පච්‌චය සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

3. දසබල වර්ගය

1.3.7

පච්‌චය සූත්‍රය

 

 

  

27. සැවැත්නුවර -

මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.

මහණෙනි, ජරාමරණ කවරේ ද යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි යම් දිරීමෙක් දිරණ බවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැලි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්වනිකායෙන් ඒ ඒ සත්ත්වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් සම්මුති මරණයෙක් ස්කන්ධයනගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතින්ද්‍රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණ ය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදය වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි.

මහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළි ගැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාතිය යි කියනු ලැබේ. භවසමුදයෙන් ජාති සමුදය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධිය යි.

මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: ... මහණෙනි, වෙදනා නම් කවර යත්: ... මහණෙනි, ස්පර්‍ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: ... මහණෙනි, නාම රූප නම් කවර යත්: ... මහණෙනි, විඥාන නම් කවර යත්: ... *මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි: කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මේ සංස්කාර ය යි කියනු ලැබේ. අවිද්‍යා සමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරොධය වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටඞ්ගිකමාර්‍ගය ම සංස්කාරනිරොධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසම්ධි යි.

මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යය දනී ද, මෙසේ ප්‍රත්‍යයසමුදය දනී ද, මෙසේ ප්‍රත්‍යයනිරොධය දනී ද, මෙසේ ප්‍රත්‍යය නිරොධගාමිනීප්‍රතිපදාව දනී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මාර්‍ගදෘෂ්ටියෙන් යුක්ත ය යි ද, මාර්‍ගදර්‍ශනයෙන් යුක්ත ය යි ද, මේ සදහමට පැමිණීයේ ය යි ද, මේ සදහම දකී ය යි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත ය යි ද, ශෛක්ෂවිද්‍යාවෙන් සමන්වාගත ය යි ද, (මාර්‍ගසඞ්ඛ්‍යාත) ධර්‍මෙස්‍රොතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වූ නිර්‍වෙධිප්‍රඥා ඇත්තේ ය යි ද නිවන් දොරට හැනී සිටි ය යි ද කියනු ලැබේයි.


* “මහණෙනි, භවය නම් කවරයත් …” ආදියෙහි පෙය්‍යලමුඛයෙන් සංක්ෂිප්ත ප්‍රත්‍යය විභාගය බුද්ධවර්‍ගයෙහි විභඞ්ග සූත්‍රයෙහි කී ලෙසින් දතයුතු. (පි.5, 7)

 

සත්වැනි වූ පච්‌චය සූත්‍රය නිමියේ ය.