උපවාණ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

3. දසබල වර්ගය

1.3.6

උපවාණ  සූත්‍රය

 

  

26. සැවැත්නුවර -

ඉක්බිති ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:

වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසින්ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක මෙරමා විසින් ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලද්දේ ය යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ හේතුප්‍රත්‍යය රහිතව (ඉබේ) හටගත්තේය යි පණවත්,

වහන්ස, මෙහි ලා අපගේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියනසුලු සේක් ද? කෙසේ පවසන්නා වූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්ද අනුව කියන්නෝ වන්නමෝ ද? භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො එන්නේ ද?

උපවාණ, දුක ප්‍රත්‍යයයෙන් හටගත්තකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොටය මෙසේ කියන්නේ මා විසින් කියන ලද්ද අනු ව කියන්නෙක් වන්නේ ය. බොරුවෙන් මා නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද එන්නේ ය.

උපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලදැ යි පණවද්ද, ළු ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.

උපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්‍ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්‍ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වෙයි.

 

 

සය වැනි වූ උපවාණ සූත්‍රය නිමියේ ය.