දුතිය අස්‌සුතවන්තු සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

7.මහා වර්ගය

1.7.2

දුතිය අස්‌සුතවන්තු සූත්‍රය

62. සැවැත්නුවර

මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි කළකිරෙන්නේත් නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි කළකිරෙන්නේ නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි.

මහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඥාන යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කළකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙනු කැමැති වන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු චිසින් දිගුකලක් මුළුල්ලෙහි (මේ සිත) ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාවෙන්) බැස ගන්නා ලද්දේය. මමත්වය කරණ ලද්දේය. දෘෂ්ටියෙන් පරාමර්ශනය කරණ ලද්දේය. එහෙයින් එහි පුහුදුන් තෙමේ කළකිරෙන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙනු කැමැති වන්නට නො සමත් ය.

මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ කය ආත්ම වශයෙන් ගන්නේ නම් මැනවි. සිත (ආත්ම වශයෙන් ගන්නේ නම්) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, චාතුම්මහාභූතික මේ කය එක්වසකුත් සිටුනේ දෙවසකුත් සිටුනේ තෙවසකුත් ... සිවුවසකුත් ... පස්වසකුත් ... දසවසකුත් ... විසිවසකුත් ... තිස්වසකුත් ... සාළිස්වසකුත් ... පනස්වසකුත් ... සියවසකුත් සිටුනේ වැඩියකුත් සිටුනේ දක්නා ලැබේ. මහණෙනි, මේ යමක් සිත යයි දු, මනස යයි දු, විඥාන යයි දු, කියනු ලැබේ නම් එය රැයෙහි දු දහවල්හි දු, අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.

මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ “මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය හටගැනීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ” ය යි මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි. මහණෙනි, සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා සුඛවේදනාව උපදී. සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් සුඛ වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා උපන් ඒ සුඛ වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදී. දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා උපන් ඒ දුක් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ.

මහණෙනි, යම්සේ දඬු දෙකක් ගැටුම හා එක්වීමෙන් උණුසුම උපදී ද, උණුසුම හටගනී ද, ඒ දඬු දෙක ම වෙන්වීමෙන් බැහැර ලීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, එසෙයින් ම සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා සුඛ වේදනාව උපදී. සුඛවේදනාවට ප්‍රත්‍ය වූ ඒ ස්පර්ශයේ ම නිරෝධයෙන් එයට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා උපන් ඒ සුඛවේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා ... මහණෙනි, මැදහත් වේදනාවට ස්පර්ශය නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්ශය නිසා උපන් ඒ දුක් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ ස්පර්ශයෙහි ද කළකිරෙයි. වේදනාවෙහි ද කළකිරෙයි. සංඥාවෙහි ද කළකිරෙයි. සංස්කාරයන්හි ද කළකිරෙයි. විඥානයෙහි ද කළකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ‘ජාතිය ක්ෂය වුවාය. බඹසර වැස නිමවන නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගනී.

 

  

 

 දෙවැනි වූ දුතිය අස්‌සුතවන්තු සූත්‍රය නිමියේය.