ඤාණවත්ථු සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

4.කළාරඛත්තිය වර්ගය

1.4.3

                                                                              ඤාණවත්ථු සූත්‍රය

  

33. සැවැත්නුවර -

මහණෙනි, තොපට සිවුසාළිස් නුවණවත් දේශනා කරන්නෙමි. එය අසවු ... මහණෙනි, සිවුසාළිස් නුවණවත් කවර යත්:

ජරාමරණ දන්නා නුවණ ය, ජරාමරණ හටගැණීම දන්නා නුවණ ය, ජරාමරණ නැවැත්ම දන්නා නුවණ ය, ජරාමරණ නැවැත්මේ පිළි වෙත දන්නා නුවණ ය.

ඉපැදීම දන්නා නුවණ ය, ඉපැද්ම හටගැණීම දන්නා නුවණ ය, ඉපැද්මේ නැවැත්ම දන්නා නුවණ ය, ඉපැද්ම නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය.

භවය දන්නා නුවණ ය, භවයේ හටගැන්ම දන්නා නුවණ ය, භවයේ නැවැත්ම දන්නා නුවණ ය, භවය නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය.

උපාදාන දන්නා නුවණ ය. ... තෘෂ්ණාව දන්නා නුවණ ය. ... වෙදනාව දන්නා නුවණ ය ... ස්පර්‍ශ දන්නා නුවණ ය ... ෂඩායතන දන්නා නුවණය ... නාමරූප දන්නා නුවණ ය ... විඥාන දන්නා නුවණ ය ... සංස්කාර දන්නා නුවණ ය, සංස්කාර හටගැණීම දන්නා නුවණ ය, සංස්කාර නැවැත්ම දන්නා නුවණ ය. සංස්කාර නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය. මහණෙනි, මේ සිවුසාළිස් නුවණවත් ය යි* කියනු ලැබේ.

මහණෙනි, ජරාමරණ නම් කවර? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන් පැසීමෙක් වේ ද, මේ ජරා යංයි කියනු ලැබේ. ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙන් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්වු නම් වූ මරණයෙක් කාලක්‍රියාවෙක් ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් වේද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද, මහණෙනි, මේ ජරාරමණ ය යි කියනු ලැබේ.

ජාතිය හටගැණීමෙන් ජරාමරණ හටගැණීම වේ. ජාතිය නැවැත්මෙන් ජරාමරණ නැවැත්ම වේ. මේ අරිඅටඟිමග ම ජරාමරණ නැවැත්මේ පිළිවෙත යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.

මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණසමුදය දනි ද, මෙසේ ජරාමරණනිරෝධය දනී ද, මෙසේ ජරාමරණනිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, මේ ඔහුගේ (සිවුසස්) දහම්හි නුවණ ය. හෙතෙමේ දක්නා ලද දන්නා ලද කල් නො යවා විපාක දෙන පැමිණෙන ලද බැසගන්නා ලද මේ මාර්‍ගඥානයෙන් (මතු ඇතිවන ප්‍රත්‍යවේක්ෂ ඥානයෙන්) අතීතයෙහිත් අනාගතයෙහිත් දහම් නය පමුණුවයි.

අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ ජරාමරණ දත්තාහු ද, ජරාමරණසමුදය දත්තාහු ද, ජරාමරණනිරෝධය දත්තාහු ද, ජරාමරණනිරෝධගාමිනී ප්‍රතිපදාව දත්තාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ දනිමි නම් එසේ ම දත්තාහු ය. අනාගත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දැන ගන්නාහු ද, ජරාමරණ සමුදයය දැන ගන්නාහු ද, ජරාමරණ නිරෝධය දැන ගන්නාහු ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන ගන්නාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ දනිමි නම් එසේ ම දැන ගන්නාහු ය. මේ ඔහුගේ අන්වවයෙහි (ධර්‍මඥානානුගමනයෙහි ප්‍රත්‍යවේක්ෂා) ඥාන ය යි.

මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මාර්‍ගඥානයත් ප්‍රත්‍යවේක්ෂාඥානයත් යන මේ දෙනුවණ පිරිසිදු වූයේ ඉතා පිරිසිදු වූයේ වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්න ය යි ද, දර්‍ශනසම්පන්න ය යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ ය යි ද, මේ සද්ධර්‍මය දකී ය යි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත ය යි ද, ශෛක්ෂවිද්‍යායෙන් සමන්වාගත ය යි ද, ධර්‍මස්‍රොතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්‍වෙධිකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.

මහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්වයන්ගේ යම් ... මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: මහණෙනි, වේදනාව නම් කවර යත්. ... මහණෙනි, ස්පර්‍ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: මහණෙනි, නාමරූප නම් කවර යත්: ... මහණෙනි, විඥානය නම් කවර යත්:... මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි. කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.

අවිද්‍යාසමුදයෙන් සංස්කාරසමුදයය වේ. අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ අරිඅටඟිමග ම සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව යි එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධි යි.

මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සංස්කාර දනී ද, මෙසේ සංස්කාර සමුදය දනී ද, මෙසේ සංස්කාරනිරොධය දනී ද, මෙසේ සංස්කාරනිරොධගාමිනී ප්‍රතිපදාව දනීද, මේ ඔහුගේ මර්‍ගඥාන ය යි. හෙතෙමේ දක්නා ලද දන්නා ලද අකාලික වූ පැමිණෙන ලද බැස ගන්නා ලද මේ මාර්‍ගඥානයෙන් අතීතයෙහිත් අනාගතයෙහිත් නය පමුණුවයි.

මහණෙනි, අතීතකාලයෙහිත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සංස්කාර දත්තාහු ද සංස්කාර සමුදයය දත්තාහු ද සංස්කාරනිරෝධය දත්තාහු ද සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව දත්තාහු ද ඒ සියල්ලෝ දැන් මම යම් සේ (දනිම්) ද එ සේ ම දත්තාහු ය. අනාගත කාලයෙහිත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සංස්කාරයන් දැන්ගන්නාහු ද සංස්කාරසමුදය දැන ගන්නාහු ද සංස්කාරනිරොධය දැන ගන්නාහු ද සංස්කාරනිරොධගාමිනී ප්‍රතිපදාව දැන ගන්නාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ (දනිම්) ද, එසේ ම දැන ගන්නාහු ය. මේ ඔහුගේ අන්වයෙහි (ප්‍රත්‍යවෙක්ෂා) ඥාන ය යි.

මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මාර්‍ගඥානයත් ප්‍රත්‍යවෙක්ෂාඥානයත් මේ දෙනුවන පිරිසිදු වූයේ ඉතා පිරිසිදු වූයේ වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්න ය යි ද, දර්‍ශනසම්පන්න ය යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ ය යි ද, මේ සද්ධර්‍මය දකී ය යි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත ය යි ද, ශෛක්ෂවිද්‍යාවෙන් සමන්වාගත ය යි ද, ධර්‍මස්‍රොතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්‍වෙධිකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.


*ජරාමරණාදි එක් එක් ප්‍රත්‍යයෙහි සතර බැගින් ගෙණ එකොළොස් ප්‍රත්‍යයෙහි සිවුසාළිස් නුවණවත් ද දන්නේය.

 

   

   

 

 තෙ වැනි වූ  ඤාණවත්ථු සූත්‍රය  නිමියේ ය.