විභංග සූත්‍රය

සංයුත්තනිකාය

ද්විතීය භාගය

 

නිදානවර්ගය

 

1. අභිසමය සංයුත්‌තය

1. බුද්ධ වර්ගය

1.1.2

විභඞ්‌ග සූත්‍රය

 

ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

 

 

 

 

  

2. සැවැත්නුවර -

 

මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. බෙදා දක්වමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. කියමි. “එසේ ය වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 

මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ස්ර්ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

 

මහණෙනි, ජරාමරණ කවරේ ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙහෙ පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ.

 

මහණෙනි, මරණය කවරේ ද? ඒ ඒ සත්ත්වනිකායයෙන් ඒ ඒ සත්ත්වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් කාලක්‍රියාවෙක් (සම්මුතිමරණයෙක්) ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතෙන්ද්‍රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය, මහණෙනි, ජරාමරණ ය යි කියනු ලැබේ.

 

මහණෙනි, ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළිලැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාති ය යි කියනු ලැබේ.

 

මහණෙනි, භවය කවරේ ද? මහණෙනි, කාමභවය, රූපභවය, අරූපභවය යි මේ භව තුණෙකි. මහණෙනි, මේ භව ය යි කියනු ලැබේ.

 

මහණෙනි, උපාදාන කවරේ ද? මහණෙනි, කාමඋපාදානය දිට්ඨිඋපාදානය සීලබ්බතඋපාදානය අත්තවාදඋපාදාන ය යි මේ උපාදාන සතරෙකි. මහණෙනි, මේ උපාදාන ය යි කියනු ලැබේ.

 

මහණෙනි, තෘෂ්ණාව කවරේ ද? මහණෙනි, රූපතෘෂ්ණාව ශබ්දතෘෂ්ණාව ගන්ධතෘෂ්ණාව රසතෘෂ්ණාව ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ධර්මතෘෂ්ණාව යි මේ තෘෂ්ණාරාශි සයෙකි. මහණෙනි, මේ තෘෂ්ණා යයි කියනු ලැබේ.

 

මහණෙනි, වේදනාව කවරේ ද? ඇසෙහි (අරමුණ) ගැටීමෙන් වන වේදනා ය, කණෙහි ගැටීමෙන් වන වේදනා ය, නැහැයෙහි ගැටීමෙන් වන වේදනා ය, දිවෙහි ගැටීමෙන් වන වේදනා ය, සිතෙහි ගැටීමෙන් වන වේදනා ය යි මේ වේදනාරාශී සයෙකි. මහණෙනි, මේ වේදනා ය යි කියනු ලැබේ.

 

මහණෙනි, ස්පර්ශය කවරේ ද? මහණෙනි, ඇසෙහි (අරමුණ) ගැටීම ය, කණෙහි ගැටීම ය, නැහැයෙහි ගැටීම ය, දිවෙහි ගැටීම ය, කයෙහි ගැටීම ය, සිතෙහි ගැටීම ය යි මේ ස්පර්ශරාශි සයෙකි. මහණෙනි, මේ ස්පර්ශ ය යි කියනු ලැබේ.

 

මහණෙනි, ෂඩායතන කවරේ ද? චක්ඛුආයතනය, සොතආයතනය, ඝාණආයතනය, ජිව්හාආයතනය, කායආයතනය, මනආයතනය, මහණෙනි, මේ ෂඩායතන ය යි කියනු ලැබේ.

 

මහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශ ය, මනස්කාර ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද රූපය ද යන මේ නාමරූප ය යි කියනු ලැබේ.

 

මහණෙනි, විඤ්ඤාණය කවරේ ද? මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනොවිඤ්ඤාණ ය, යි මේ විඤ්ඤාණ රාශි සයෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණය යි කියනු ලැබේ.

 

මහණෙනි, සංස්කාරයෝ කවරහු ද? මහණෙනි, කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි මේ සංස්කාර තුණෙකි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.

 

මහණෙනි, අවිද්‍යාව කවරේ ද? මහණෙනි, දුඃඛසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛසමුදයසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරොධසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි යම් නො දැනීමෙක් වේ ද, මහණෙනි, මේ අවිද්‍යා ය යි කියනු ලැබේ.

 

මහණෙනි, මෙසේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගණිත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. … මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

 

අවිද්‍යාවගේ ම අශේෂවිරාග නම් වූ නිරොධයෙන් සංස්කාරනිරොධය වේ. සංස්කාරනිරොධයෙන් විඥානනිරොධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරොධය වේ.

දෙවැනි වූ විභංග සූත්‍රය නිමියේ ය.