විපස්සී සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

 

සංයුත්තනිකාය

ද්විතීය භාගය

 

නිදානවර්ගය

 

1. අභිසමය සංයුත්‌තය

1. බුද්ධ වර්ගය

1.1.4

විපස්‌සී සූත්‍රය

ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

 

 

4. සැවැත්නුවර -

 

මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අරහත් විපස්සී සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් විය: “මේ ලෝවැසි තෙමේ දුක්පත් ම ය. උපදියි. දිරයි. මියෙයි චුත වෙයි. (නැවතත්) උපදියි. එහෙත් මේ ජරාමරණ දුකෙහි නික්ම යෑම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකෙහි නික්ම යාමෙක් පෙණෙන්නේ දැ” යි.

 

ඉක්බිති විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් ජරාමරණ වේ දැ”?යි මේ අදහස පහළ විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්‍රඥායෙන්ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” යි අවබෝධ වි ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සි බෝධිසත්වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් ඉපැද්ම වේ දැ”?යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “භවය ඇති කල්හි ඉපැද්ම වෙයි. භවය ප්‍රත්‍යයකොට ඉපැද්ම වේ”යි අවබොධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්වයන් වහන්සේට “කුමක් ඇති කල්හි භවය වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් භවය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “උපාදාන ඇති කල්හි භවය වෙයි. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ” යි අවබෝධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්වයන්ට “කුමක් ඇති කල්හි උපාදාන වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් උපාදාන වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ” යි අවබෝධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “වෙදනාව ඇති කල්හි තෘෂ්ණාව වෙයි. වෙදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ” යි අවබොධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි වෙදනාව වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් වෙදනාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සි බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ස්පර්ශය ඇති කල්හි වෙදනාව වෙයි. ස්පර්ශප්‍රත්‍යයයෙන් වෙදනාව වේ” යි අවබොධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ස්පර්ශය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ස්පර්ශය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ෂඩායතනය ඇති කල්හි ස්පර්ශය වෙයි. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ” යි අවබොධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ෂඩායතනය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ෂඩායතනය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සි බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “නාමරූප ඇති කල්හි ෂඩායතනය වෙයි. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ” යි අවබෝධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි නාමරූප වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් නාමරූප වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “විඥානය ඇති කල්හි නාමරූප වෙයි. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ” යි අවබෝධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් විඤ්ඤාණය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “සංස්කාරය ඇති කල්හි විඥානය වෙයි. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ” යි අවබෝධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි සංස්කාරයෝ වෙත් ද? කිනම් ප්‍රත්‍යයයෙකින් සංස්කාරයෝ වෙත් ද?” යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති”යි අවබෝධ වී ය.

 

මෙසේ මේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි … මෙසේ මේ හුදු දුක්රැසෙහි හට ගැණීම වෙයි. මහණෙනි, විපස්සී බෝසතුන්ට “සමුදය ය, සමුදය ය” යි පෙර නො ඇසූවිරූ දහම්හි දර්ශනය පහළ විය. නුවණ පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ජරා මරණ නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණනිරොධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ඉපැද්ම නැති කල්හි ජරාමරණ නො වේ. ඉපැද්ම නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරොධය වේ”යි අවබොධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ඉපැද්ම නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ඉපැද්ම නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “භවය නැති කල්හි ඉපැද්ම නො වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපැද්ම නිරුද්ධ වේ”යි අවබෝධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි භවය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “උපාදාන නැති කල්හි භවය නො වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ”යි අවබෝධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි උපාදාන නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “තණ්හාව නැති කල්හි උපාදාන නො වේ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානනිරොධය වේ”යි අවබෝධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි තණ්හාව නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “වේදනාව නැති කල්හි තණ්හාව නො වේ. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හානිරොධය වේ”යි අවබෝධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි වෙදනාව නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් වෙදනානිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ස්පර්ශය නැති කල්හි වෙදනාව නො වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වෙදනානිරොධය වේ”යි අවබෝධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ස්පර්ශය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ස්පර්ශනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ෂඩායතනය නැති කල්හි ස්පර්ශය නො වේ. ෂඩායතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශනිරොධය වේ”යි අවබොධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ෂඩායතනය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ෂඩායතනනිරොධය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපාය ප්‍රඥායෙන් ද “නාමරූප නැති කල්හි ෂඩායතනය නො වේ. මනස්කාරයෙන්ද නාමරූප නිරුද්ධ වීමෙන් ෂඩායතනනිරෝධය වේ”යි අවබෝධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි නාමරූප නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “විඤ්ඤාණය නැති කල්හි නාමරූප නො වේ. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූපනිරොධය වේ”යි අවබෝධ වී ය.

 

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි විඤ්ඤාණය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “සංස්කාර නැති කල්හි විඤ්ඤාණය නො වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණනිරෝධය වේ”යි අවබෝධ විය.

 

මහණෙනි, ඉක්බිති විපස්සීබෝසතුන්ට “කුමක් නැති කල්හි සංස්කාර නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව නැති කල්හි සංස්කාර නො වේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරොධයවේ ය”යි අවබොධ වී ය.

 

මෙසේ මේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරොධය වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානනිරොධය වේ. - … - මෙසේ මේ හුදු දුක්රැසේ නිරොධය වේ.

 

මහණෙනි, විපස්සී බෝසතුන්ට “නිරොධය නිරොධය” යි පෙර නො ඇසූවිරූ දහම්හි දර්ශනය පහළ වි ය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

 

(සත් බුදුවරයන් වහන්සේ පිළිබඳ ව ම මෙසේ විස්තර කටයුතු ය.)

සිව්වැනි වු විපස්සී සූත්‍රය නිමියේ ය.