කළාර සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

4.කළාරඛත්තිය වර්ගය

1.4.2

                                                                                   කළාර සූත්‍රය

   

   

  32. සැවැත්නුවර -

ඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කට යුතූ කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වන්සේට මෙය සැළ කළේ ය.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මොලියඵග්ගුණ මහණ තෙමේ ශික්ෂාව හැර දමා ගිහිබවට පෙරලුනේ ය. ඒ ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් මෙසස්නෙහි පිහිටක් නො ලැබී ය. එහෙත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසස්නෙහි පිහිට ලැබූ සේක. “ඇවැත්නි, මම සැක නො ම කරමි” ඇවැත්නි, මතු පිළිසඳ කෙසේ ද? “ඇවැත්නි, මම විචිකිච්ඡා නො ම කරමි”.

ඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් ‘ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ’ යි මෙසේ රහතබව පවසන ලදැ”යි තෙල සැළ කළේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, එව, තෙපි මාගේ වචනයෙන් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ” යි සැරියුත් අමතවුයි. ඒ මහණ තෙමේ වහන්ස, එසේ ය යි භාග්‍යවතුන් වහනසේට පිළිවදන් අස්වා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන සේකැ”යි මෙය කී ය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ ඇවැත්නි, එසේ ය යි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

ශාරීපුත්‍ර, තොප විසින් “ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි මෙසේ දනිමි”යි රහත්බව පවසන ලද්දේ සැබෑ ද? වහන්ස, මේ පදවලින් මේ බ්‍යඤ්ජනවලින් නොම කීමි. එහෙත් මා විසින් අර්‍තථය (=රහත්බව) කියන ලදී. ශාරීපුත්‍ර, කුලපුත්තෙමේ යම් කිසි ක්‍රමයකිනුදු රහත්බව පවසයි. වැලිදු පවසන ලද්ද පවසන ලද්ද වශයෙන් දැක්ක යුතු ය. වහන්ස, “මේ පදවලින් මේ බ්‍යඤ්ජනවලින් නොම කීමි. එහෙත් මා විසින් අර්‍ථය කියන ලද්දේ ය” යි වහන්ස, මම ද මෙසේ නො කියම් ද?

ශාරීපුත්‍ර, ඉදින් “කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොප විසින් ‘ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි රහත්බව පවසන ලදදැ” යි මෙසේ තොප විචාරන්නාහු නම් ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි ප්‍රකාශ කරවු ද?

වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දකිනා වූ තොප විසින් ‘ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි රහත් බව පවසන ලදදැ”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි:

“ඇවැත්නි, ජාතිය යමක් නිදාන කොට ඇත්තී ද, ඒ නිදානය ගෙවී යෑමෙන් ක්ෂය වූ කල ක්ෂය වී යයි දන්නා ලදී. ක්ෂය වූ කල ක්ෂය වූයේ යයි දැන, ජාතිය ක්ෂය වූවා, බඹසර වැස නිමවන ලදී, කට යුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.

ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජාතිය කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් කරුණු කොට ඇත්තී ද, කුමක් ඉපැද්ම කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ” යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි පවසන්නහු ද?

වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජාතිය කුමක් නිදාන කොට, කුමක් කාරණ කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස , එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, ජාතිය භවහ නිදාන කොට, භවය හටගැණීම් කොට, භවය ඉපැද්ම කොට, භවහ ප්‍රභව කොට ඇත්තී ය යි වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.

ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, භවය කුමක් නිදාන කොට කුමක් හටගැණීම් කොට, කුමක් ඉපැද්ම කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ?”යි මෙසේ තොප විචාරන්නාහු නම්,: ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි ප්‍රකාශ කරන්නහු ද?

වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, භවය කුමක් නිදාන කොට ඇතතේ ද, කුමක් හටගැණීම් කොට ඇත්තේ ද, කුමක් ඉපැද්ම කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය, උපාදාන හටගැණීම කොට ඇත්තේ ය, උපාදාන ඉපැද්ම කොට ඇත්තේ ය, උපාදාන ප්‍රභව කොට ඇත්තේ ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.

ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපාදානය කුමක් නිදාන කොට ඇත්ද? කුමක් කාරණ කොට ඇත්ද? කුමක් ජාති කොට ඇත්ද? කුමක් ප්‍රභව කොට ඇත් ද?” මෙසේ තොප විචාරන්නාහු නම් ශාරීපුත්‍රය, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?

වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපාදානය කුමක් නිදාන කොට කුමක් කාරණ කොට කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්ද? වහන්ස, මෙසේ මා විචාරන්නාහු නම් එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නී, උපාදානය තණ්හාව නිදාන කොට ඇත. තණ්හාව කාරණ කොට ඇත. තණ්හාව ජාති කොට ඇත. තණ්හාව ප්‍රභව කොට ඇතැයි. වහන්ස, මෙසේ විචාරණ ලද්දෙම් මෙසේ පවසන්නෙමි.

ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාතී කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැ යි පවසන්නහු ද?

වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නේමි, ඇවැත්නි, තෘෂ්ණාව වේදනාව නිදාන කොට ඇත. වේදනාව සමුදය කොට ඇත. වේදනාව ජාති කොට ඇත වේදනාව ප්‍රභව කොට ඇතැ යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නේමි.

ශාරීපුත්‍ර, “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, වේදනාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?” යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි ප්‍රකාශ කරන්නහු ද?

වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, වේදනාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, වේදනාව ස්පර්‍ශය නිදාන කොට ඇත. ස්පර්‍ශය කාරණා කොට ඇත. ස්පර්‍ශය ජාති කොට ඇත්තී ය. ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.

ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොපට වේදනාවන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නො වැටහුනේ දැ?” යි මෙසේ තොප විචාරන්නාහු නම්: ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?

වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොපට වේදනාවන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නො වැටහුනේ ද”? යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසෙ විචාරන ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, මේ වේදනා තුණෙකි. කවර තුණෙක් ද යත්: සැප වේදනාව ය, දුක් වේදනාව ය, මැදහත් වේදනාව ය යි. ඇවැත්නි, මේ වේදනාත්‍රිකය අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් ඒ දුකැයි දන්නා ලදි. (එහෙයින්) වේදනාවන්හි යම් තෘෂ්ණායෙක් වේ නම් එය (මා වෙත) නො සිටියේ ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.

ශාරීපුත්‍ර, මැනැවි. මැනැවි. ශාරීපුත්‍ර, යම් කිසි වේදනාවක් වේ නම් ඒ දුකැයි යන මේ අරුත ම සැකෙවින් පැවසීමට මෙ ද නයෙකි.

ශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තොප විසින් ‘ජාතිය ක්ෂය වූවා ය බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දනිමි’යි කවර විමොක්ෂයකින් අර්හත්වය පවසන ලද්දේ දැ”යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?

වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ‘ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී, කට යුතු කරණ ලදී, මේ බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි කවර විමොක්ෂයකින් අර්‍හත්ත්වය පවසන ලද්දේ දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: “ඇවැත්නි, යම් සේ සිහි ඇති ව වෙසෙන මට ආස්‍රවයෝ නො පවතිද්ද, (ප්‍රඥාව ප්‍රසන්න බැවින්) තමාට ද අවමන් නො කෙරෙම් ද, ඒ අජ්ඣත්තවිමොක්ඛයෙන් (=ආධ්‍යත්මික් සංස්කාරයන් පරිග්‍රහණය කොට ලද අර්‍හත්ත්වයෙන් සියලු උපාදානයන් ක්ෂය කිරීමෙන් මම එසේ සිහි ඇති ව වෙසෙමි”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.

ශාරීපුත්‍ර, මැනවි, මැනවි. ශාරීපුත්‍ර, “යම් ආස්‍රව කෙනෙක් බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු ද, මම ඔවුන් කෙරෙහි සැක නොකෙරෙමි. ඒ ආස්‍රවයෝ මට ප්‍රහීණ වූවාහු ය යි විචිකිච්ඡා නො කෙරෙමි”යි යන මේ අරුත ම සැකෙවින් පැවසීමට මෙ ද නයෙකියි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී වෙහෙරට පිවිසි සේක.

