දෙවැනි දසබල සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

3. දසබල වර්ගය

1.3.2

දෙවැනි  දසබල සූත්‍රය

 

   

 

22. සැවැත්නුවර -

මහණෙනි, දසබලයෙන් සමන්වාගත වූ සිවුවැදෑරැම් විසාරද බැවින් යුක්ත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිස්මැද සිංහනාද කෙරෙයි. ධර්‍මචක්‍රය පවත්වයි. (කෙසේ ද යත්:) මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ ව්දනාව. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ නිරෝධය මෙසේ ය. මේ සංඥාව. සංඥාවේ හටගැන්ම මෙසේ ය. සංඥාවේ නිරෝධය මෙසේ ය. මේ සංස්කාරය. සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ ය. මේ විඥානයැ. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරොධය මෙසේ ය. මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.

කෙසේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ, ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරොධය වේ.

මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මනාකොට දේශනා කරණලද්දේ ය. ප්‍රකට කරණලද්දේ ය. විවෘත කරණලද්දේ ය. ප්‍රකාශ කරණලද්දේය. සුන්වැරහැලි ඇත්තේ ය, හෙවත් සුන්කසට ඇත්තේ ය. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දේසනා කරණලද ප්‍රකට කරණලද විවෘත කරණලද ප්‍රකාශ කරණලද සුන්වැරහැලි ඇති ධර්‍මය ඇති කල්හි සැදැහැයෙන් පැවිදි වූ කුලපුතු විසින් “සිරැරෙහි සම ද නහර ද ඇට ද ඒකාන්තයෙන් ඉතිරි වේවා. මස් ලේ වියලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු ඒ යමක් වේ නම් ඊට නො පැමිණ වීර්‍ය්‍යයාගේ සිටුමෙක් (=නැවැත්මෙක්) නො වන්නේ ය” යි වැර අරඹන්නට සුදුසු ම ය.

මහණෙනි, කුසීත පුද්ගල තෙමේ පවිටු අකුසල් දහමින් ගැවසුනේ දුක සේ වෙසෙයි. මහත් වූ ද යහපත් අර්‍තථය පිරිහෙළයි. මහණෙනි, ඇරඹූ වැර ඇති පුඟුල් තෙමේ පවිටු අකුසල් දහමින් වෙන් වූයේ සුවසේ වෙසෙයි. මහත් වූ ද යහපත් අර්‍තවය සම්පූර්‍ණ කෙරෙයි (රහත් බවට පැමිණෙයි)

මහණෙනි, හීන වූ ශ්‍රද්ධාදියෙන් අග්‍ර වූ රහත් බවට පැමිණීමෙක් නො වේ. අග්‍ර වූ ශ්‍රද්ධාදියෙන් අග්‍ර වූ රහත්බවට පැමිණීම වේ. මහණෙනි, මේ බඹසර පහන් මිහිරි පැනක් බඳු ය. ශාස්තෲන් වහන්සේ හමු වූ සේක. මහණෙනි, එහෙයින් නො පැමිණි ධර්‍මයට පැමිණීම පිණිස අවබෝධ නො කළ ධර්‍මය අවබෝධ කිරීම පිණිස පසක් නො කළ ධර්‍මය පසක් කිරීම පිණිස වැර අරඹවු: “මෙසේ අපගේ පැවිද්ද නො සිස් වන්නේ ය. සඵල වන්නේ ය. වැඬීම් සහිත වන්නේ ය. අපි යම් කෙනකුන්ගේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමෝ නම් ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප විෂයයෙහි මහත්ඵල මහානිසංස වන්නාහ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ය. මහණෙනි, ආත්මාර්‍තථය අපේක්ෂා කරන්නහු විසිනුදු නො පමා ව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය. පරාර්ථය අපේක්ෂා කරන්නහු විසිනුදු නො පමාව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය. මහණෙනි, උභයාර්‍තථය අපේක්ෂා කරන්නහු විසිනුදු නො පමා ව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය.

 

 

දෙවැනි වූ දසබල සූත්‍රය නිමියේ ය.