බාලපණ්ඩිත සූත්‍රය

1.2.9. බාලපණ්‌ඩිත සූත්‍රය

   

 

19. සැවැත්නුවර -

මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ බාලයාගේ මේ කය මෙසේ හටගත්තේ ය. මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හෝ මෙයින් එක්තරා එකකින් හො පහස්නා ලද බාල තෙමේ සුවදුක් විඳී.

මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය මෙසේ හටගත්තේ ය මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හො මෙයින් එක්තරා එකකින් හෝ පහස්නා ලද පණ්ඩිත තෙමේ සුවදුක් විඳී.

මහණෙනි, එහි ලා බාලයා සමග පණ්ඩිතයාගේ කවර වෙසෙසෙක් ද? කිනම් වැඩි ප්‍රයෝගයෙක් ද? කුමන වෙනසෙක් දැ?යි.

වහන්ස, අපගේ ධර්‍මෙයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට භාග්‍යවතුන් වහන්සේ නායක කොට භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස මේ දේශනාවෙහි අර්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහු ය යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වුහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ බාලයාගේ මේ කය හටගත්තේ ද, බාලයාගේ ඒ අවිද්‍යාවත් ප්‍රහීණ නුවූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්ෂීණ නුවූවාය. කවර හෙයින් යත්: මහණෙනි, බාලතෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර නො කෙළේ ය. එහෙයින් බාලතෙමේ කය බිඳීමෙන් (අනෙක් පටිසන්ධි) කයකය පැමිණියේ වේ. අන් කයකට පැමිණි හේ ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් නො මිදෙයි. (සියලු) දුකින් නො මිදේ යි කියමි.

මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය හට ගත්තේ ද, ඒ පණ්ඩිතයාට අවිද්‍යාවත් ප්‍රහීණ වූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්ෂීණ වූවා ය. කවරහෙයින යත්: මහණෙනි, පණ්ඩිත තෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර කළේ ය. එහෙයින් පණ්ඩිත තෙමේ කය බිඳීමෙන් (අනෙක්) කයකට නො පැමිණියේ වේ. හෙතෙමේ (අනෙක්) කයකට නො පැමිණියේ ම ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ යයි කියමි.

මහණෙනි, යම් මේ බඹසර විසීමෙක් වේ ද, මේ වනාහි බාලයා හා පණ්ඩිතයාගේ වෙසෙස යි. මේ අධිකප්‍රයාග ය යි. මේ වෙනස යි.

 

 

 

 

නවවැනි වූ බාලපණ්‌ඩිත සූත්‍රය නිමියේ ය.