නගර සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

7.මහා වර්ගය

1.7.5

 නගර සූත්‍රය

65 සැවැත්නුවර

මහණෙනි, සම්බෝධියෙන් පෙර බුදු නො වූ බෝසත් වූ ම මට මේ සිත විය: “මේ ලෝකයා ඒකාන්තයෙන් දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්‍යුත ද වෙයි. (අන් භවයකට ද) පැමිණෙයි. එහෙත් මේ ජරාමරණ දුක දුරලීම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකේ දුරලීම පෙනෙන්නේ දැ”යි. මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කවර ප්‍රත්‍යයකින් ජරාමරණ වේ දැ”යි මේ සිත පහළ විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.

මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජාතිය වේ ද ... භවය වේ ද ... උපාදාන වේ ද ... තණ්හාව වේ ද, වේදනාව වේ ද ... ස්පර්ශය වේ ද ... සළායතන වේ ද ... කුමක් ඇති කල්හි නාමරූප වේ ද කවර ප්‍රත්‍යයකින් නාමරූප චේ දැ”යි, මේ සිත පහළ විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “විඤ්ඤාණය ඇති කල්හි නාමරූප වෙයි. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.

මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද, කවර ප්‍රත්‍යයකින් විඤ්ඤාණය වේ දැ”යි මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “නාමරූප ඇති කල්හි විඤ්ඤාණය වෙයි. නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.

මහණෙනි, ඒ මට “මේ විඤ්ඤාණය වූ කලී එහි නවතියි. නාමරූප දෙකෙන් ඔබ්බට නො යේ. මේ ක්‍රමයෙන් උපදිනේ හෝ වෙයි. දිරන්නේ හෝ වෙයි. මියෙන්නේ හෝ වෙයි. ච්‍යුත වන්නේ හෝ වෙයි. (අන් භවයකට) පැමිණෙන්නේ හෝ වෙයි. එනම්: නාමරූප ප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැනීම වේ”යි මේ සිත පහළ වි ය.

මහණෙනි, “සමුදය සමුදය” යි පෙර නො ඇසූ විරූ දහම්හි මට නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද, කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.

මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජාතිය නො වේ ද .. භවය නො වේ ද ... උපාදාන නො වේ ද ... තණ්හාව නො වේ ද ... වේදනාව නො වේ ද ... ස්පර්ශය නො වේ ද ... ෂඩායතන නො වේ ද … නාමරූප නො වේ ද … කුමක නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “විඤ්ඤාණය නැති කල්හි නාමරූප නො වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.

මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි විඤ්ඤාණය නො වේ ද, කුමක නිරෝධයෙන් විඤ්ඤාණය නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “නාමරූප නැති කල්හි විඤ්ඤාණය නො වේ. නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.

මහණෙනි, ඒ මට “නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි මේ යමෙක් වේ ද, සම්බෝධිය පිණිස වූ මේ මාර්ගය මා විසින් අවබෝධ කරණ ලද්දේ ම ය යි මේ සිත පහළ විය.

මහණෙනි, “නිරෝධය නිරෝධය” යි පෙර නො ඇසූ විරූ දහම්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය.

මහණෙනි, යම් සේ පුරුෂයෙක් අරණෙහි මහවනෙහි හැසිරෙන්නේ පෙර වුසූ මිනිසුන් විසින් අනුගමනය කරණ ලද පැරණි මගක්, පැරණි මාවතක් දක්නේ ද, හෙතෙමේ එය අනුව යන්නේ ය. එය අනුව යන්නේ පෙර මිනිසුන් වුසූ මල් උයනින් යුත්, වන උයනින් යුත්, පොකුණින් යුත්, පවුරු ඇති සිත්කලු වූ පැරණි නුවරක්, පැරණි රාජධානියක් දක්නේ ය. මහණෙනි, ඉක්බිති ඒ පුරිස් තෙමේ රජුට හෝ රජමහඇමැතිහට හෝ “පින්වත් හිමියනි, දන්නෙහි ය. මම අරණෙහි මහවනෙහි හැසිරෙන්නෙම් පෙර වුසූ මිනිසුන් විසින් අනුගමනය කරණ ලද පැරණි මගක්, පැරණි මාවතක් දැක්කෙමි. එය අනුගමනය කළෙමි. එය අනුගමනය කරන්නෙම් පෙර මිනිසුන් වුසූ, මල් උයනින් යුත්, වන උයනින් යුත්, පොකුණින් යුත්, පවුරු ඇති සිත්කලු වූ පැරණි නුවරක්, පැරණි රාජධානියක් දැක්කෙමි. හිමියනි, එය නගරයක් කරණු මැනවැ”යි සැළ කරන්නේ ය.

මහණෙනි, ඉක්බිති රජ හෝ රජමහඇමැති හෝ එය නගරයක් කරන්නේ ය. ඒ නුවර පසුකලෙක සමෘද්ධ වූයේ ද, සියලු සම්පතීන් පිරුණේ ද, බොහෝ දෙනා විසින් දත යුතු වූයේ නොහොත් බොහෝ දෙනාට හිත වූයේ ද, මිනිසුන් විසින් ගැවසී ගත්තේ ද, වැඩීමට විපුලත්වයට පැමිණියේ ද වන්නේ ය. මහණෙනි, එසෙයින් ම මම පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද පැරණි මග, පැරණි මාවත දැක්කෙමි.

මහණෙනි, පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද පැරණි මග, පැරණි මාවත කවරේ ද යත්: මේ අරිඅටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, ඒ මේ පැරණි මග, පැරණි මාවත පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය .

(මම) එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් ජරාමරණ දැන ගත්තෙමි. ජරාමරණ සමුදය දැන ගත්තෙමි. ජරාමරණ නිරෝධය දැන ගත්තෙමි. ජරාමරණ නිරෝධගාමිණී පටිපදාව දැන ගත්තෙමි. එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් ජාතිය දැන ගත්තෙමි ... භවය දැන ගත්තෙමි ... උපාදාන දැන ගත්තෙමි ... තණ්හාව දැන ගත්තෙමි ... වේදනාව දැන ගත්තෙමි ... ඵස්සය දැන ගත්තෙමි ... සළායතන දැන ගත්තෙමි ... නාමරූප දැන ගත්තෙමි ... විඤ්ඤාණය දැන ගත්තෙමි ...විඤ්ඤාණ නිරෝධගාමිණී පටිපදාව දැන ගත්තෙමි. එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් සඞ්ඛාර දැන ගත්තෙමි. සඞ්ඛාර සමුදය දැන ගත්තෙමි. සඞ්ඛාර නිරෝධය දැන ගත්තෙමි. සඞ්ඛාර නිරෝධගාමිණී පටිපදාව දැන ගත්තෙමි.

එය මැනවින් දැන ගෙන මහණුන්ට ද මෙහෙණන්ට ද උවසුන්ට ද උවැසියන්ට ද ප්‍රකාශ කෙළෙමි. මහණෙනි, ඒ මේ බඹසර සමෘද්ධ වූයේ ද, සියල්ලෙන් පිරුණේ ද, පැතුරුණේ ද, බෝ දෙනා විසින් දත යුතු වූයේ ද, හැම අයුරින් පුලුල් බවට පැමිණියේ ද, ඇති තාක් නුවණැති මිනිසුන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ ද වේ යි.

 

පස්වැනි වූ නගර සූත්‍රය නිමියේය.