මහාරුක්ඛ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

6.දුක්ඛ වර්ගය

1.6.5

 

 මහාරුක්‌ඛ සූත්‍රය

   

 

55. සැවැත්නුවර-

මහණෙනි, උපාදානීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඔජස උඩට ගෙණ යයි. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් පවත්නේ ය.

මහණෙනි, එපරිද්දෙන් ම උපාදානීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

මහණෙනි, උපාදානීය ධර්‍මයන්හි දොෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල සිඳින්නේ ය. මුල සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූත් මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුලඟෙහි වියලන්නේ ය. අවුසුලඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලගෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දේ, නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.

මහණෙනි, එසෙයින් ම උපාදානීය ධර්‍මයන්හි දොෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.

 

 

 පස්වැනි වූ මහාරුක්‌ඛ සූත්‍රය  නිමියේය.