ආහාර සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

2. බුද්ධ වර්ගය

2.1.1

ආහාර සූත්‍රය    

11. සැවැත්නුවර -

මහණෙනි, උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි: කවර සතරෙක් ද? යත්: දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර (=පිඩු කොට බුදින බත් ආදි) ආහාරය, ස්පර්‍ශය දෙවැන්න ය, මනෝසඤ්චෙතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ සතර ආහාරයෝ උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් වෙති.

මහණෙනි, මේ ආහාර සතර කුමක් නිදාන (කරුණු) කොට, කුමක් හේතු කොට, කුමක් ප්‍රභව කොට ඇත්තෝ ද? මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදාන කොට, තෘෂ්ණාව හේතු කොට, තෘෂ්ණාව ජාති කොට, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තෝ ය.

මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට, ඇත්තී ද? තෘෂ්ණාව වේදනාව නිදාන කොට, වේදනාව හේතු කොට, වේදනාව ජාති කොට, වේදනාව ප්‍රභව කොට ඇත්තී ය.

මහණෙනි, මේ වේදනාවත් කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තී ද? වේදනාව ස්පර්‍ශය නිදාන කොට, ස්පර්‍ශය හේතු කොට, ස්පර්‍ශය ජාති කොට, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී ය.

මහණෙනි, මේ ස්පර්‍ශය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට, ඇත්තේ ද? ස්පර්‍ශය ෂඩායතනය කරුණු කොට, ෂඩායතනය හේතු කොට, ෂඩායතනය ජාති කොට, ෂඩායතනය ප්‍රභව කොට ඇත්තේ ය.

මහණෙනි, මේ ෂඩායතනය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? ෂඩායතනය නාමරූප කරුණු කොට, නාමරූප හේතු කොට, නාමරූප ජාති කොට, නාමරූප ප්‍රභව කොට ඇත්තේ ය.

මහණෙනි, මේ නාමරූප කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? නාමරූප විඥානය කරුණු කොට, විඥානය හේතු කොට, විඥානය ජාති කොට, විඥානය ප්‍රභව කොට ඇත්තේ ය.

මහණෙනි, මේ විඥානය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? විඥානය සංස්කාරයන් කරුණු කොට, සංස්කාරයන් හේතු කොට, සංස්කාරයන් ජාති කොට, සංස්කාරයන් ප්‍රභව කොට ඇත්තේ ය.

මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද? සංස්කාරයෝ අවිද්‍යාව කරුණු කොට, අවිද්‍යාව හේතු කොට, අවිද්‍යාව ජාති කොට, අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහු ය.

මහණෙනි, මෙසේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

අවිද්‍යාවේ ම අනවශේෂවිරාග සඞ්ඛ්‍යාත නිරොධයෙන් සංස්කාර නිරොධය වේ. සංස්කාරනිරොධයෙන් විඥානනිරොධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරොධය වේ.

 

ආහාර වර්ගයේ පලමු වැනි වූ ආහාර සූත්‍රය නිමියේ ය .