භූමිජ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

3. දසබල වර්ගය

1.3.5

භූමිජ  සූත්‍රය

 

  

25. සැවැත්නුවර -

ඉක්බිති ආයුෂ්මත් භූමිජ ස්ථිවිර තෙමේ සවස්කල පටිසල්ලානයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් භූමිජ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළේය:

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසින් කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ ඔහු සුවදුක් මෙරමා විසින් කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණලද්දේ ඉබේ හටගත්තකැ යි පණවත්.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙහි ලා අපගේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියන සුලු සේක් ද? කෙසේ විසඳන්නා වූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියනලද්දක් කියන්නෝත් වන්නමෝ ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ ද? යී.

ඇවැත්නි, සුවදුක් ප්‍රත්‍යයෙන් හටගත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරණු සහිත කිසි යම් වදානුපාතයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ ය.

ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.

ඇවැත්නි, එහි කර්‍මවාදී වූ ඒ මහණ බමුණු කෙනෙකුත් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වන්නේ ය. යම් ඒ .. යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන්ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ.

ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමග පැවැති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසී ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ යම් තාක් කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.

ආනන්ද, මැනවි, මැනවි, ශාරීපුත්‍රස්ථවිර තෙමේ ම විසඳන්නේ ඒ තත්වූ පරිදි මොනවට විසඳන්නේ ය. ආනන්ද, සුවදුක් ප්‍රත්‍යයයෙන් හටගත්තේ යයි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියනලද්දක් කියන ලද්දේත් වන්නේ ය. මට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.

ආනන්ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු, කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, එය ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.

ආනන්ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ.

ආනන්ද, කය ඇති කල්හිත් කායසඤ්චෙතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්ද, වචනය ඇති කල්හිත් වචීයසඤ්චෙතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්ද, සිත ඇති කල්හිත් මනොසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. අවිද්‍යාප්‍රත්‍යයෙන් ද (සුවදුක්) උපදි.

යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද තෙමේත් ඒ කායසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, මෙරමාත් ඔහුගේ ඒ කායසංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, මනා දැනුම් ඇත්තේත් ඒ කායසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ සුවදුක් උපදී ද, ආනන්ද, මනා දැනුම් නැත්තේත් ඒ කායසංස්කාර රැස් කෙරේ.

යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ එ සුවදුක් උපදී ද, ආනන්ද තෙමේත් ඒ වාක්සංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, මෙරමාත් ඔහුගේ ඒ වාක්සංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද මනා දැනුම් ඇත්තේත් ඒ ... ආනන්ද, මනා දැනුම් නැත්තේත් ඒ වාක්සංස්කාර රැස් කෙරෙයි.

යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද තෙමේත් ඒ මනඃසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදි ද, ආනන්ද, මෙරමාත් ඔහුගේ ඒ මනඃසංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, මනා දැනුම් ඇත්තේත් ඒ ... යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, මනා දැනුම් නැත්තේත් ඒ මනඃසංස්කාර රැස් කෙරෙයි. ආනන්ද, මේ ධර්‍මයන්හි අවිද්‍යාව යුක්තවූවා ය.

යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් ඒ කය නොවේ. යම් ප්‍රත්‍යය කින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ වචනය නො වේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ සිත නොවේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ කෙත නො වේ. ... ඒ වාස්තුව නො වේ. ... ඒ ආයතනය නො වේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ අධිකරණය නො වේ.

 

පස් වැනි වූ භූමිජ සූත්‍රය නිමියේ ය.