නිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

6.දුක්ඛ වර්ගය

1.6.10

 

 නිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය

   

 

60. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වැඩවෙසෙන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ වහන්ස, ආශ්චර්ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම දකිනු ද ලැබේ. එහෙත් මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ ය” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

ආනන්ද, එසේ නොකිය, ආනන්ද එසේ නො කිය. ආනන්ද, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම ගැඹුරුව පෙණේ. ආනන්ද, මේ දහම නො දැනීමෙන් අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ සත්ත්වයෝ අවුල් වූ නූල් පන්දක් මෙන් වූවාහු, පෙහෙරුන්ගේ කැඳෙහි නූල් ගුලාවක් හෝ කුරුළුකැදැල්ලක් මෙන් ව්‍යාකූල වූවාහු, මුදුතණ බබුස්තණ මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන සසර නො ඉක්මවත්.

ආනන්ද, උපාදානීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.

ආනන්ද, යම්සේ මහරුකෙක් වේද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට ගමන් ගත් යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඔජස උඩට ගෙණ යේ. ආනන්ද, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ ඉතා දිගුකලක් සිටුනේ ය.

ආනන්ද, එසෙයින් ම උපාදානීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.

ආනන්ද, උපාදානීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

ආනන්ද, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එහි එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස කනින්නේ ය. හාත්පස කැන යටත් පිරිසයින් සුවඳහොට මුල් පමණවූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුළඟෙහි වියලන්නේ ය. අවුසුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඬ පහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. ආනන්ද, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස්සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො හටන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.

ආනන්ද, එසෙයින් ම උපාදානීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.

 දසවැනි වූ නිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය නිමියේය.

 

දුක්ඛවර්‍ගය සවැනි යි.

එහි උද්දානය:

පරිවීමංසන උපාදාන සූත දෙකය, සංයෝජන සූත දෙක ය, මහාරුක්ඛ සූත දෙක ය, සත්වන තරුණ රුක්ඛ සූත්‍රය, නාමරූප, විඤ්ඤාණ, නිදාන සූත්‍රය යි සූත්‍ර දශයෙකි.