පඤ්චභයවෙර සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

5.ගහපති වර්ගය

1.5.1

 

 පඤ්‌චභයවෙර සූත්‍රය

  

 

41. සැවැත්නුවර -

එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

ගැහැවිය, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පස්වැදෑරුම් භය හා වෛර චේතනාවෝ සංසිඳුනාහු වෙද්ද, සිවුවැදෑරුම් සොතාපත්ති අඞ්ගයෙන් යුක්ත වූයේ වේ ද, අර්‍ය්‍ය (නිර්දොෂ) වූ න්‍යාය (ප්‍රතීත්‍ය සමුත්පාදය විදර්‍ශනා) ප්‍රඥායෙන් මනා ව දක්නා ලද්දේ මැනැවින් අවබොධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමැති වන්නේ නම් “ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරච්ඡාන යෝනි ඇත්තෙම් ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙම් ක්ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. සෝවන් වූයෙම් විවසට පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බොධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.

කවර පස්වැදෑරුම් භය වෛර චෙතනාවෝ සංසිඳුනාහු වෙත් ද යත්:

ගැහැවිය, පරපණ නසන සුලු පුද්ගල තෙමේ පරපණ නැසීමේ ප්‍රත්‍යයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, වෙතසික වූත් යම් දුකක් හා දොම්නසක් විඳී ද, පණිවායින් දුරු වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිදුනේ වේ.

ගැහැවිය, නුදුන් දෙය ගන්නාසුලු පුඟුල් තෙමේ නුදුන් දෙය ගැණීම් හෙතුයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස්කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් හා දොම්නසක් විඳී ද, නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූ ඔහුට මෙසේ ඒ භය හා වෙර සංසිඳුනේ වේ.

ගැහැවිය, කාමයෙහි වරදවා හැසිරෙණසුලු පුඟුල් තෙමේ කාමයෙහි වරදවා හැසිරීම් පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසිකවූත් යම් දුකක් දොම්නසක් වඳී ද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.

ගැහැවිය, මුසවා බෙණෙනසුලු පුඟුල් තෙමේ මුසවා පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් දොම්නසක් විඳී ද, මුසවායෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.

ගැහැවිය, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරණසුලු පුඟුල් තෙමේ මදපමාවට කරුණු වූ රහමෙර පානය කිරීම් පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් දොම්නසක් විඳී ද, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.

මේ පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙත්.

කවර සිවුවැදෑරුම් සෝවන් අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද යත්:

ගැහැවිය, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙනුදු අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදූ හ, නිරුත්තරපුරිසදම්මසාරථී හ, දෙව් මිනිසුන්ට ශාස්තෘ හ, බුද්ධය හ, භාග්‍යවත් හ” යි බුදුරජානන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි.

“භාග්‍යවතුන් වහන්සේ විසින් (දෙසූ) ධර්‍මය-ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය, එහිපස්සික ය, ඔපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය”යි ධර්‍මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූයේ වේ.

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය, භාග්‍යවතුන් වහනසේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය, යම් මේ පුරුෂයුග සතරෙක් ආර්‍ය්‍යපුද්ගලයෝ අටදෙනෙක් වෙද් ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරණී ය, ලෝවැස්සාට නිරුත්තරපුණ්‍යක්ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.

කඩ නොවූ සිදුරු නො වූ සබර නො වූ කල්මාෂ නො වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද තෘෂ්ණාදෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වූයේ වේ. මේ සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයෙන් යුක්ත වූයේ වෙයි.

නිර්‍දොෂ වූ කවර න්‍යායයෙක් ඔහු විසින් විදර්‍ශනාප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ අවබොධ කරණ ලද්දේ වේ ද?

ගැහැවිය, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවගේ ම නිරවශෙෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරොධය වේ ය යන මේ යමක් ඇද් ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ ය”යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි. නිර්‍දොෂ වූ මේ න්‍යාය ඔහු විසින් විදර්‍ශනාප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වෙයි.

ගැහැවිය, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ පස් වැදෑරම් බිය හා වෛරයෝ සංසිඳුනාහූ වෙද් ද, මේ සිවුවැදෑරම් සෝතාපත්තිඅඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද, නිර්දෝෂ වූ මේ න්‍යාය ඔහු විසින් විදර්‍ශනා ප්‍රඥාවෙන් මනාව දක්නා ලද්දේ මැනවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරිසන්යෝනි ඇත්තෙම් ක්ෂය වූ ප්‍රේත විෂය ඇත්තෙම් ක්ෂය වූ අපාය දුර්ගති විනිපාත ඇත්තෙම් වෙමි. සෝවන් වූයෙම් විවසව පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බොධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.

 

පළමුවැනි වූ  පඤ්‌චභයවෙර සූත්‍රය  නිමියේය.