අස්‌සුතවන්තු සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

7.මහා වර්ගය

1.7.1

 

අස්‌සුතවන්තු සූත්‍රය

   

61. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එහි දී ... වදාළ සේක:

මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.

මහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඤ්ඤාණ යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කළකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු විසින් බොහෝ කලක් මුළුල්ලෙහි ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාදියෙන්) බැස ගන්නා ලදී. මමත්වය කරණ ලදී. පරාමර්ශනය කරණ ලදී. එහෙයින් එහිලා නූගත් පුහුදුන් තෙමේ උකටලී වන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙන්නට නො සමත් ය.

මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සතරමහාභූතයන්ගෙන් හටගත් ශරීරය ආත්ම ය යි ගන්නේ නම් උතුම්. සිත (එලෙස ගැනීම) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතරමහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක් වසක් සිටුනේ ම, දෙවසක් සිටුනේ ම, තෙවසක් සිටුනේ ම, සිවුවසක් සිටුනේ ම, පස්වසක් සිටුනේ ම, දසවසක් සිටුනේ ම, විසිවසක් සිටුනේ ම, තිස්වසක් සිටුනේ ම, සතලිස්වසක් සිටුනේ ම, පනස් වසක් සිටුනේ ම, සියවසක් සිටුනේ ම, ඉන් වැඩියක් කල් සිටුනේ ම පැණේ. මහණෙනි, යමක් මේ සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ සිත රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.

මහණෙනි, වඳුරෙක් මහවනෙහි හැසිරෙණුයේ යම්සේ අත්තක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, මහණෙනි, එසෙයින් ම මේ යමක් සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ (සිත) රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ. (සිත අරමුණක් පාසා වෙනස්වන බව කියුසේ ය.)

මහණෙනි, එහි ලා ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවක තෙමේ පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරේ ද, මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මෙය ඇතිවීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වෙයි. මේ හේතුව නිරුද්ධ වීමෙන් මේ ඵලය නිරුද්ධ වේ. ඒ නම් අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

අවිද්‍යාව ම නිරවශේෂයෙන් නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.

මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ දක්නේ රූපයෙහි ද කළකිරෙයි. වේදනාවෙහි ද කළකිරෙයි. සංඥාවෙහි ද කළකිරෙයි. සංස්කාරකයන්හිද කළකිරෙයි. විඥානයෙහි ද කළකිරෙයි. කළකිරෙනුයේ නො ඇලේ. නො ඇලෙනුයේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ඉපදීම ක්ෂය වී ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුත්ත කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගනියි.

 

 

පළමුවැනි වූ අස්‌සුතවන්තු සූත්‍රය නිමියේය.