උපයන්‌ති සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

7.මහා වර්ගය

1.7.9

උපයන්‌ති සූත්‍රය

  

 

69. සැවැත්නුවර

මහණෙනි, මහමුහුද ගලන්නේ මහාගඞ්ගාවන් පුරවයි. මහාගඞ්ගා ගලන්නාහු කුඩා ගඞ්ගාවන් පුරවත්. කුඩා ගඞ්ගා ගලන්නාහු මහහෙප් පුරවත්. මහහෙප් ගලන්නාහු කුඩා හෙප් පුරවත්. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව වැඩෙන්නී සංස්කාර වඩයි. සංස්කාරයෝ වැඩෙන්නාහු විඤ්ඤාණය වඩත්. විඤ්ඤාණය වැඩෙන්නේ නාමරූප වඩයි. නාමරූප වැඩෙන්නේ සළායතන වඩයි. සළායතන වැඩෙන්නේ ඵස්සය වඩයි. ඵස්සය වැඩෙන්නේ වේදනාව වඩයි. වේදනාව වැඩෙන්නී තණ්හාව වඩයි. තණ්හාව වැඩෙන්නී උපාදාන වඩයි. උපාදාන වැඩෙන්නේ භවය වඩයි. භවය වැඩෙන්නේ ජාතිය වඩයි. ජාතිය වැඩෙන්නී ජරාමරණ වඩයි.

මහණෙනි, මහමුහුද බැස යන්නේ මහාගඞ්ගා බස්වයි. මහාගඞ්ගා බැස යන්නාහු කුඩා ගඞ්ගා බස්වත්. කුඩා ගඞ්ගා බැස යන්නාහු මහහෙබ් බස්වත්. මහහෙබ් බැස යන්නාහු කුඩා හෙබ් බස්වත්. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව පහ ව යන්නී සංස්කාර පහ කෙරෙයි. සංස්කාරයෝ පහ ව යන්නාහු විඥානය පහ කෙරෙත්. විඥානය පහ ව යන්නේ නාමරූප පහ කෙරෙයි. නාමරූප පහ ව යන්නේ ෂඩායතන පහ කෙරෙයි. ෂඩායතන පහ ව යන්නේ ස්පර්ශය පහ කෙරෙයි. ස්පර්ශය පහ ව යන්නේ වේදනාව පහ කෙරෙයි. වේදනාව පහ ව යන්නී තෘෂ්ණාව පහ කෙරෙයි. තෘෂ්ණාව පහ ව යන්නී උපාදාන පහ කෙරෙයි. උපාදාන පහ ව යන්නේ භවය පහ කෙරෙයි. භවය පහ ව යන්නේ ජාතිය පහ කෙරෙයි. ජාතිය පහ ව යන්නී ජරාමරණ පහ කෙරේ යි.

  

නවවැනි වූ උපයන්‌ති  සූත්‍රය නිමියේය.