දුතිය මහාරුක්ඛ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

6.දුක්ඛ වර්ගය

1.6.6

 

දුතිය මහාරුක්‌ඛ සූත්‍රය

   

 

56. සැවැත්නුවර-

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනී, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.

මහණෙනි, උපාදානීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිදින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා මුල් උදුරන්නේ ය ... සැඬපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ මුදුන සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පත් කරණ ලද්දේ මතු නො හටගන්නා ස්වභාව ඇත්තේ වන්නේ ය.

මහණෙනි, එසෙයින් ම උපාදානීය ධර්‍මයන්හි දොෂ දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරොධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.

 සයවැනි වූ දුතිය මහාරුක්‌ඛ සූත්‍රය  නිමියේය.