ ලද්දක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය එසේ නො කියව”යි වදාරනෙහි ය. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද්දක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි යි. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හටගත්තක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි ය. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, දුක නො ම නැත්තේ ය. කාශ්‍යපය, දුක ඇත්තේ ම ය”යි වදාරනෙහි ය. “එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නො දනී ද? දුක නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්දේ ම “කාශ්‍යපය; මම දුක නො ම නො දනිමි. නො ම නො දකිමි. කාශ්‍යපය, මම දුක දනිම් ම ය. කාශ්‍යපය, මම දුක දකිම් ම ය”යි වදාරනෙහි ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරණ සේක්වා.”

කාශ්‍යප, “හේ කෙරෙයි, හේ විඳී ය”යි මුල දී ම මෙබඳු ලබ්ධි ඇති කල්හි (පසුව “දුක තමා විසින් ම කරණ ලද්දකැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) “දුක තමා විසින් කරණ ලදැ”යි මෙසේ කියන්නේ තෙල ශාශ්වතදෘෂ්ටියට පැමිණේ. කාශ්‍යප, “අනෙකෙක් කෙරෙයි, අනෙකෙක් විඳී ය”යි (මුලදී ම මෙබඳු ලබ්ධි ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡෙදදිට්ඨි සහගත) වෙදනාවෙන් පෙළුනහුට (“දුක මෙරමා විසින් කරණ ලද්දකැ” යි මෙබඳු ලබ්ධි වෙයි එබැවින්) “දුක මෙරමා විසින් කරණ ලදැ”යි මෙසේ කියන්නේ තෙල උච්ඡෙදදෘෂ්ටියට පැමිණෙයි.

කාශ්‍යප, තථාගත තෙමේ ඒ මේ දෙඅන්තයට නො පැමිණ මැදුම්පිළිවෙතෙහි සිටියේ දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ” ය යි.

මෙසේ වදාළ කල්හි අචෙලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, ඉතා මැනැවි. වහන්ස, ඉතා මැනැවි. වහන්ස, යටිකුරැ වූවක් හෝ යම් සේ උඩුකුරු කරන්නේ ද, ... ඇස් ඇත්තෝ රූප දකිනාහු ය යි එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේ ය. වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ සමිපයෙහි පැවිද්ද ලබම්වා, උපසපුව ලබම්වා” යි.

කශ්‍යප, අන්තොටු වූ විරූ යමෙක් මෙසස්නෙහි පැවිද්ද කැමති වේ ද, උපසපුව කැමති වේ ද, හෙ තමේ සිවුමසක් පිරිවෙසෙයි. සිවුමස් ඇවෑමෙන් සතුටු කළ සිත් ඇති භික්ෂූහු කැමති වන්නාහු නම් වුසූ පිරිවෙස් ඇත්තහු භික්ෂුත්වය පිණිස පැවිදි කෙරෙත්, උපසපන් කෙරෙත්. එහෙත් මා විසින් පුද්ගලනානාත්වය දන්නාලද්දේ ය.

වහන්ස, ඉදින් අන්තොටු වූ විරූවෝ මෙසස්නෙහි පැවිද්ද කැමැත්තාහු උපසපුව කැමැත්තාහු සිවුමසක් පිරිවෙසෙද්ද, සිවුමස ඇවෑමෙන් සතුටුකළ සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් වුසූ පිරිවෙස් ඇත්තවුන් භික්ෂුත්වය පිණිස පැවිදි කෙරෙද්ද, උපසපන් කෙරෙද්ද, මම සිවුවසක් පිරිවෙසෙන් නෙමි. සිවුවස ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු වුසූ පිරිවෙස් ඇති මා භික්ෂුත්වය පිණිස පැවිදි කෙරෙත්වා, උපසපන් කෙරෙත්වා යි.

අචෙලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ම ය. උපසපුව ලද්දේ ම ය. උපසපන් වූ නො බෝකල් ඇති අචෙලකාශ්‍යප ආයුෂ්මත් තෙමේ එකලා ව (ගණයා කෙරෙන්) වෙන් ව නො පමා ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව නිවන් පිණිස යෙදූ සිත් ඇති ව වෙසෙනුයේ නො බෝ කලෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මැනැවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මගබඹසර කෙළවර වූ ඒ නිරුත්තර වූ අර්භත්ත්වය මෙ ලොව්හි දී ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ විසුයේ ය. ඉපැද්ම ක්ෂීණ විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණලදී. මේ අර්‍හත්ත්වය පිණිස කටයුතු අනෙකක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.

 

 

සත් වැනි වූ අචෙලකස්‌සප සූත්‍රය නිමියේ ය.