අවිජ්‌ජාදිපච්‌චය දේසනා සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

4.කළාරඛත්තිය වර්ගය

1.4.5

                                                                     අවිජ්‌ජාදිපච්‌චය දේසනා සූත්‍රය

  

35. සැවැත්නුවර -

මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වෙ යි.

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද?” යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “ජරාමරණ අනෙකක මේ ජරාමරණ අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍තථය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

මහණ, “එය ජීව ය, එය ශරීර ය”යි (උචේඡද) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරිය (ආර්‍ය්‍යමාර්‍ග වාසය) නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි (ශාශ්වත) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ ඒ මේ අන්තදෙකට නො පැමිණ තථාගත තෙමේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ”යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි.

වහන්ස, “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ ද?” ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ දැ”යි මෙසේ හො කියන්නේ ද, මහණ, යමෙක් “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍තථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

මහණ, “ඒ ජීවය, ශරීරය” යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නොවේ. මහණ, “ජිවය අනෙකක ශරීරය අනෙකෙකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ “භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

වහන්ස, භවය කවරේ ද? මේ භවය කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “භවය කවරේ ද, මේ භවය කවරකුගේ දැ”යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “භවය අනෙකක, මේ භවය අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍තථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

මහණ, “එය ජීවය, එය ශරීර ය”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ය යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි ... තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂණාව වේ ය යි ... ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ යයි ... නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ය යි ... විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ය යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

වහන්ස, සංස්කාරයෝ කවරහු ද? මේ සංස්කාර කවරකු ගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැ”යි මෙසේ හෝ කියන්නේ ද, මහණ යමෙක් “සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍තථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

මහණ “එය ජීවය, එය ශරීර ය” යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, “ජිවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත් ය යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

මහණ, “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ දැ”යි හෝ “ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය”යි හෝ “එය ජිවය, එය ශරීරය” යි හෝ “ජිවය අනෙකක, ශරීරය අනෙකකැ” යි හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට)හුලු වැනි, විරුද්ධ පැවතුම් ඇති, ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටිහු වෙද්ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටිහු අවිද්‍යාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මුදුනසුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු පිළිවෙළින් අභාවයට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

මහණ,“ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකු ගේ දැ”යි හෝ “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි හෝ ‘එය ජීවය, ශරීර ය” යි හෝ “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි, විරුද්ධ පැවතුම් ඇති, ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යා දෘෂ්ටිහු වෙද්ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු අවිද්‍යාවේ ම නිරවශෙෂවිරාග නිරොධයෙන් ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මුදුනසුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු පිළිවෙළින් අභාවයට පමුණු වන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් “භවය කවරේ ද, මේ භවය කවරකුගේ දැ යි හෝ, භවය අනෙකක, මේ භවය අනෙකකුගේ යයි හෝ, එය ම ජීවය එය ම ශරීරය යි හෝ, ජීවය අනෙකක, ශරීරය අනෙකකැ යි” හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද්ද; ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු හිස්සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

මහණ, අවිද්‍යාවගේ ම නිරවශෙෂ විරාගනිරොධයෙන් ඔහුට (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවැතුම් ඇති යම් ඒ කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද්ද, .... උපාදාන කවරේ ද, ... තෘෂ්ණාව කවර, ... වේදනාව කවර, ... ස්පර්‍ශය කවරේ ද, … ෂඩායතන කවරේ ද, … නාමරූප කවරේ ද, … විඥානය කවරේ ද, … මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ඔහුට “සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැ යි හෝ, සංස්කාර අනෙකෙක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ, එය ම ජීවය, එය ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ”යි හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවතුම් ඇති ඔබ මොබ සැලෙන පැවතුම් ඇති යම් කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටිහු වෙත් ද, ඔහුගේ ඒ සියලු මිථ්‍යාදෘෂ්ටිහු ප්‍රහීණ වූවාහු මුලුසුන් කරණ ලද්දාහු හිස් සුන් තල් ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

 

 

 

පස්වැනි වූ   අවිජ්‌ජාදිපච්‌චය දේසනා  සූත්‍රය  නිමියේ ය.