කොසම්‌බි සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

7.මහා වර්ගය

1.7.8

 

 කොසම්‌බි සූත්‍රය

  

68. එක්කලෙක ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ද ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ද ආයුෂ්මත් නාරද තෙරණුවෝ ද ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද කොසඹෑනුවර සමීපයෙහි ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති.

එකල්හි ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ආයුෂ්මත් මූසිල තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, පරම්පරාකථායෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි ප්‍රත්‍යවේක්ෂාවෙන් තමා කෙරෙහි ම වූ දැනීමක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි. මම මෙය දකිමි.

ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ ය යි ... තණ්හා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ යි ... ඵස්ස ප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... සළායතන ප්‍රත්‍යයයෙන් ඵස්ස වේ ය යි ... නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ ය යි ... විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සඞ්ඛාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සඞ්ඛාර වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.

ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම ... දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය යි ... උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය යි ... තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය යි ... වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ ය යි ... ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය යි ... සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ය යි ... නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ය යි ... විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය යි ... සඞ්ඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය යි ... අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්කයෙන් තොරව ම දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.

ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිවන ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිල තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිර්වාණය ය යි මෙය මම දනිමි, මෙය මම දකිමි. එසේ නම් ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ක්ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් මූසිල තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.

ඉක්බිති ආයුෂ්මත් නාරද තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි සවිට්ඨයෙනි, මම මේ පැණය ලබන්නෙම් නම් මැනවි. මාගෙන් මේ පැණය විචාරණු මැනවි. මම ඔබට මේ පැණය විසඳන්නෙමි”යි. ආයුෂ්මත් නාරද තෙරණුවෝ මේ පැණය ලබත්වා, ආයුෂ්මත් නාරද තෙරුන්ගෙන් මම මේ පැණය විචාරමි. ආයුෂ්මත් නාරද තෙරණුවෝ මේ පැණය මට විසඳත්වා.

ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, නාරදයෙනි, ශ්‍රද්ධාවෙන් තොර ව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ය යි තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරදහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ය’ යි මම මෙය දනිමි, මම මෙය දකිමි.

ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’යි තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද හට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය’යි ... ‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’යි තමන් විසින් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි.

ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධය නිවන ය’ යි තමන් විසින් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධය නිවන’ ය යන මෙය මම දනිමි, මෙය මම දකිමි.

එසේ නම් ආයුෂ්මත් නාරද තෙරණුවෝ ක්ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. ඇවැත්නි, භව නිරෝධය නිවන ය යි මවිසින් සම්‍යක් ප්‍රඥාවෙන් මැනවින් දක්නා ලදී. ක්ෂීණාස්‍රව වූ රහතෙක් නො ද වෙමි. ඇවැත්නි, යම් සේ කතරමගෙක ලිඳක් වේ ද, එහි රැහැනෙක් නො ම වන්නේ ය. බඳුනෙක් නො ම වන්නේ ය.එකල්හි ගිමෙන් තැවුණු ගිමෙන් පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමති පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ ඒ ලිඳ බලන්නේ ය. ඔහුට ජලය ය යි දැනීම වන්නේ ය. කයින් පැහැස නො ද වෙසෙන්නේ ය. ඇවැත්නි, එසෙයින් ම භව නිරෝධය නිවන ය යි මනා නුවණින් තතුසේ දක්නා ලදී. ක්ෂීණාස්‍රව වූ රහතෙක් නො ද වෙමි. මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ට “ඇවැත්නි සවිට්ඨයෙනි, මෙසේ කියන ඔබ ආයුෂ්මත් නාරද තෙරුන්ට කුමක් කියහි දැ”යි මෙය කීහ. ඇවැත්නි ආනන්දයෙනි , මෙසේ මෙසේ කියන මම ආයුෂ්මත් නාරද තෙරුන්ට යහපතින් තොර කුසලින් තොර කිසිවක් නො කියමි යි.

 

 

අටවැනි වූ කොසම්‌බි සූත්‍රය නිමියේය.