පටිච්චසමුප්පාද සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

 

සංයුත්තනිකාය

ද්විතීය භාගය

 

නිදානවර්ගය

 

1. අභිසමය සංයුත්‌තය

1. බුද්ධ වර්ගය

 

1.1.1.       

පටිච්චසමුප්පාද සූත්‍රය

 

ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

  

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 

මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. දේශනා කරමි. ‘එසේ ය, වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 

මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් (නාමය ද, රූපය ද,) නමරූපය ද වේ. නාමරූපප්‍රත්‍යයයෙන් (ෂ ෂ්ඨායතනයද) ෂඩායතනය ද වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ හටගණිත්. මේසේ මේ හුදු දුඃඛස්කන්ධයාගේ උත්පත්තිය වේ. මහණෙනි, මේ (ප්‍රත්‍යයාකාරය) පටිච්චසමුප්පාද ය යයි කියනු ලැබේ.

 

අවිද්‍යාවේ ම අශේෂවිරාග (අනුශය සමුදඝාත) නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධය වේ. ස්පර්ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භාවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ, සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපයාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.

පලමු වැනි පටිච්චසමුප්පාද සූත්‍රය නිමියේ ය.