උපනිස සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

3. දසබල වර්ගය

1.3.3

උපනිස සූත්‍රය

 

  

 

23 සැවැත්නුවර -

මහණෙනි, මම දන්නහුට දක්නහුට ආස්‍රවක්ෂය කියමි. නො දන්නහුට නො දක්නහුට නො වේ. මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රවක්ෂය වේ ද? “මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ වේදනා ය. ... මේ සංඥාය. ... මේ සංස්කාර ය. ... මේ විඥානය ය. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය”යි මහණෙනි මෙ සේ දන්නහුට මෙසේ දක්නහුට ආස්‍රවක්ෂය වේ.

මහණෙනි, ආස්‍රවක්ෂය වූ කල්හි අර්‍හත්ඵලසඞ්ඛ්‍යාත ක්ෂයයෙහි යම් ඒ ප්‍රත්‍යෙවේක්ෂාඥානයෙක් වන්නේ ද, එය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ක්ෂයඥානයෙහි ප්‍රත්‍යය කුමක් ද? (අර්‍හතඵල) විමුක්තිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විමුක්තිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නොකියමි. මහණෙනි, විමුක්තියට ප්‍රත්‍යය කුමක් ද? විරාගය (මාර්‍ගය) යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විරාගය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, විරාගයට ප්‍රත්‍යය කුමක් ද? නිර්‍වෙදය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, නිර්‍වෙදය ද ප්‍රත්‍යය සහිත යයි මම කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, නිර්‍වෙදයට ප්‍රත්‍යය කුමක් ද? යථාභූතඥානදර්‍ශනය යි කිය යුතු වන්නේ ය.

මහණෙනි, යථාභූතඥානදර්‍ශනය ද ප්‍රත්‍යය සහිත ය යි මම කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, යථාභූතඥානදර්‍ශනයට ප්‍රත්‍යය කුමක් ද? සමාධිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සමාධිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සමාධියට ප්‍රත්‍යය කුමක් ද? සුඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සුඛය ද ප්‍රත්‍යය සහිත යයි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සුඛයට ප්‍රත්‍යය කුමක් ද? පස්සද්ධි ය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම පස්සද්ධිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, පස්සද්ධියට ප්‍රත්‍යය කුමක්ද? ප්‍රීතිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්‍රීතිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ප්‍රීතියට ප්‍රත්‍යය කුමක් ද? ප්‍රාමොද්‍යය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්‍රාමොද්‍යය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි.

මහණෙනි, ප්‍රාමොද්‍යයට ප්‍රත්‍යය කුමක් ද? ශ්‍රද්ධාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ශ්‍රද්ධාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ශ්‍රද්ධාවට ප්‍රත්‍යය කුමක් ද? දුඃඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම දුඃඛය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි මහණෙනි, දුඃඛයට ප්‍රත්‍යය කුමක් ද? ජාතිය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම ජාතිය ද ප්‍රත්‍යය සහිත යයි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ජාතියට ප්‍රත්‍යය කුමක් ද? භවය යි කිය යුතු වන්නේය. මහණෙනි, මම භවය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, භවයට ප්‍රත්‍යය කුමක් ද? උපාදානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම උපාදානය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, උපාදානයට ප්‍රත්‍යය කුමක් ද? තෘෂ්ණාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම තෘෂ්නාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, තෘෂ්ණාවට ප්‍රත්‍යය කුමක් ද? වේදනාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම වේදනාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, වේදනාවට ප්‍රත්‍යය කුමක් ද? ස්පර්‍ශය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ස්පර්‍ශය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි.

මහණෙනි, ස්පර්‍ශයට ප්‍රත්‍යය කුමක් ද? ෂඩායතනය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ෂඩායතනය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ෂඩායතනයට ප්‍රත්‍යය කුමක් ද? නාමරූප යි කිය යුතු වන්නේ යි. මහණෙනි, මම නාමරූප ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, නාමරූපයට ප්‍රත්‍යය කුමක් ද? විඥානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විඥානය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, විඥානයට ප්‍රත්‍යය කුමක් ද? සංස්කාර ය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, සංස්කාර ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සංස්කාරයන්ට ප්‍රත්‍යය කුමක් ද? අවිද්‍යාව යි කිය යුතු වන්නේ ය.

මහණෙනි, මෙසේ සංස්කාරයො අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥානය සංස්කාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නාමරූප විඥානය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ෂඩායතන නාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ස්පර්‍ශය ෂඩායතන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තෘෂ්ණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඃඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමොද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමොද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිර්වේදය යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිර්වේදය ප්‍රත්‍යය කොට ඇත්තේය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවෙක්ෂාඥානය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.

මහණෙනි, කඳුමුදුනක මහත් දියබිඳු ඇති වැස්ස වස්නා කල්හි ඒ දිය පහත් බිම අනුව පවත්නේ කඳු බෑවුම් පැළිවිවර හා කුඩා දිය අගල් යම් සේ පුරවා ද, කඳුබෑවුම් පැළිවිවර සහ කුඩා දිය අගල් පිරුණාහු කුඩා වළවල් පුරවත් ද, කුඩා වළවල් පිරුණාහු මහ වළවල් පුරවත් ද, මහවළවල් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවත් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවත් ද, මහාගඞ්ගා පිරුණාහු මහසමුදුර පුරවත් ද,

මහණෙනි, එපරිද්දෙන් ම සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥානය සංස්කාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නාමරූප විඥානය ප්‍රත්‍යය කොට ඇත්තේ ය ෂඩායතන නාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ස්පර්‍ශය ෂඩායතන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වෙදනාව ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තෘෂ්ණාව වෙදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඃඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමොද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමොද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිර්‍වෙදය යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිර්‍වෙදය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවෙක්ෂාඥානය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.

තෙවැනි වූ උපනිස සූත්‍රය නිමියේ ය.