අඤ්‌ඤතිත්‌ථිය සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

3. දසබල වර්ගය

1.3.4

අඤ්‌ඤතිත්‌ථිය  සූත්‍රය

 

  

 

24. රජගහනුවර -

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පරව පා සිවුරැ ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “රජගහ නුවර පිඬු පිණිස හැසිරීමට ඉතා අලුයම මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස පහළ විය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළැඹියහ. එළැඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීවාහු ය:

ඇවැත්නි ශාරීපුත්‍රයනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයනි. කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හට ගත්තේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයනි, මෙහි ලා මහණ ගොයුම් තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු වූයේ ද, කෙසේ විසඳන්නා වූ අපි මහණ ගොයුම්හු විසින් කියන ලද්දක් කියන්නමෝ ද? මහණ ගොයුම්හට බොරුවෙන් නො ම අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොම පැමිණෙන්නේ ද’යි.

ඇවැත්නි, දුක ප්‍රත්‍යයයෙන් හට ගත්තෙකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.

ඇවැත්නි, කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලදැ යි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව හටගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි.

ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව (දුක්වෙදනා) විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ.

ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම් ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසුයේ ම ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ රජගහනුවර පිඬු පිණිස හැසිරැ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කලේය.

ආනන්ද, මැනවි. මැනවි. ශාරීපුත්‍ර තෙමේ ම පවසන්නේ මොනොවට පවසන්නේ ය. ආනන්ද, දුක ප්‍රත්‍යයෙන් හට ගත්තේ ය යි මා විසින් කියන ලදි. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. මා බොරුවෙන් නො ම අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද පැමිණෙන්නේ ය.

ආනන්ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශ ප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.

ආනන්ද, එහි කර්‍මවාදී වූ යම් මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පවසද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනු දු මෙරමා විසිනු දු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.

ආනන්ද, එක්කලෙක මම මේ රජගහනුවර ම කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වෙසෙමි. ආනන්ද එකල්හි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියෙමි. ආනන්ද, ඒ මට රජගහනුවර පිඬු පිණිස හැසිරීමට කල් වැඩි ය, මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් යෙහෙකැ”යි මේ අදහස වී ය. ආනන්ද, එකල්හි මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වීමි. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හිඳගත්තෙමි. ආනන්ද, එකත්පසෙක හිඳ ගත් මට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ:

ඇවැත්නි ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලදැයි පණවත්. ඇවැත්ති, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත්. මෙහි ලා අපගේ ආයුෂ්මත් ගෞතම තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු ද? කෙසේ විසඳන්නා වූ අපි ආයුෂ්මත් ගෞතමයන් විසින් කියන ලද්දක් කියන්නෝත් වන්නමෝ ද; ආයුෂ්මත් ගෞතමයන්ට බොරුවෙන් නො ද අභ්‍යාඛ්‍යාන කියන්නමෝ ද, දහමට අනුදහමක් පවසන්නමෝ ද, කරණු සහිත කිසියම් වාදානුපාතයෙක් පැමිණෙන්නේ ද යි.

ආනන්ද, මෙසේ කියන ලද මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මේ කීයෙමි. ඇවැත්නි, දුක ප්‍රත්‍යයෙන් හට ගත්තෙකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේත් වන්නේ ය. මට බොරුවෙන් නො ද අභ්‍යාඛ්‍යාන කරන්නේය දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය යි.

ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි, යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද්ද, එද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.

ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව (වෙදනා) විඳින්නාහු ය යන් මේ කාරණය විද්‍යාමාන නො වේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද්ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන් මේ කාරණය විද්‍යාමාන නො වේ යි.

වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි! වහන්ස, පුදුමයෙකි යම් හෙයෙකින් නම් එක් පදයකින් සියලු අර්‍ථය කියන ලද්දේ වන්නේ ද, (එහෙයිනි.) වහන්ස, මේ අරුත ම විතර විසින් කියනු ලබන්නේ ගැඹුරු වූයේත් ගැඹුරැ වැටහීම් ඇත්තේත් වන්නේ දෝ, ආනන්ද, එසේ වූ නම් එය ම මෙහි ලා වැටහේ වා.

වහන්ස, ඉදින් මා ඇවැත්නි ආනන්දයෙනි, ජරාමරණ කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් උත්පත්තිහේතු කොට ඇත්තේ ද , කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම්, වහන්ස, මෙසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. ඇවැත්නි, ජරාමරණ ජාතිය නිදාන කොට ඇත්තේ ය. ජාතිය හට ගැණුම් කොට ඇත්තේ ය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය හට ගැණුම් කොට ඇත්තේ ය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය ප්‍රභව කොට ඇත්තේ යයි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නේමි.

වහන්ස, ඉදින් මා “ඇවැත්නි, ආනන්දයෙනි, ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාතිය කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇතතේ දැ”යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, ජාතිය භවය නිදාන කොට ඇත්තේ ය. භවය සමුදය කොට ඇත්තේ ය. භවය ජාති කොට ඇත්තේ ය. භවහ ප්‍රභව කොට ඇත්තේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.

වහන්ස, ඉදින් මා “ඇවැත්නි ආනන්දයෙනි, භවහ කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇතතේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය. උපාදාන සමුදය කොට ඇත්තේ ය. උපාදාන ජාති කොට ඇත්තේ ය. උපාදාන ප්‍රභව කොට ඇත්තේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.

වහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම් “ඇවැත්නි, උපාදාන ... ඇවැත්නි, තෘෂ්ණාව ... ඇවැත්නි, වෙදනාව ...

වහන්ස, ඉදින් මා “ඇවැත්නි, ආනන්දයෙනි, ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ? යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරන ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, ස්පර්‍ශය ෂඩායතන නිදාන කොට ඇත්තේ ය, ෂඩායතන සමුදය කොට ඇත්තේ ය, ෂඩායතන ජාති කොට ඇත්තේ ය, ෂඩායතන ප්‍රභව කොට ඇත්තේ ය.

ඇවැත්නි, ස්පර්‍ශායතන සයෙහි ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සොකපරිදෙව දුක්ඛ දෝමනස්සුපායාසයෝ නිරද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.

 

සතර වැනි වූ අඤ්‌ඤතිත්‌ථිය උපනිස සූත්‍රය නිමියේ ය.