තිම්බරුක සූත්‍රය

1.2.8. තිම්‌බරුක සූත්‍රය

  

18. සැවැත්නුවර -

ඉක්බිති තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:

භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ, ඉබේ හට ගත්තේ ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ ද? තිම්බරුක, සුවදුක් නැත්තේ නො වේ. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය. එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනී ද, නො දකී ද? තිම්බරුක, මම සුවදුක් නොම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. තිම්බරුක, මම සුවදුක් දකිම් ම ය.

“භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ල දදැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව” යි කියහු. ‘භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හට ගත්තේ දැ” යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නොකියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, සුවදුක් නො ම නැත්තේ ය. තිම්බරුක, සුවදුක් ඇතතේ ම ය”යි කියහු. “එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනීද, නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, මම සුවදුක් නො ම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. මම සුවදුක් දකිම් ම යි”යි කියහු. භවත් ගෞතමයන් වහන්සේ මට සුවදුක් වදාරණ සේක්වා, දේශනා කරණ සේක්වා.

තිම්බරුක,“ඕ වේදනා ය. හේ විඳී ය”යි මුල දී ම මේ ලබ්ධිය ඇති කල්හි (පසුව “සුවදුක් තමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් තමා විසින් කරණ ලදැ” යි මෙසේ මම නො කියමි. තිම්බරුක, “වෙදනාව අනෙකක, අනෙකෙක් වි ඳී ය”යි (මුලදී ම මේ ලබ්ධිය ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡෙදදිට්ඨිසහගත) “වෙදනාවෙන් පෙළුනහුට (සුවදුක් මෙරමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් මෙරමා විසින් කරණ ලදැ” යි මෙසේත් මම නො කියමි.

තිම්බරුක, තථාගත තෙමේ ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම් පිළිවෙතින් දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මේ අවිද්‍යාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරොධය වේ”යි.

මෙසේ වදාළ කල්හි තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... ඒ මම භවත් ගෞමයන් වහන්සේත් ධර්‍මයත් භික්ෂුසඞ්ඝයාත් ශරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් ශරණ ගිය මා උපාසකයකු කොට දරණසේක්වා යි.

 

අටවැනි වූ තිම්‌බරුක සූත්‍රය නිමියේ ය.