පච්චය (පච්චයුප්පන්න) සූත්‍රය

 

1.2.10. පච්‌චය (පච්චයුප්පන්න) සූත්‍රය

   

20. සැවැත්නුවර -

මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය ද පටිච්චසමුප්පන්න ධර්‍ම ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමියි. වහන්ස, එසේ යි භාග්‍යවතුන් වහන්සේට ඒ භික්ෂුහු පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද යත්: මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහි දු ජාතිප්‍රත්‍යයයෙන් මරණය වේ යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය (ප්‍රත්‍යයොත්පන්න කාරණය) ධර්‍මනියාමය (ප්‍රත්‍යයසමුත්පන්නධර්‍මනියමය) ඉදප්පච්චයතාව (මේ ප්‍රතීත්‍යසමුත්පන්නභාවය) සිටියේ ම ය. (පවත්නේම ය) ඒ ඉදම්ප්‍රත්‍යයතාව තථාගත තෙමේ අවබෝධ කරෙයි. අභිසමය කෙරෙයි. අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවෘත කරයි. බෙදයි. ප්‍රකට කෙරෙයි. බලවු යි පවසයි. “මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ.” මහණෙනි, මෙසේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” (යන මෙහි යම් ප්‍රත්‍යය ස්වභාවයෙක්, යම් අමෘෂාභාවයෙක්, යම් අනන්‍ය ස්වභාවයෙක්, යම් ප්‍රත්‍යයොත්පන්නභාවයෙක් ඇද් ද, මේ ප්‍රතීත්‍යසමුත්පාදය යි කියනු ලැබේ.)

මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ... මහණෙනි, උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. ... මහණෙනි, තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මහණෙනි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ... මහණෙනි, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... මහණෙනි, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ... මහණෙනි, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ... මහණෙනි, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මහණෙනි, සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය ධර්‍මනියාමය ඉදප්පච්චයතාව සිටියා ම ය. තථාගත තෙමේ එය අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවරණ - විභජන කෙරෙයි. ප්‍රකට කෙරෙයි. බලවු යි දු පවසයි. “මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති.” යන මෙහි යම් ස්වභාවයෙක් අමෘෂාභාවයෙක් අනන්‍යථාත්වයෙක් ඉදම්ප්‍රත්‍යයතායෙක් ඇද් ද, මහණෙනි, මේ පටිච්චසමුප්පාද යයි කියනු ලැබේ.

මහණෙනි, ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ කවරහ යත්: මහණෙනි, ජරාමරණ අනිත්‍ය ය. සංස්කෘත ය. හේතුප්‍රත්‍යයයෙන් හටගත්තේ ය. ක්ෂය ස්වභාවය ඇත්තේ ය. ව්‍යයස්වභාවය ඇත්තේ ය. විරාගස්වභාවය ඇත්තේ ය. නිරෝධස්වභාවය ඇත්තේ ය. මහණෙනි, ඉපැද්ම අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය. ක්ෂයධර්‍ම ය . ව්‍යයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරෝධධර්‍ම ය. මහණෙනි, භවය අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය. ක්ෂයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරොධධර්‍ම ය. මහණෙනි, උපාදාන ... මහණෙනි, තෘෂ්ණාව ... මහණෙනි, වෙදනාව ... මහණෙනි, ස්පර්‍ශය ... මහණෙනි, ෂඩායතන ... මහණෙනි, නාමරූප ... මහණෙනි, විඥාන ... මහණෙනි, සංස්කාරයෝ ... මහණෙනි, අවිද්‍යාව අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය ක්ෂයධර්‍ම ය. ව්‍යයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරොධධර්‍ම ය. මහණෙනි, මේ ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ යි කියනු ලැබෙත්.

මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයත් මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝත් තතු සේ සම්‍යක්ප්‍රඥායෙන් මැනැවින් දක්නා ලද්දාහු වෙද්ද, හෙ තෙමේ ‘අතීත කාලයෙහි මම වූයෙම් දෝ? අතීත කාලයෙහි නො වූයෙම් දෝ? අතීත කාලයෙහි කවරෙක් වූයෙම් දෝ? අතීත කාලයෙහි කෙසේ වූයෙම් දෝ? අතීත කාලයෙහි මම කවරෙක් ව කවරෙක් වූයෙම් දෝ?” යි පූර්‍වාන්තය කරාත් දුවන්නේ ය - “මම අනාගත කාලයෙහි වන්නෙම් දෝ? අනාගත කාලයෙහි නො වන්නෙම් දෝ? අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම් දෝ? අනාගත කාලයෙහි කෙසේ වන්නෙම් දෝ? අනාගත කාලයෙහි මම කවරෙක් ව කවරෙක් වන්නෙම් දෝ?”යි අපරාන්තය කරාත් දුවන්නේ ය - දැන් වර්‍තමාන කාලයෙහිත් “මම වෙම් දෝ? නො වෙම් දෝ? කවරෙක් වෙම් දෝ? කෙසේ වෙම් දෝ? මේ සත්ත්වතෙමේ කොහි සිට ආයේ දෝ? හෙ තෙමේ කොහි යන්නෙක් වන්නේ දෝ?”යි තමා පිළිබඳ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ වන්නේය - යන මේ කරුණ විද්‍යාමාන නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදය ද , මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝ ද තතු සේ මනා නුවණින් දක්නා ලද්දාහු ය. එහෙයිනි.

 

 

දසවැනි වූ පච්‌චය (පච්චයුප්පන්න) සූත්‍රය නිමියේ ය.