1.2.6. ධම්මකථික සූත්‍රය
16. සැවැත්නුවර -
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහ්නසේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය: වහන්ස, ධර්මකථික ය, ධර්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධර්මකථික වේ ද?
මහණ, ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්මකථික’ ය යි කීමට යුතු වෙයි.
මහණ තෙමේ ජරාමරණ දෙක්හි කළකිරීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්මානුධර්මප්රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ඉපැද්ම පිළිබඳ ව - ... - ඉදින් මහණ තෙමේ භවය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ උපාදාන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ තෘෂ්ණාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ වේදනාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ස්පර්ශය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ෂඩායතන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ නාමරූප පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ විඤ්ඤාණය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ සඞ්ඛාර පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ අවිද්යව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්මකථික’ ය යි කිමට යුතු වෙයි.
ඉදින් මහන තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්මානුධර්මප්රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ වේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.
සය වැනි වූ ධම්මකථික සූත්‍රය නිමියේ ය.