ඤාතික සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

5.ගහපති වර්ගය

1.5.5

 

 ඤාතික සූත්‍රය

   

 

45. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගැඩොලින් කළ පහයෙහි වසන සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකලාව විවේකී ව වැඩහුන් සේක මේ දහම් ක්‍රමය වදාළ සේක:

ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.

කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නාසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක් වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ ට ගැණීම වේ.

ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාග නිරොධයෙන් උපාදානනිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.

කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වෙදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භව නිරොධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි (වදාළ සේක.)

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ උපශ්‍රැතියෙහි (=දේශනාව ඇසෙන තන්හි) සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ උපශ්‍රැතියෙහි සිටි ඒ මහණ දුටුසේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය ඇසුවහු ද? වහන්ස, එසේ ය. මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය උගණිවු. මහණ, තෙපි මේ ධර්‍මචක්‍රමය පිරිවහවු. මහණ තෙපි මෙ ධර්‍මක්‍රමය දරවු. මහණ, මේ ධර්‍මක්‍රමය අර්‍ථ සහිතය, මගබඹසරට මුල් වූයේ ය.

 

 පස් වැනි වූඤාතික සූත්‍රය  නිමියේය.