නළකලාප සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

7.මහා වර්ගය

1.7.7

 නළකලාප සූත්‍රය

   

 

67. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවොත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝත් බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මුව වෙනෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කථාව නිමවා එකත්පසෙක වැඩ හුන්හ.

එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ මෙරමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මික වැ - ඉබේ හටගත්තේ දැ” යි.

ඇවැත්නි කොට්ඨිතයෙනි, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ නො වේ. ජරාමරණ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් කරණ ලද්දේ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යි.

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ජාතිය තමා විසින් කරණ ලද ද, ජාතිය මෙරමා විසින් කරණ ලද ද, ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් වේ ද, නොහොත් ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී දැ යි.

ඇවැත්නි කොට්ඨිතයෙනි, ජාතිය තමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය මෙරමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් නො වේ. ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී ද නො වේ. වැලි දු භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ යි.

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භවය තමා විසින් කරණ ලද්දේ ද, භවය මෙරමා විසින් කරණ ලද්දේ ද, භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.

ඇවැත්නි කොට්ඨිතයෙනි, භවය තමා විසින් කරණ ලද්දේ නො වේ. භවය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ යි.

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, උපාදාන තමා විසින් කරණ ලද්දේ ද ... තෘෂ්ණාව තමා විසින් කරණ ලද්දී ද ... වේදනාව් තමා විසින් කරණ ලද්දී ද ... ස්පර්ශය තමා විසින් කරණ ලද්දේ ද ... ෂඩායතන තමා විසින් කරණ ලද්දේ ද … නාමරූප තමා විසින් කරණ ලද්දේ ද, නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ ද, නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේදැ යි.

ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ යි.

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.

ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ යි.

දැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ” යි.

දැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ”යි.

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කෙසේ නම් මේ භාෂිතයේ අර්ථය දත යුතු ද? ඇවැත්නි, එසේ නම් තොපට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද භාෂිතයේ අර්ථය දැන ගණිත්.

ඇවැත්නි, යම් සේ නළකළප් දෙකක් ඔවුනොවුන් ඇසුරු කොට සිටුනේ ද, ඇවැත්නි, එසෙයින් ම නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ. සළායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. ඇවැත්නි, ඒ නළකළප් දෙකින් එකක් ඉවත් කරන්නේ නම් එකෙක් වැටෙන්නේ ය. අනෙක ඉවත් කරන්නේ නම් අනෙක වැටෙන්නේ ය. ඇවැත්නි, එසෙයින් ම නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ යි.

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, ආශ්චර්ය්‍යයෙකි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, අද්භූතයෙකි. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් මෙය සුභාෂිත (මැනවින් කියන ලද) ම ය. අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන්ගේ සුභාෂිතය මේ සතිස්කරුණින්* අනුමෝදන් වම්හ.

ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස දහම් දෙසා ද, (හෙතෙමේ) “ධර්මකථික මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයෙහි නිර්වේදය විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ වේ ද, හේ “දහම් අනුදහම් පිළිවෙත්හි පිළිපන් මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුනේ වේ ද, හේ “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය.

ඇවැත්නි, මහණ තෙමේ ඉදින් ජාතියේ ... ඉදින් භවයේ ... ඉදින් උපාදානයේ ... ඉදින් තෘෂ්ණාවේ ... ඉදින් වේදනාවේ ... ඉදින් ඵස්සයේ ... ඉදින් සළායතනයේ ...ඉදින් නාමරුපයේ ... ඉදින් විඤ්ඤාණයේ ... ඉදින් සඞ්ඛාරයන්ගේ [නිර්වේදයෙන්] ... “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය.

ඇවැත්නි, ඉදින් මහණ තෙමේ අවිද්‍යාවේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස දහම් දෙසා ද, “ධර්මකථික මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, මහණ තෙමේ ඉදින් අවිද්‍යාවේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ වේ ද, හේ “දහම් අනුදහම් පිළිවෙත්හි පිළිපන් මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, මහණ තෙමේ ඉදින් අවිද්‍යාවේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුනේ වේ ද, “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය යි.

* ජරාමරණාදී දොළොස් පද - ධර්මකථික මහණ, පිළිපන් මහණ, නිවන් පැමිණි මහණ යන තුන් පදයන් හා යෙදීමෙන් කරුණු සතිසෙක් වේ.

 

සත්වැනි වූ නළකලාප සූත්‍රය නිමියේය.