මෝළියඵග්ගුන සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

 

සංයුත්තනිකාය

ද්විතීය භාගය

 

නිදානවර්ගය

 

1. අභිසමය සංයුත්‌තය

2. ආහාර වර්ගය

2.1.2

 

මොළියඵග්‌ගුන සූත්‍රය

   

12. සැවැත්නුවර -

මහණෙනි, උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද? දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර ආහාරය ය, ස්පර්‍ශය දෙවැන්න ය, මනොසඤ්චෙතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ ආහාර සතර උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහය පිණිසත් වේ.

මෙසේ වදාළ කල ආයුෂ්මත් මොළියඑග්ගුන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ “වහන්ස, කවරෙක් විඥානාහාරය අනුභව කෙරේ දැ” යි විචාළේ ය. “ප්‍රශ්නය යුක්ත නො වේ ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘(පුද්ගලයෙක්) අනුභව කෙරේ ය’යි මම නො කියමි. ඉදින් (පුද්ගලයෙක්) අනුභව කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් අනුභව කෙරේ දැ’යි යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් ‘වහන්ස, විඥානය කුමකට ආහාරය (ප්‍රත්‍යය) වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් මේ ප්‍රශ්නය යුක්ත ය. ‘විඥානාහාරය (ප්‍රතිසන්ධිය) මතු පුනර්භවය (නාම රූප) හටගැණීම පිණිස ප්‍රත්‍යය වෙයි. ඒ පුනබ්භවාභිනිබබ්ත්ති සඞ්ඛ්‍යාත නාමරූප ඇති වු කල්හි ෂඩායතන වෙයි. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ය’ යි එයි ලා විසඳීම සුදුසු ය.

වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද? මේ ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක (සත්ත්වයෙක් හො පුද්ගලයෙක්) ස්පර්‍ශ කෙරේ ය යි මම නො කියමි. ඉදින් ස්පර්‍ශ කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද?’ යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් “වහන්ස, නිකම් ප්‍රත්‍යයයකින් ස්පර්‍ශය වේ දැ” යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා “ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වෙදනාව වේ ය”යි විසඳීම යුක්ත ය.

“වහන්ස, කවරෙක් විඳී ද?”. ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. විඳී ය යි මම නො කියමි. ඉදින් විඳී ය යි මම කියන්නෙම් නම්, එහි ලා “වහන්ස, කවරෙක් විඳී ද?” යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ දැ’ යි මේසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහිලා “ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය”යි විසඳීම යුක්ත ය.

වහන්ස, කවරෙක් තෘෂ්ණාව කෙරේ ද?. ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. තෘෂ්ණාව කෙරේ ය යි මම නො කියමි. ඉදින් මම තෘෂ්ණාව කෙරේ ය යි කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් තෘෂ්ණාව කෙරේ ද?’ යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නො නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ දැ’යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා ‘වේදනාප්‍රත්‍යයයෙන් තෘෂණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය’යි විසඳීම යුක්ත ය.

වහන්ස, කවරෙක් උපාදානය කෙරේ (දැඩි කොට ගණී) ද?. ප්‍රශ්නය යුක්ත නොවේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. උපාදානය කෙරේ ය යි මම නො කියමි. ඉදින් මම උපාදානය කෙරේ ය යි කියන්නෙම් නම්, එහි ලා “වහන්ස, කවරෙක් උපාදානය කෙරේ ද?” යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් උපාදානය වේ දැ’යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ ය යි විසඳීම යුක්ත ය. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

ඵග්ගුන, ස්පර්‍ශායතන සයෙහි ම නිරවශේෂවිරාගනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වේ ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වෙදනානිරෝධයෙන් තණ්හානිරෝධය වේ. තණ්හානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණසොකපරිදෙව දුක්ඛදොමනස්සඋපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය යි වදාළ සේක.

ආහාර වර්ගයේ දෙවෙනි වූ මෝළියඵග්ගුන සූත්‍රය නිමියේ ය.