එහි දී ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් භික්ෂූන් ඇමතූහ: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පෙර මවිසින් නො දන්නා ලද පළමු වන ප්‍රශ්නය මාගෙන් විතාළ සේක. ඒ මට ලැසිබවෙක් වී ය. ඇවැත්නි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ම විසින් විසඳන ලද මාගේ පළමු වන ප්‍රශ්නය අනුමෝදන් වූ සේක් ද, ඇවැත්නි, ඒ මට මේ අදහස පහළ විය:

ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු දහවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙන් වෙන් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු දහවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රැයක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු රැය ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රෑ දාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු රෑදාවලම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම භාග්‍යවතුන් වහන්සේට මේ අරුත පවසන්නෙමි.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙරෑදවාලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නා සේක් නම් මුළු දෙරෑ දෙවාල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ තුන් රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිවු රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ පස් රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ ස රෑ දවාලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත් රෑදාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නා සේක් නම් සත් රෑදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.

ඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:

වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් (මෙසේ) සිංහනාද කරණ ලදී: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ (මා විසින්) පෙර නො දන්නා ලද පළමු වන ප්‍රශ්නය මා පුළුවුත් සේක. ඒ මට ලැසිබවෙක් විය. ඇවැත්නි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ මාගේ පළමු වන ප්‍රශ්නය අනුමෝදන් වූ සේක ද, ඒ මට මේ අදහස පහළ විය:

“ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු දාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පිළුවුස්නා සේක් නම්, මුළු දහවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රැයක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු, රැයම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළුරෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙරෑදාවලක් ම මා .... ඉදින් භාග්‍යවතුන් වහන්සේ තුන් රෑදාවලක්ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිවු රෑදාවලක් ම මා ... පස් රෑදාවලක් ම මා .... ඉදින් භාග්‍යවතුන් වන්සේ සරෑදාවලක් මා ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්රෑදාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නාසේක් නම් සත්රෑදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි” යි.

මහණ, ඉදින් මම මුළු දවාලකුත් එකිනෙකට වෙනස් පෙදෙන් එකිනෙක වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස්නෙම් නම් යම් ධර්‍මධාතුවක් (ශ්‍රාවක පාරමීඥානයක්) මැනවින් අවබෝධ කරණ ලද බැවින්, ශාරීපුත්‍ර තෙමේ මුළුදවස ම එකිනෙකට වෙනස් පෙදෙන් එකිනෙකට වෙනස් නයින් මේ අරුත මට පවසන්නේනේ ද ඒ, ධර්‍මධාතු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයාකාරය දක්නට සමර්‍ථ ශ්‍රාවකපාරමීඥානය ශාරීපුත්‍රයන් විසින් මැනවින් අවබෝධ කරණ ලද්දේ ම ය.

ඉදින් මම මුළු රැයකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් ශාරීපුත්‍රයන් මේ අරුත පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ මුළු රැය ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේ ය.

ඉදින් මම මුළු රෑදාවලකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස් තෙමේ නම් ශාරීපුත්‍ර තෙමේ මුළු රෑදාවල ම වෙනස් වෙනස් පදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේය.

ඉදින් මම දෙ රෑදාවලකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ දෙ රෑදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේය.

ඉදින් මම තුන් රෑදාවලකුදු ශාරීපුත්‍රයන් ... ඉදින් මම සිවු රෑදාවලකුදු ශාරීපුත්‍රයන් ... ඉදින් මම පස් රෑදාවලකුදු ශාරීපුත්‍රයන්ගෙන් ... ඉදින් මම සරෑදාවලකුදු ශාරීපුත්‍රයන්ගෙන් .... ඉදින් මම සත් රෑදාවලකුදු වෙනස් වෙනස් පදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන්ගෙන් පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ සත්රෑදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේ යි.

දෙ වැනි වූ  කළාර සූත්‍රය නිමියේ ය.