ජාණුස්සොණි සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

5.ගහපති වර්ගය

1.5.7

ජාණුස්‌සොණි සූත්‍රය

   

47. සැවැත්නුවර -

එකල්හි ජාණුස්සොණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වන්සේ සමග සතුටු වි ය ... එකත්පසෙක හුන් ජාණුස්සොණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:

භවත් ගෞතමයෙනි, කිම සියල්න ඇත්තේ ද? බමුණ, “සියල්ල ඇත්තේ ය” යනු මේ එක් අනන්තයෙකි.

භවත් ගෞතමයෙනි, කිම සියල්ල නැත්තේ ද? බමුණ, “සියල්ල නැත්තේ ය” යනු මේ දෙවන අන්ත ය යි.

බමුණ, ඒ මේ (ශාශ්වත - උචේඡද) අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයේ වෙති. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

මෙසේ වදාළ කල්හි ජාණුස්සොණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව, ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කෙළේ ය.

 

 

සත් වැනි වූජාණුස්‌සොණි සූත්‍රය  නිමියේය.